මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Sunday, June 1, 2014

හිටිවන කවියක කතා ගොඩක්

සිංහල භාශාව කියන්නේ ගොඩක් දේවල් ව්‍යංගයෙන් රසවත්ව කියන්න පුළුවන් භාශාවක්. ඒ හින්දමද මන්දා උපහාස, අපහාස වලට අපේ භාෂාව තරම්  තවත් පොහොසත් භාෂාවක් තවත් තියනවද  සැකයි. ඒ භාෂාව හින්දමද මංදා සිංහලයෝ ගොඩක් දේවල් එලි පිට, ඍජුව, කෙලින් කතා නොකරන්නේ. එකෙත් පොඩි මෙවුව එකක් තියනවා කියලයි මට නම් හිතෙන්නේ. කොහොම උනත් සමහර වෙලාවට පොල්ලෙන් ගැහුවා වගේ ඕන දෙයක් කියන්නත් අපේ භාෂාව පාවිච්චි කරන්නත් පුළුවන්.  ඒ වගේ  ජන කවි සම්බන්ද රසවත් දේවල් එක්ක කලින් ලියපු පොස්ට් එකක් මෙන්න මෙතනින් බලන්න පුළුවන්.


අද ලියන්න යන්නේ ඉතා අප්‍රකට මෑත කාලීන  කවියක් ගැන විස්තර. කොටින්ම මේ  කවිය මේ බ්ලොග් අවකාසේ ඉන්න කිසිඉම කෙනෙක්  කලින් අහලා නැ කියලා මට ඉර හඳ  වගේ විස්වාසයි. අහන්න විදිහක් නැ  මොකද මේක අපේ ගමේ හිටපු මනුස්සයෙක් කියපු කවියක් හිංදා. කවිය ලියන්න කලින් මේක කියපු මනුස්සයා ගැන කිවොත් බොහොම නුගත් අහිංසක මනුස්සයෙක්. අකුරු සාස්තරේ යන්තන් දැනගෙන හිටියට මිනිහා නුගතෙක්ම කියන්න බෑ. ජිවිත තක්සලාවෙන් ගත්ත ගෞරව උපාදියකුත් එක්ක අදත් මනුස්සයා අපේ ගමේ ඉන්නවා. මේ කවියෙන් කියවෙන්නේ ගමේ හිටපු ප්‍රසිද්ද චරිත හතරක්  ගැන දිග කතාවක් ඉතාම කෙටියෙන්.  එහෙනම් ඔන්න කවිය සහ විස්තරය මට හැකි පමණින්.

පන්සල් පාලුවා පොල්වත්තේ                   සුද්දා
ගෙයින් ගේට හිඟාන යන                 නයින්ටියා
පොලොස් හොදියි  කිරිපැණි කෑ       බණ්ඩයියා
පොකුරු බොරු කියයි හැරබැන්දේ         මුත්තා

මීට අවුරදු 10කට 12කට විතර කලින් යාලුවෙකුගේ ගෙදරක පොල් අතු බැඳිල්ලකට ගිහින් ඉද්දි ඇදුන කතාවකින් මේ කවියත්, කවිය කියන්න හේතුභූත වෙච්චි සිද්දිය ගැනත් කීවට දැන් නම් සිද්දිය අමතකයි. හැබැයි කවියනම් පට්  ගාල save උනා. හරි එහෙනම් මේකයි තොරණේ විස්තරේ.

"පන්සල් පාලුවා පොල්වත්තේ සුද්දා"
අපේ ගම සහ අවට ගම්  රැසකම තිබුන පන්සල් වල නායක හාමුදුරුවරු හැමෝම වගේ අප්පා කුඩප්පච්චිලගේ ළමයි. අපේ ගමේ පන්සල තමා ප්‍රධාන පන්සල උනේ. සතුරන්ට බයේ හැංගිලා හිටපු වළගම්බා රජතුමා කෙලෙහිගුණ දක්වන්න හදපු රජ මහා  විහාරයක් කියලයි කියන්නේ. විශාල ගලක් යට තමා පන්සල  හදලා තියෙන්නේ. මේ පන්සලේ තමා හිටියේ ඒ පළාතේ අධිකරණ සංඝනායක මහා නායක හාමුදුරුවෝ. වටේ පන්සල් වල හිටියේ උන්නාන්සේගේ නෑදෑයෝ ටික. මේ නායක හාමුදුරුවන්ගේ  නංගිගේ පුතා තමා මේ කියන සුද්දා. සුද්දගේ බාල කොලුවත් පන්සලේ මහන කරලා තිබ්බේ ඊළඟ   නායක පට්ටමට පවුලේ කෙනෙක් ඕන නිසා. හැබයි මු සුද්දා කීවට  වැඩනම් සුද්දෙක් වගේ නෙවේ.  මාමණ්ඩි ඉන්න පන්සල විතරක් නෙවේ මාමණ්ඩිගේ යටතේ  අනිත් පන්සල් ටිකත් මුගේ බුදලේ වගේ තමයි හිතාගෙන හිටියේ. පන්සලටම අයිති විසාල පොල්වත්තක ගෙයක් හදාගෙන පදිංචි වෙලා හිටිය හිංදා හැමෝම කිවේ පොල්වත්තේ සුද්දා කියලා. මේ පොල් වත්තේ ආදායමට අමතරව වටේ පන්සල් වල අටපිරිකරක්වත් මුගෙන් බේරගන්න එක ලේසි වැඩක් උනේ නැ.  පන්සලට දෙන දානේ වෙලේ ඉඳන් අටපිරිකර වෙනකන් සුද්ද කරපු හින්දමද මන්දා මුට සුද්දා කිවේ. මුගේ මේ පන්සල් පාලු වැඩ වලට  නොයෙක් දේ කීවත් ඒවා මු ගානකටවත් ගත්තේ නැ. නායක උන්නාන්සේටත් මේ ගැන ඒ හැටි ගානක් තිබ්බේ නැ. වල පයයි ගොඩ පයයි තිබ්බ උන්නාන්සේට නෑයෝ තරහ කරගෙන කොහොමෙයි. ඉතින්  ඔන්න ඔය විරෝදය තමා හිටිවන මේ කවිය කියපු මනුස්සයා පලවෙනි පදෙන් කියලා දැම්මේ.

       
"ගෙයින් ගෙට හිඟාන  යන නයින්ටියා"
ගමේ තැපැල් කන්තෝරුවේ ලියුම් බෙදන්න හිටිය මනුස්සයා තමයි මේ නයින්ටියා. මිනිහට නයින්ටියා කියලා කියන්න හේතු උනේ උපතින්ම එක අතක  එක  ඇඟිල්ලක් අඩු වීම. මෙතැනදී නයින්ටි කිවේ 90 කියන එක නෙවේ 19 කියන එක. නයින්ටීන් කිවනම්  තාලේ අප්සැට් වෙන හිංදා තමා නයින්ටියා කියලා කිවේ. නැතත් මිනිහගේ රෙජිස්ටර් වෙච්චි නම තමා ඕක. මිනිහගේ පුරුද්ද තමා හැම වෙලාවේම අහු වෙන කෙනෙක්ගෙන් නයට මොනවා හරි ගන්න එක. ලියුම් බෙදන්න ගම වටේම ඇවිදින මනුස්සයා නයක් නොවුණු ගෙයක් ඒ පැත්ත පළාතේ හොයා ගන්න බැ. කොටින්ම මිනිහාට විටක් කන්න හිතුනොත් ඔන්න එක ගෙදරකට ගිහිං කියනවා අනිත්  ජාති තියනවා පුවක් විතරයි නැත්තේ කියලා. එතනින් පුවක් අරන් අනිත් ගෙදරින් බුලත් ඔය විදිහට ගෙවල් දෙක තුනකින් තමා විට එක උනත් සෙට් කර ගන්නේ. ඒ විතරක්ය රුපියල් පනහා,සීය නයට ඉල්ලා නොගත් ගෙදරක් ගමේ නැ. හැබැයි මිනිහා කවදාවත් හොර කරන්නේ නැ. පඩි ගත්ත ගමන් පහුවදා ඉඳන් ගත්ත නය  ඔක්කොම වගේ ගෙවල් වලටම ගිහින් බේරනවා.  ඔය අතරේ පොඩි පොඩි ගණන් අමතක කරලත් දානවා. ඒ උනත් හැමෝම කියන්නේ මිනිහා අවංක මනුස්සයා කියලා. දවස් දෙකෙන් පඩිය ඉවර    කරන මනුස්සයා ඊළඟ මාසේ ගෙවන්නෙත් කලින් පුරුදු   විදිහටම  ගෙයින් ගෙට නය වෙලා. ඔන්න ඕක උපහාසයට අරන් තමා ඔය දෙවැනි පදේ කිවේ.
           
"පොලොස් හොදියි කිරිපැණි කෑ බණ්ඩයියා"


බණ්ඩයියා කියන්නේ ගමේ හිටිය තරමක් මෝඩ පහේ ඩයල් එකක්. මිනිහට තිබ්බ ලොකුම ප්‍රශ්නේ කෑම. මිනිහට කෑමක් දැක්කට පස්සේ එක ඉවර කරනකම් තියෙන්නේ මාර උණක්. මළගෙවල්, පින්කම් ගෙවල්   ඔය කෝවාගේත් යාව ජීව සාමාජිකයෙක්. කන්න තියෙන්නේ කොතැනද මිනිහා එතන ස්වේච්චාවෙන් සේවකයෙක්. ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට කලින් හිටපු ලොකු හාමුදුරුවෝ මලාට පස්සේ අවුරුද්දක් පාසා උන්නාන්සේගේ ජන්ම දිනේට විසාල පිංකමක් කරනවා මේ පන්සල් සියල්ලේම සහභාගිත්වයෙන්. මේ හැම පන්සලකටම අයිති පොල් ඉඩම් අක්කර ගනන්  තියන හින්දත් ගමේ දායක දායිකාවෝ නැ පිරිවර හින්දත් මේ පිංකම මහා විසාලෙට කරන එක මහා පස්නයක් නෙවේ. ඔන්න ඔය වගේ තැන්වල බණ්ඩයියා කියන්නේ නැතිවම බැරි චරිතයක්. ඉඳි අප්ප සීයක් හමාරක් උනත් කිසි කෙඳිරියක් නැතිව ඉවර කරන බණ්ඩයියා දෙන ඕන වැඩකුත් කිසි කෙඳිරියක් නැතිව  කරනවා. ඔය වගේ එක පින්කමක් දවසේ සතියක් විතර පන්සලේම නතර වෙලා වැඩ කරපු බණ්ඩයියා පිංකම  දවසේ කිරි කන්න ගිහින්  අනා ගත්ත හැටි තමා ඔය. හාමුදුරු වරුන්ට දානේ පිලිගන්නලා අහවර උනාම එකතු වෙච්චි ගම්වාසී හැමෝම කෑම කනවා සමහරු ඔතාගෙන යනවා. ඔන්න ඔය වෙලාවක කෑම කාල ඉවර වෙලා අතුරු පස කන්න ගත්තා. බණ්ඩයියා කොහම හරි කාටත් හොරෙන් කලින්ම කිරි මුට්ටියක් පන්නනවා පැණි බෝතල් භාගේකුත් එක්ක. මොකද බත් මාළු ඕන තරම් තිබුනට අතුරුපස ගමකට ඇති වෙන්න නැති නිසා. ඕක බලාගෙන හිටපු තව ඩයල් එකක් දෙනවා රියල් ගේමක්. පොර හෙමිහිට පැණි භාගේ උස්සලා ඒකෙන් තුන්කාලක් විතර  අයින් කරලා අඩුවට දානවා පොලොස් තෙල්. දන්නවනේ පොලොස් උයද්දී හොඳ රතු පාටට තෙල් බේරෙන විදිහ. පොලොස් මහා ගොඩක් උයද්දී සැහෙන තෙල් ප්‍රමාණයක් එකතු වෙනවා. එහෙම එකතු වෙන තෙල් හෙමිහිට හැන්දකින්  අරන් වෙනම එකතු කරලා  තියනවා බෙහෙත් වලට පාවිච්චි කරන්න. ඕක බෝතලේක දාලා හොලවන්නේ නැතිව තිබ්බහම ලස්සනාට අඩියට මිදෙනවා මන්ඩි ටික. අර පොර හෙමිහිට මේ පොලොස් තෙල් බෝතලෙකින් තමා පැණි බෝතලේ අඩුව පුරවන්නේ. දැන් කෑම එහෙම කාලා කට්ටිය ඔය කෙහෙල් ගෙඩියක්, වටලපමක් හොයාගෙන කනකොට බණ්ඩයියා  ශේප් එකේ හංගලා තිබ්බ කිරිහට්ටියට වැඩේ දෙන්න සෙට් වෙනවා. කවුරු හරි දැක්කොත් දෙන්න වෙයි කියලා පොර මොකද කරන්නේ ඉක්මනට පැණි භාගේ මුළු කිරිහට්ටියටම දාලා හොඳට කලවන් කරලා තමා එලියට අරං එන්නේ. ඇවිත් උජාරුවෙන් අනිත් උන්ට පේන්නත් එක්ක කන්න ගත්තම තමයි පොරට තරු පෙන්නේ. කටේ තියන්න බෑ මහා වහතු රසක් එන්නේ. වැඩේ සෙට් කරපු උන් ටික බණ්ඩයියා ළඟටම වෙලා හැමෝටම ඇහෙන්න "ආ ..බන්ඩටනම් පින තමා ඉතිං. කිරි හට්ටියක්ම හම්බෙලා තියෙන්නේ" කියලා කියපි.  දැන් ඉතිං මොකෑ කොරන්නේ බන්ඩයියත් අරිෂ්ට බොනවා වගේ කිරි එක කාලා දානවා. පහුවදා මොලු දවසම වැසිකිලියේ ඉන්න  බන්ඩයියට ආය පාරට එන්න හම්බෙන්නේ නැ හැමෝම අහන්නේ "බන්ඩෙ ශෝක් මීකිරි ටිකක් තියනවා කමුද" කියලා. වැඩේ කොච්චර දරුණු උනාද කියනවනම්. මීකිරි කියන වචනේ ඇහෙනකොටත් බන්ඩයියට ඔක්කාරේ ඔං.

"පොකුරු බොරු කියයි හැරබැන්දේ මුත්තා"   
ගම් වල ඉස්සර කාලේ ඉඳන් තියන පුරුද්දක් තමා හැම ගෙදරකටම මොකක් හරි නමක් තියන එක. ගෙදරට විතරක් නෙවේ ගෙදර සාමාජිකයන්ටත් නියම නමට අමතරව ගමේ හැමෝම කතා කරන නමක් තියනවා. සමහර නම් හැදිලා තියෙන්නේ පුද්ගලයාගේ හැසිරීම මත , සමහර ඒවා සිද්ද වෙච්චි යම් සිද්දියක් උඩ, තවත් වෙලාවකට අලුතෙන් ගමට ආපු කෙනෙක් නම් එයා කලින් හිටිය ප්‍රදේශයේ නම. අපේ ගෙට එහා ගෙදර හිටියේ "හත්කොල්ලේ නැන්දා" උන්දා හත්කොරලේයෙන් තමා අපේ ගමේ "නාදන් මාමා " කැන්දන් ඇවිත් තිබුනේ. ඒ හිංදා උන්දා "හත්කොල්ලේ නැන්දා, හත්කොල්ලේ නංගි " වගේ නමක් ලැබුවා. "නාදන්" මාමා කියන්නේ උන්දැගේ පුරුෂයා. මිනිහා "නාදන්" උනේ කොයි වෙලෙත් මහා ගෝසාවට කතා කරන හිංදා. එතනින් ගියාම "බුසම්මා". බුසම්මා  කිවේ උන්දැගේ ඇඟේ තරමක් රෝම තිබ්බ හිංදා තව ඉතින් පිරිමියකුගේ වගේ තරමක රවුලකුත් තිබ්බා. ඔන්න ඔහොම තියපු නමක් තමා ඔය හැරබැන්දේ ගෙදර කියන එක. ඔය ගෙදර තමා මම ඔය පොල් අතු බැඳිල්ලට ගියේ. උන්දැගේ බාලම පුතා හොඳින් ඉගන ගෙන උපාදියක් පවා තිබ්බා. හැබැයි ලෙනින්ටත් වඩා සමාජවාදී හිංදා කවදාවත් රස්සාවක් කරේවත් දියුණුවක් ගැන හිතුවේ වත් නැ. අදටත් අවිවාහකව ඉන්නේ. හැබැයි ගෙදරම ලොකු පොල් අතු මඩුවක් හදලා සත පහක් නොගෙන අහල හැම ගමකම එන ඕනෑම සාමාන්‍ය පෙළ ළමයකුට නොමිලේ, ගණිතය, සමාජ අධ්‍යනය, විද්‍යාව    උගන්නනවා. මගෙත් ගණිත ගුරුවරයා උනේ මෙතුමා. ඒ වගේම පස්සේ කාලෙක මෙතුමාගේ පරිගණක ගුරුවරයා උනේ මම. ඔය හින්දම පිරිස් බලය අතින් නම් උපරිමයි. 
          එයාගේ තාත්තා තමා මේ හැරබැන්දේ මුත්තා කියන්නේ. දෙවන ලෝක යුද්දෙටත් සහභාගී උන සොල්දාදුවෙක්. තරමක් යන්ත්‍ර මන්ත්‍ර කටයුතු ගැන දන්නා හිංදා  මගේ කලින් පොස්ට් එකේ වගේ ගල් පැලෙන ඇත්ත උන්දා කියන්නේ එකක් දෙකක් එහෙම නෙවේ කතා සරිත් සාගරේ වගේ එකක් ඇතුලේ එකක් විදිහට හින්දා තමා මේ අන්තිම පදෙන් "පොකුරු බොරු කියයි හැරබැන්දේ මුත්තා " කිවේ. රැට නින්ද යන්නේ නැති අවාසනාවන්ත ලෙඩේ තිබ්බ හිංදා උන්දා කරන්නේ තනියම එලි වෙනකන් කාඩ් ගහන එක. ඉතින් අහම්බෙන්වත් කවුරුත් අහු උනොත් උන්දැගෙන් බේරෙනවා බොරු                           
එකක් ඉවර වෙනකොට එකක් විදිහට කතා කිය කියා අහු උන එකා එලි වෙනකන් හරි තියා ගනියි. ජර්මන් හමුදාවට විරුද්දව යුද්ද කරන්න ගිහින් උන්දා මන්තර බලෙන් කොරපු සුරු විරු කම් චන්දනගේ  බේගල් කතා කැලේ. නිකන්ම නෙවේ ඒවාට සාක්කි හැටියට 1944 කොටපු දත් මදින බුරුසුවක්, බුට් සපත්තු තව අරවා මේවා ලට්ට ලොට්ට ගොඩක් එක්ක බොරු ඇවිද්දවනවා. ඔන්න ඔය ගැන තමා ඔය අන්තිම පදෙන් කිවේ. 

මේ වගේ දේවල් අහමින්, දකිමින් ගෙවපු මගේ ළමා කාලය මේ සුන්දර මිනිසුන් හිංදා කොච්චර සුන්දරව ගෙවුනද කියලා ආපහු හැරි බලන කොට හිතෙනවා. එත් අවාසනාවට ආය කවදාවත් ඒ දේවල් අපිට ලබා ගන්න බැ. මතකය විතරක් අලුත් කරමින් දැන් මේ ගන්දබ්බ ජීවිතේ ගෙවා දමමු.   

Saturday, March 8, 2014

කිරි බී වැඩෙන කූඩල්ලෝ

මාරයාගේ මෙන්න මේ පොස්ට් එක දැක්ක ගමන් තමයි ඔං මේක කොටන්න හිතුවේ. මොකෝ මේක මම නොකියා හිටියේ කිවුවට ඔහෙලා කිසි කෙනෙක් මේක විස්වාස කොරන්නේ නැති හිංදා. මේක වෙනකොට යාන්තං මම අටේ කැලැසියේ වගේ මට මතක. ඒ දවස් වල අපේ මාමා පොඩි බිසිනොස් එකක් කොරන් ගියා ඔය උගස් ගන්න. මිනිහා ඉතින් ඔය ඉඩ කඩම්, ටෙලිවිසෝන්, රේඩියෝ, වාහන,  වගේ දේවල් ඇපේට තියාන තමා  සල්ලි  දුන්නේ. ඔං  කොහොමින් කොහොමින් හරි මිනිහා උගස් ගත්ත ඉඩමක් තිබ්බා ඔය අලගල්ල කන්ද පාමුල. හරියටම කියනවනම් අමුණු ගොඩක් තියන ගමක උන්නැහැ කෙනෙක් නිධානයක් ගන්න ඕන හිංදා හෝටලයක් ගහන්න කියලා ගත්ත කඳු කෑල්ලේ අල්ලපු ඉඩම් කැල්ල. කාලයක් ගිහිං මේක බේරගන්න අයිති කාරයත් නාපු එකේ කොහොමින් කොහොම හරි ඉඩම මිනිහට සින්න උනා කියමුකෝ. දවසක් එක නිවාඩු කාලෙක මිනිහා මට කියපි "පුතේ අර මට සින්න උන ඉඩමක් තියනවා අහවල් තැන උඹ නිවාඩු වෙලාවක ඔය කොල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක ගිහින් ඕක බලන් වරෙන් " කියලා. 

මමත් ඉතින් දවස් දෙකකට පහුං ගමේ එවුන් දෙන්නෙක් එක්ක   උදේම ගියේ නැතැ ඕක බලන්න. නැ ..නැ.. නැ ගමේ මිනිස්සුන්ට ලයිට් දෙන්න වෙයි කියලා අර කන්ද උඩ ඉඩම ගත්ත හාදයා පාර දිගේ ලයිට් වයර් අදින්නේ නැතිව  හැතප්ම ගානක් ඈත  කැලෙන් ලයිට් ගත්ත පැත්තෙන් නෙවේ අනිත් පැත්තෙන් මම නැග්ගේ.  හම්මේ සංසාරේ ඕන්නැ ඔය කන්ද බඩගාන්න ගත්තම. කොහොමින් කොහොම හරි ඔන්න පාරක් තොටක්  තියන දුර නැග්ග කියමුකෝ. එතැන් ඉඳන් ඉතින් මහා කැලේ තමා, ඉලුක් මුකලාන, කූඩලු විමානේ. ආය ඉතින් කීවට විස්වාස
කොරන්න ඔං අපේ මැදගිල්ලට වඩා ලොකුයි මුං. ආය එකෙක් එල්ලුනොත් ලේ පයින්ට් භාගයක් වත් බොනවා බොනවම තමයි.

            කොහොමින් කොහොම හරි ටික දුරක් යනකොට ඔන්න මං එක්ක ගිය උන් දෙන්නා තවදුරටත් යන්න බැ කියලා ගමන නැවැත්තුවේ නැතැ. කොච්චර කණීපින්දම් ගෑවත් මුන් නෙවේ කැමති උනේ. හෙහ් .. අපි සැලෙයි ඕවාට. ඔය හැටි පුකට වඳින්න බැරි හිංදා  මම දැන් තනියම ගමන. මුන් දෙන්නා හැරිලා ගියා. දැන් ඉතිං කොහොමෙන් කොහොම හරි වත්ත පේන මානයට අවා කියමුකෝ. ඔන්න එතකොට මට පේනවා වත්තේ ඈත කෙළවරක තියන මහා විසාල රට දෙල් ගහක් බස බස ගාලා හෙල්ලෙනවා. මම හිතුවා "හරි එකත් එකටම මේ ගහ මොකුන් හරි සෙට් එකක් හොරෙන් කපනවා" . එත් මට කල්පනා උනා යකෝ දෙල් ලී අහවල් කෙහෙල් මලකටද කියලා. කියන්න බැනේ බෝ ගස් කපලා "බුදු හේත්තු" කියලා විකුණන එකේ ආය මුන් දෙල් ගහක් නොකපා අරීද.  අද අල්ල ගන්නම් අතටම කට්ටිය කියලා මමත් හෙමිං , හෙමිං ගහෙන් ගහට මුවා වේවි කිට්ටු කරා ගහ ලඟට. ම්හු ..බලු බල්ලෙක් පේන්න නැ හැබැයි බොලේ ගහ නම් හෙල්ලෙනවා නිකං අලි දෙන්නෙක් දෙපැත්තේ ඉඳන් පිට අතුල්ලනවා වගේ. මට දැන් බයත් හිතෙනවා ඇයි යකෝ බලු බල්ලෙක් නැතිව මෙච්චර පත ගහක් කොහොමෙයි මෙහෙම හෙල්ලෙන්නේ. ටිකක් වෙලා හෙමීට බලන් ඉඳලා මමත් ටිකෙන් ටික කිට්ටු කරා ගහ ළඟටම. ම්හු..අලි කොහෙද මේ කැලේ. අලියෙක් තියා හරකෙක්වත් පේන්න නැ. හැබැයි ඉතින් වල් ඌරු විමානේ හිංදා මට නොපෙනෙන පැත්තෙන් වල් ඌරෙක් වත් ගහට පතබානවද දන්නැනේ කියලා හිතලා. වටෙන්..වටෙන් ..හෙමින් ..හෙමින් ගියේ නැද්ද ගහේ අනික් පැත්තට. මොන , ඒ පැත්තෙත් මොකෙක්වත් නැ. මට දැන් නම් ෂුවර් අනිවා මේක අමනුස්ස  වැඩක්. අනිවාර්යෙන් රුක් දෙවියෝ දෙන්නෙක් මේ ගහ බෙදා ගන්න බැරිව ෆයිට් කොරනවා. එතකොට තමා මේ ගහ මේ හෙල්ලෙන්නේ. මොකෝ උන්නැහේලාට ඉන්න දැන් ලොකු ලොකු වටිනා ගස් තියේය. දැන් ඉතින් උන්නැහේලට පැපොල් ගහටත් ඇරගන්න වෙලා තියෙන්නේ. මොකද  අර උන්නැහැගේ හෙන්චයියෝ ටික ඔය පැත්ත දැන් සුද්ද කරලා ඉවරනේ.  

ඕන පුකක් ප්‍රීති වෙසක් කියලා හෙමින් හෙමින් කිට්ටු කරා ගහ ළඟටම. ගිහිං හොඳට අත ගාලා බැලුවා හෙල්ලිල්ල නවතීද කියලා.මොකද ඔය දෙයිවරු කැමති නැ නොව මනුස්ස ඉස්පර්සයට. මොන පිස්සුද තවත් ගහ හෙලවෙනවා පෙර ලෙසටම. හොඳට ලංවේලා උඩ ඉඳන් පහලට වටේම බලාගෙන ආවා. කිව්වට විස්වාස කරන්න ආයිබෝං ගහ පාමුල කූඩෑල්ලියක් ගහට පිට දීලා හේත්තුව දාගෙන පැටවුන්ට කිරි දෙනවා පැටවූ රොත්තම කිරි බොන්න පොර කන පොරකැවිල්ලට තමා ගහ හෙල්ලෙනේ ඔං.
   
                        අවාසනාව කියන්නේ, ඔහේලට කියන්න මම මුන් ටික දකිනකොටම මේ  කූඩෑල්ලිත් මාව දැක්කා නොවැ. දැක්ක විතරයි ඔං මගේ ලේ සුවඳට මෙකි පිස්සු වැටුනා. එක පාරට පැටවූ ටිකත් පෙරළන් ආවේ නැද්ද මගේ පැත්තට. හැරුනා අනිත් පැත්තට මම හුරේ රන්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දිවුවා කැලේ කඩාගෙන. නැග ගන්න සයිස් ගහක්වත් නැ වට පිටේ අර උන්දැට පින් සිද්ද වෙන්න. වාසනවාට අවුරුදු 6,7ක් වයස පොල් ගහක් සෙට් උනා.ආය මොනවා හිත හිත ඉන්නද බස ගාල නැග්ගා ගහේ  කරටියට. ඇයි අප්පේ බැරි වෙලාවත් ඔය කූඩෑලු සෙට් එකට අහු උනානම් bleed   ද මොකක්ද වෙලා මැරෙන්නේ ඔං. ගමන් මහන්සියටයි බය උන බය විල්ලටයි පොල් කරටිය බදාගෙන එහෙම්ම නින්ද ගියා. 
                කොහොමින් හරි පැයක් හමාරක් නින්ද යන්න ඇති ඇහැරිලා බලනකොට මෙන්න බොලේ අපේ ගෙවල් ළඟ තියන ඇල පාර මට පේනවා. ඒ විතරක්යැ පාරේ වාහන යන සද්දෙත් ඇහෙනවා මට දැන් නම් ෆුල් අවුල් ඇයි යකෝ මම මේ හීනයක්වත්ද දකින්නේ. කෝකටත් පොඩ්ඩක් කොනිත්තගෙන බැලුවා. ම්හු.. මම ඇහැරලා තවමත් පොල් කරටිය බදාගෙන ඉන්නේ. හැබැයි බොලේ පොල්ගහ තාලෙට දෙපැත්තට පැද්දෙනවා. මම බැලුවා යකෝ මේ මොකක්ද කියලා. කීවට විස්වාස ක‍රන්න නැත්තන් ඕන මඟුලක් කරගන්න යකෝ පොල්ගහ ඇවිදිනවා. මම දඩි බිදී ගාල බැහැ ගත්තා ගහෙන්. බැහැලා පොඩ්ඩක් ඈතට වෙලා බැලුවා යකෝ මේ මොකක්ද කියලා. බලනකොට මට පේනවා පොල් මුල. මොකක් වෙන්න ඇති කියලද ඔහෙලා හිතන්නේ. මේ පොල්ගහ තියෙන්නේ බොලේ දාර පිඹුරෙක් උඩ නෙව. ඔහෙලා හිතයි මේක අමු මුසාවාදයක් කියලා. මමත් හීමිට ලං වෙලා බැලුවා යකෝ පිඹුරෙක් පිට කොහොමෙයි පොල්ගහක් හැදෙන්නේ කියලා. මෙන්න මේකයි වෙලා තියෙන්නේ මේ පිඹුරා මීට අවරුදු බර ගානකට කලින්  කොහෙන් හරි අල්ලාගෙන තඩි ගෝනෙක් ගිලලා. ඔහේලා
දන්නවනේ ආය පිඹුරෝ හපලා කනවා කියලය. බුග් ගාල ගිල්ල අර ගෝනව අං තට්ටුව පිටින්ම. කොහොම හරි ගෝනා දිරෙවුවට අං දෙක දිරවා ගන්න බැරි උනා. මේ අං දෙක කොහොමින් කොහොම හරි පිඹුරගේ   පිට හිල්  කොරන් ඇවිත් එලියට. ඔන්න ඔහොම අං  තට්ටුවකුත් බඩ මැද තියාගෙන පිඹුරා එහෙ මෙහේ  යනකොට කොහොම හරි පොල්ගහක් යටින් යනකොට වැටුණු පොල් ගෙඩියක් අර අං තට්ටුව උඩට වැටිලා එකේ ඇමිණිලා තිබිලා පැල වෙච්චි පොල් ගහට තමයි බොලන්ලා මම එවෙලේ ගොඩ වෙලා තියෙන්නේ.                   

මේ පුදුමේ ගමේ උන්ට කියන්න මම දීවේ නැද්ද ගමට. අනේ අවාසනාවට ගමේ උන්ටික එකතු කරගෙන එනකොට පොල්ගහවත් පිඹුරවත්  පේන තැනක නැ. ගමේ උන් ඔක්කොම මට දොස් කියන්න ගත්තා මේ ගජබින්න අතාරිනවා කියලා. මගේ වාසනාවට ඈත කන්ද උඩහා ගස් අස්සෙන් පොල් කරටියක් වැනි වැනි තියන එක පෙන්නල්යි ඔං මම බේරුනේ. අම්මපා ..  

මේ වගේ ගල් පැලෙන ඇත්ත කතා ගොඩක් තිබ්බා මෙන්න මේ තැන.

ඩ්‍රැකීගේ අඩවිය


මෙතන තියනවා ඒ ගැන වටිනා විස්තරයක් 

(ප.ලි. මේ වගේ කතා අපි පොඩි සන්දියේ මල ගෙවල්, පින්කම් ගෙවල් වලට ගියහම අපිව ලං  කරන් මේ වගේ කතා කියා දෙමින් සුරංගනා ලොවකට අප රැගෙන ගිය ඒ සුන්දර මිනිසුන් කෙදිනකවත් අපේ දරුවන්ට නැවත මුණ ගැසීමට වාසනාව නොමැති වීම ගැන ශෝක වෙනවා හැර අපට කල හැකි දෙයක් නැත. සරලව ජීවත් වෙමින් නිතරම සතුටින් සිනහවෙන් සිටි ඒ මිනිසුන් වෙනුවෙනි.)

Wednesday, September 25, 2013

ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කරුණු (2)

පලමු ලිපියට මෙතනින් 
ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කරුණු (1)


හරි එහෙනම් වොරන්ටි, ගැරන්ටි කියන්නේ මොකක්ද වගේම වොරන්ටි නැති වෙන්න පුළුවන් කාරනා කීපයකුත් අපි කලින් කතා කළා. ආෆ්ටර් සේර්විස් කියන්නේ මොකක්ද කියලත් තරමක්  කතා කලා. අද එහෙනම් කියන්න යන්නේ වොරන්ටිය නැති වෙන්න පුළුවන් තවත් හේතු කීපයක් සහ තවත් ලට්ට ලොට්ට ගොඩක් මේ සම්භන්දව.

ගොඩක් වර්ග වල  භාණ්ඩ මිලදී ගත්තට පස්සේ  කල යුතු අනිවාර්ය සේවා කිරීම් තියනවා වගේම සමහර භාණ්ඩ තියනවා ඔය මොන මඟුලක්වත්  නොකර දිගටම පාවිචි කිරීම විතරක් කරන්න පුළුවන් (උදා : ශීතකරණ, ඔරලෝසු, ජංගම දුරකථන).  එවැනි භාණ්ඩ අනවශ්‍ය විදිහට් සේවා(service) කරන්න ගිල්ලත් වොරන්ට්යිය නැති කරන්
 
ඉල්ලගෙන කන්න සිද්ද වෙන්න පුළුවන්. මම දැකලා තියන ගොඩක් පාරිභෝගිකයෝ ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. (මේක සම්මත බෙදීමක් නෙවේ මගේ මතය අනුව කල වර්ග කිරීමක් විතරයි.)

1. මිලදීගත් භාණ්ඩය ගැන කිසිම සැලකිල්ලක් නැතිව තමන්ගේ අවශ්‍යතාව  සපුරා ගන්න පමණක් කටයුතු කරන පාරිභෝගිකයින්.

2. භාණ්ඩය පිලිබඳ හොඳ දැනුමකින් භාණ්ඩයේ නඩත්තු නිසි පරිදි කරමින් භාණ්ඩය භාවිතා කරන පාරිභෝගිකයින්.

3. භාණ්ඩය පිලිබඳ ඕනවට වඩා සොයා බලමින් අනවශ්‍ය පරිදි සේවා(service) කරමින් භාණ්ඩය භාවිතා කරන පාරිභෝගිකයින්.          

ඔතනින් මං වැටෙන්නේ එකෙන්ම ඔය අංක 1 කියන ගොඩට. හෙහ් ..දැන් ඉතින් හැමෝම දන්නවනේ මේ කියන්නේ වැදී  බන තමයි කියලා. මේ කණ්ඩායමේ පාරිභෝගිකයින් බලන්නේ නැ  භාණ්ඩය හදලා තියෙන්නේ මොකටද ?. මොනවද එකෙන් කරගන්න පුළුවන් වගේ දේවල්. තමන්ට ඕන කරන ඕනෑම දෙකට මේ ගොල්ලෝ මේ භාණ්ඩය පාවිච්චි කරනවා. තමන්ගේ අවශ්‍යතාවය ඉටු වෙනවනම් ඒ ඇති. අහන්න දෙයක් නැ මේ වගේ පාවිච්චි කරන භාණ්ඩයකට වොරන්ටි හම්බෙයිද කියලා. හැබයි මේ අයත් වොරන්ටි කාලය ඇතුලත භාණ්ඩයේ දෝෂයක් ඇති උනොත් උස්සගෙන යනවා භාණ්ඩය මිලදී ගත ආයතනයට. එතන ඉන්නේ ඔය වගේ පාරිභෝගිකයින් ඉහේ කෙස් ගානට දැකපු මුදලාලිලා සහ නඩත්තු ශිල්පීන්. ගිහින් පුක්  මුනකුත් දාගෙන, සද්දෙකුත් දාල තමයි භාණ්ඩය දෙන්නේ. එතකොට අනේ කොහොම හරි මේ ගොල්ලෝ මේ භාණ්ඩයේ වගකීම් සහතිකයේ ඇති කොන්දේසියක් කැඩිලා කියලා පෙන්නලා දීලා. භාණ්ඩයේ වගකීම අවසන් කියල කියනවා. එතකොට ඉතින් සද්දේ දාල ආපහු හැරිලා එනවට වඩා දෙයක් කරගන්න බැරි වෙනවා. හැබයි මම දැකලා තියන විදිහට මේ අය වැඩි දුර පන්නන්නේ නැ භාණ්ඩයට වගකීම ගන්න මොකද මේ අය දන්නවා තමන් භාණ්ඩය භාවිතා කල විදිහ. ගොඩක් වෙලාවට ඉක්මනින් හිත හදාගෙන  වෙන භාණ්ඩයක් මිලදී ගන්නවා.    

දෙවැනි කණ්ඩායමේ පාරිභෝගිකයින් තමා නිවැරදිම කට්ටිය. මේ අය භාණ්ඩය නිවැරදිව භාවිතා කරනවා පමණක් නෙවේ ඒ අය එහි වගකීම ආදී සැම දෙයක් ගැනම ගොඩක් විට දැනුවත්. මේ අයත් වගකීම් කාලය ඇතලත භාණ්ඩ රැගෙන යනවා. අවංක ආයතනයක් නම් අනිවාර්යෙන් මේ අයට වගකීම් සහතිකයේ කොන්දේසි වලට අනුව වගකීම ලබා දෙනවා. සමහර විට පාරිභෝගිකයා නොදැනුවත්ව වගකීමේ කොන්දේසියක් උල්ලන්ගනය වෙලා තියෙන්න පුළුවන් (උදා : ජංගම දුරකතනයක් තුලට පාරිභෝගිකයා නොදැනුවත්ව ජලය යාම-කුඩා දරුවෙකු අතින්, නාන කාමරයේදී )  නමුත් එහිදී ඔබ හොඳ මහත්මයකු ලෙස හැසිරුනොත් බොහෝ විට මෙම ආයතනයෙන් ඔබට සහනයක් ලබා දෙනවාමයි. ඒ වගේම මේ අය රැගෙන එන භාණ්ඩය සමහර විත ඉතා සුළු අලුත් වැඩියාවකින් නැවත මුල් තත්වයට ගන්න පුළුවන්.           



තුන් වැනි කණ්ඩායම් තමයි හොඳටම ඉල්ලගෙන කන කට්ටිය. මේ අය භාණ්ඩය ගැන අනවශ්‍ය තරම් සැලකිල්ලක් දක්වනවා. ඒක භාණ්ඩයකට සැලකිල්ලක් නොදක්වා ඉන්නවටත් වැඩිය අනා ගන්න වැඩක් වෙනවා. අදික සැලකිල්ල නිසා බොහෝ විට නැති දෝෂ පවා පෙනෙන්න ගන්නවා. අලුත් ගොඩක් උපකරණ මෘදුකාංග මගින් ක්‍රියාත්මක වන දේවල් හින්දා ගොඩක් වෙලාවල් වලට තාවකාලික දෝෂ ඇති වෙන්න පුළුවන්. සමහර අවස්ථා වල නැවත පන ගැන්වීමක්(restart) හෝ ප්‍රාථමික ප්‍රතිපිහිටුමක් (factory reset) මගින් දෝෂය ඉවත් කර ගන්න පුළුවන්. නමුත් මේ අය දෝෂය තහවුරු කර ගන්න නැවත නැවත දෝෂය ක්‍රියාත්මක කර බැලීම තුලින් විශාල දෝෂයක් නිර්මාණය කර ගන්නවා. ඒ විතරක් නෙවේ භාණ්ඩය හොඳින් පවත්වාගෙන යාමට සිතා නුසුදුසු සැලකිලි දක්වනවා(උදා: TV,කැසට් වැනි දේවල් මත රෙදි වැනි ආවරණයක් යෙදීම, ජංගම දුරකථන සුවඳ විලවුන්, සර්ජිකල් ඉස්පිරිතු, ෂැම්පු වගේ දේවල් වලින් පිස දැමීම- එවිට මතු පිට ඇති ආරක්ෂක තීන්ත ආවරණය බිඳ වැටේ, නිතර නිතර බ්‍රෂ් කිරීම, පරිගණක වැනි දැ වඩා හොඳ සිසිල් කිරීමක් යයි සිතා  පියන ඇර තැබීම, යාන්ත්‍රික කොටස් වල ඇති ඇන නිතර නිතර බුරුල් වී ඇතැයි සිතා තද කිරීම). මේ අයගෙන් තමයි වෙළඳ ආයතන වලට බේරෙන්නම බැරි. මේ අයගේ කන්දොස්කිරියාව හින්දම මේ අයට වගකීම ලබා ගන්න බැරි වෙන වෙලාවල් බොහොමයි. අනිත් එක මේ අය සුළු සුළු දෝෂ කියමින් වට පිටේ ඉන්න මක බාස්ලා  වෙත පෙන්වීමෙන් හෝ තමන් විසින් බොහෝ විට වගකීමේ මුද්‍රා කඩා ගන්නවා. දන්නවනේ ඉතින් ඔය මුද්‍රාව කඩා ගත්තොත්  ආය නෝ වොරන්ටි. මොකෙක්වත් ගන්න  කැමති නැ ගත්තත් ඉතින් කොන්ඩම් කරලා දෙකේ කොලේට තමා ඉල්ලන්නේ. ඇත්තටම මේ අයගේ භාණ්ඩ ගොඩක් වෙලාවට ස්භාවිකව ලෙඩ වෙච්චි ඒවා නෙවේ මේවා හදා ගත්ත ලෙඩ. එතැනින්ම වගකීම අහෝසි වෙනවා. ඒ වගේම මේ අය සැහෙන්න බොරුත් කියනවා භාණ්ඩය සඳහා වගකීම ගන්න. හැබයි ඉතින් ඔය භාණ්ඩය විකුනපු මුදලාලි මේ වගේ කට්ටිය කඩේ දොරෙන් ඇතුලට එද්දිම අඳුනා ගන්නවා.

                    හරි මේ කතා කලේ භාණ්ඩ භාවිතා කරන පාරිභෝගිකයින් ගැන. යකෝ මාතෘකාවේ  තියෙන්නේ  "ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කරුණු" කියලා එහෙනම් මොන මඟුලක්ද මේ ගන්න එවුන් ගැන ලියන්නේ කියලා හිතයි. නැ  මේ ගැනත් ඔබ දැන ගන්න ඕන මොකද  භාණ්ඩය මිලදී ගන්න ඔබ ගැනත් විකුණුම් කරුවෝ දන්නවා කියලා හිතාගෙන ඉන්න එක හොඳයි නොවැ.      

                         අනිත් දේ තමයි භාණ්ඩයේ මිල. ගොඩක් වෙලාවට  බොහොමයක් පාරිභෝගිකයෝ කැමති තමන්ට වඩා වැඩි ලාබයක් ලැබෙන මිල අඩුම තැනින් භාණ්ඩ මිලදී ගන්න. නමුත් මේ වෙලාවේදී ඔබ පොඩ්ඩක් කල්පනා කාරී වෙන්න ඕන. භාණ්ඩයක් වෙළඳ පොලේ විකුනන්න පුළුවන් අවම මිලක් පවතිනවා සමහර භාණ්ඩ වල එය සටහන් කර තිබුනත් ගොඩක් භාණ්ඩ වලට තියෙන්නේ වෙළඳ පොලෙන් තීරනය උන මිලක් ඒ මිලටත් වඩා  අනවශ්‍ය පමනට මිල අඩු කරන භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන. මොකද භාණ්ඩය එම මිලට විකිණිය හැකි වෙන්නේ සමහර විට එහි පවතින දෝෂයක් නිසා විය හැකියි. නැත්නම් නීතිමය  ප්‍රශ්නයක් විය හැකියි.(උදා : මැරුණු පික්සල් ඇති TV , LCD, කැමරා. නිසි වේගයක් නැති පරිගණක,දුරකථන,සුළු අලුත් වැඩියාවකින් පසු  විකිණීමට  ඒවා ඇති භාණ්ඩ, බදු හෝ ලියාපදිංචියෙන් තොර හොරෙන් ගෙන්වූ භාණ්ඩ, නියමිත ප්‍රමිතිය සම්පුර්ණ කිරීමට අපොහොසත් වූ භාණ්ඩ )  දන්නවනේ කියමනක් තියනවා "ලාභ බඩුවේ හිලක් ඇත " කියලා. 



       ඒ වගේම ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගැනීමේදී බලන්න ඕන වැදගත්ම දෙයක් තමයි මෙය නිෂ්පාදනය කර තිබෙන්නේ කුමන කලාපයක භාවිතා කිරීමටද කියන එක. ගොඩක් අය මේ   ගැන ඇත්තෙන්ම දන්නෙත් නැ. නමුත් මේක ඉතාම වැදගත් දෙයක්. නිෂ්පාදන ආයතන සමහර භාණ්ඩ නිපදවන්නේ සමහර රටවල් වල හෝ යම් කලාපයක්  විකිණීම සඳහා  විශේෂීකරණයක් සහිතව(උදා : යුරෝපා රටවල පමණක් විකිණිය හැකි භාණ්ඩ, ඇමරිකාවේ පමණක් විකිණිය හැකි භාණ්ඩ). එකට හේතු වෙලා තියෙන්නේ එක එක රටවල භාවිතා කරන විදුලි සැපයුම, ඩිජිටල් හෝ ඇනලොග් තරංග, සේවා සපයන්නන් ලබා දෙන විවිද පහසුකම්, දේශගුණික තත්වය වැනි දෑ එකිනෙකට වෙනස් වීමත් එවැනි දේ මත යන්ත්‍රයේ ක්‍රියා කාරිත්වය වෙනස් වීමත් යන කරුණු නිසයි. හැමෝම දන්නා ප්‍රසිද්දම උදාහරණය  වන්නේ විදුලිබල සැපයුමේ වෙනසයි. ජපානය වැනි රට වල 110v  භාවිත කරන අතර   ලංකාවේ අපි 230V විදුලි සැපයුමක් භාවිතා ක‍රනවා. ජපානයේ  භාවිතය සඳහා  වෙන් කෙරුණු විදුලි උපකරනයක් අපගේ විදුලියට සම්බන්ද කලොත් අනිවාර්යෙන් එහි පරිපත කොටස් දැවී යනවා.  ඒ වගේම ජංගම් දුරකතන  වැනි  තරංග භාවිතා කරන උපකරණ වල තරංග  පරාසයන්  රටින් රට වෙනස් වෙන්න පුළුවන් උදාහරණයක් ලෙස කොරියාව,ජපානය, ඇමරිකාව,ඔස්ට්‍රේලියාව වැනි රටවල් බහුලව ජංගම් දුරකථන වැනි උප කරන සඳහා CDMA,WCDMA තරංග භාවිතා කරන නමුත් ලංකාව තුල භාවිතා වෙන්නේ GSM තරංගයි. ඒ වගේම සේවා සපයන්නා විසින් ලබා දෙන සමහර විශේෂ සේවා ලබා ගැනීම  සඳහා  සකස් කල software සහ hardware කොටස්  තියෙන්න පුළුවන්. මෙවැනි උපකරණ මිලදී ගත විට එයින් ලබා ගත හැකි උපරිම භාවිතය ලබා ගන්න බැ(උදා : කොරියන් version දුරක්තන වල SMS එකක දිග අපේ දුරකතනයක SMS 4ක පමණ දිගට සමාන වීම, රේඩියෝ පහසුකම භාවිත කල නොහැකි වීම, අලුත් වැඩියාවක් කිරීමට උවහොත් අමතර කොටස් සොයා ගැනීමේ දුෂ්කරතාව. BlackBerry/Nokia  වර්ගයේ විශේෂිත network එකකට lock කරන ලද දුරකථනයක් Unlock කල පසුව 3G signal නොලැබීම, BlackBerry සේවා ලබා ගත නොහැකි වීම, Android දුරකථන මගින් Apps Download කිරීමට   යාමේදී එම කලාපයේ Apps පමණක් Download කිරීමට අවසර ලබා දීම)  


තවත් මම ප්‍රයෝගිකව දැක   තියන දෙයක් තමා සමහර රටවල් හෝ කලාප සඳහා නිෂ්පාදනය කරන භාණ්ඩ වල Hardware කොටස් වල තියන වෙනස් කම්. මේවා සැලසුම් කර තියෙන්නේ ඒ ඒ දේශගුණ තත්වයන්ට ගැලපෙන ලෙස. ඔබ මිලදී ගන්නා භාණ්ඩය සමහර විට සීත රටක භාවිතා කිරීමට සැලසුම් කර ඇත්නම් එහි සිසිලන පද්දතිය එයට ගැලපෙන ලෙස සකස් කර ඇති නිසා අපේ රටේදී භාවිතා කරන විට අදිකව රත් වීම නිසා විවිද දෝෂ පැන නැගිය හැක(උදා : ප්‍රසිද්ද ලෙඩක් වන HP Pavilion වර්ගයේ Laptop පරිගණක වල Graphic IC පෑස්සීමට භාවිතා කරන ඊයම් වියලීම නිසා ඇති වන Display නොලැබීමේ දෝෂය,).        


(හරි යන්නේ නැ වැඩේ තවත් එකක් ලියන්න වෙයි වගේ. එහෙනම් මතු සම්බන්දයි ඇ ..) 


Sunday, September 22, 2013

ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කරුණු (1)

හැමදාම අනම් මනම් ලියන එකේ එලෝ මෙලෝ යහපත තකා ඔන්න අද ලියන්න යන්නේ හැමෝටම වටියි කියලා හිතෙන ලිපියක්. මේක ලියන්න හේතු උනේ සුධිකගේ ගැරන්ටිද ? වොරන්ටිද ? (Guaranty or Warranty ) ...... කියන පොස්ට් එක. මේකට මම කොමෙන්ට් එකක් දැම්මත් එක දාන කොට පෙරහැර ගොඩක් ගිහින් ඉවරයි. ඒ හින්දා තව තව කාරනා එකතු කොරලා මේකෙම ලියල දානවා ඔං. 


 මේ වෙනකොට ඉලෙක්ට්‍රොනික් උපකරණයක් භාවිතා නොකරන කෙනෙක් හොයා ගන්න එක කළුනික (නැ ..නැ  තමාලිගේ කළුනික නෙවේ) හොයනවටත්  වඩා අමාරුයි. ඒ තරමටම ඉලෙක්ට්‍රොනික් බඩු  භාණ්ඩ සුලබ වෙලා තියෙන්නේ. ඉතින් මේ ඉලෙක්ට්‍රොනික් දේවල් මිලදී ගන්න කොට අපිට අහන්න ලැබෙන  වොරන්ටි,  ගැරන්ටි, ආෆ්ටර් සේර්විස්, සේර්විස්  වොරන්ටි, හාර්ඩ්වෙයාර් වොරන්ටි, සොෆ්ට්වෙයාර් වොරන්ටි ගැන තමයි  දන්නා විදිහට මගේ අත්දැකීම් අනුව ලියන්න යන්නේ. දැන් ඉතින් කවුරු හරි අහන්න බැරි නැතෝ "කොහොමෙයි ඕවා ගැන ලියන්නේ තෝ කොහොමෙයි ඔය ගැන දන්නේ" කියලා. එකට නම් ඉතින් කියන්න තියෙන්නේ දැන් අවුරුදු 15 කට වඩා ඕවත් එක්කම හැප්පිච්චි එක තමා ලොකුම සුදුසු කම කියලා. කොටින්ම තාත්තා ගෙට අල්ලලා අලුත් කාමරයක්ම හැදුවා මම කඩන බිඳින බඩු  භාණ්ඩ   දාන්නම ඔන්න.ආය  තවත් මොන සුදුසුකම්ද. කොහොම කොහොම හරි එක එක ජාතියේ රස්සා ගොඩක් කරා උනත් කවදාවත් මේ ඉලෙක්ට්‍රොනික් බඩුත් එක්ක ගනු දෙනු කරනවා තරම් ඒවා ආතල් නැති හින්දා අන්තිමේට කොහෙන් හරි කැරකිලා එන්නේ මෙතෙන්ටම තමයි. 


ඉලෙක්ට්‍රොනික් බඩුවක් ගන්න යනකොට ගොඩක් දෙනෙක් හොයන දෙයක් තමයි මේ වොරන්ටි සහ ගැරන්ටි කියන එක. හැබැයි ගොඩක් දෙනෙක් පටලවාගෙන ඉන්නෙත් මේ දෙකම තමයි. ඇත්තෙන්ම මමත් කාලයක් යනකන් ඔය වචන දෙකේ පැහදිලි තේරුමක් තේරුම් ගන්න බැරිව අනාත වෙලා තමයි හිටියේ. ඒ හින්දම ගොඩක් වෙලාවට කපටි වෙළඳුන් ඉස්සරහා  කේන්තියෙන් පුපුරමින් හැරිලා එන්න සිද්ද උණු වාර ගණන අනන්තයි. නමුත් කාලයක් යනකොට ගොඩක් ආයතනත් එක්ක ගනුදෙනු කරලා සහ ආයතන වල රැකියා කරද්දී   තේරුම් ගත්තා ඇත්තටම  මේ කියන්නේ මොකක්ද කියලා. ඔන්න එහෙනම් සුදීකගේ පොස්ට් එකට දාපු    කොමෙන්ට් එකම ටිකක්  upgrade  කරලා මෙතැන  දානවා.  

ඔතන වචන දෙකේ පැහැදිලි වෙනසක් තියනවා. සුදික ඒ ගැන පැහදිලිව සටහන කරලා තියනවා ඒක වෙබ් අඩවියකින් කරපු නිර්වචනයක් සමහර විට ලෝකයම පිළිගන්න ක්‍රමය එක වෙන්න පුළුවන්. නමුත් ලංකාව කියන්නේ ඔය ලෝකයාට වඩා වෙනස් මිනිස්සු ඉන්න තැනක්නේ. ("ලෝකේ අනිත් මිනිස්සුන්ට වඩා අපේ මිනිස්සු වෙනස් "). අපේ රටේදී ඕක මෙන්න මෙහම තමයි නිර්වචනය වෙන්නේ.

     ජංගම දුරකථන , පරිගණක සහ නොයෙකුත් ඉලෙක්ට්‍රොනික් බඩුත් එක්ක අවුරුදු 15 විතරම හැප්පුණු මටත් ඔය දෙක පැහැදිලිව අඳුරගන්න අමාරු වෙලා තිබුනේ. නමුත් ආයතන කීපයක වැඩ කරන්න ගත්තට පස්සේ මම ඔය වචන දෙක යොදා ගන්න විදිහ ගැන පැහැදිලි අවබෝදයක් ලබා ගත්තා.

ගැරන්ටි කියන්නේ ඇත්තටම සහතික කිරීමක් කියලා කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට යම් භාන්ඩයක් මිලදී ගන්නා අවස්ථාවේ එය නිෂ්පාදකයාගේම නිෂ්පාදනයක් බවත් එය නිෂ්පාදකයා ලබා දී ඇති සියලු පහසුකම් ලබා ගැනීමට භාවිතා කල හැකි බවත් නිෂ්පාදකයා කියන කාලය එය භාවිතා කල හැකි බවත් සහතික කිරීමක්. යම් අවස්ථාවකදී පාරිබෝගිකයාට ඔප්පු කරන්න පුළුවන් නම් එම භාණ්ඩය නිෂ්පාදකයා සහතික කරන පහසුකම් ලබා ගැනීමට අපොහොසත් කියලා එවිට එම භාණ්ඩය වෙනුවට වෙනත් භාණ්ඩයක් ලබා දෙන්න කටයුතු කල යුතුයි. නමුත් මෙහිදී නිෂ්පාදකයා එම භාණ්ඩය බාවිතා කරන ආකාරය ගැන දක්වා ඇති කොන්දේසි උල්ලංගනය නොකර එය බාවිතා කල යුතුයි. මේ ගැරන්ටිය අනිවාර්යෙන් හොඳ නිෂ්පාදනයක් සඳහා ලැබෙනවා. නමුත් එහිදී නිත්‍යානුකුල බවක් නැ. අවශ්‍යනම් එම භාර ගැනීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ සඳහා නීතියට අනුව කිසිවක් කරන්න බැ. නීතිය අනුව කටයුතු කරන්න පුළුවන් වෙන්නේ අර කලින් කියපු නිෂ්පාදකයා  සහතික කරන පහසු කම ලබා ගන්න බෑ  කියන පදනම මත පමණයි. 

වොරන්ටිය කියන්නේ එම නිෂ්පාදනය පිලිබඳ වගකීමක් ලබාගැනීමක්. උදාහරනයක් ලෙස ඉහත පරිදි ගැරන්ට් කරන ලද උපකරණයක්. නිෂ්පාදකයා නිර්දේශ කරනා ආකාරයට භාවිතා කරමින් සිටියදී යම් හානියක් සිදුවුවහොත්. එය සඳහා නැවත වෙනත් උපකරණයක් ලබා දීම හෝ මුදල් ආපසු ලබා දීම හෝ විය හැකියි. එහිදී යම් කාල සීමාවකට යටත්ව, කොන්දේසි සහිත නීතියට යටත් ලේඛනයක් ලබා දෙනවා. එම නිසාම එම වගකීම පැහර හැරියොත් ඒ සඳහා නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්න පුළුවන්. නමුත් ඒ සඳහා ඔබට සාක්ෂි අවශ්‍ය වෙනවා එම නිසා අනිවාර්යෙන් බිල්පතක් සහ වගකීමේ සහතිකයක් ඔබ සතු විය යුතුයි. 


සරලවම කීවොත් අපි නිතර ගනුදෙනු කරන ආයතනයකින් බඩුවක් ගන්නකොට මුදලාලි අපිට කියනවා "මේක ඔර්ජිනල් එකක් බය නැතිව ගන්න කියලා" ඒ කියන්නේ ගැරන්ටිය. හැබයි භාණ්ඩයට මොනවා හරි උනොත් මුදලාලිගේ හොඳ හිතත් භාණ්ඩයේ නිෂ්පාදකයාගේ හොඳ හිතත් මත තමයි අපිට සාධාරනයක් වෙන්න අවස්තාව තියෙන්නේ. නමුත් වොරන්ටියක් දුන්නනම් එකේ තේරුම මුදලාලි නරක උනත් හොඳ උනත් මිනිහට ඒ වගකීම් සහතිකේ තියන විදිහට වැඩ කරන්න වෙනවා කියන එක. එහෙම නොකලොත් ඔබට නීතිය හමුවට යන්න පුළුවන්. 
හැබයි ඔබ මේ  කියන වගකීම ලබා ගන්න නම් කලින්ම නිෂ්පාදකයා ලබා දී ඇති භාවිතා කිරීමේ හා නඩත්තු කිරීමේ උපදෙස් පත්‍රිකා හොඳින් අධ්‍යනය කරලා ඉන්න ඕන. මොකද නිෂ්පාදකයාගේ උපදෙස් වලට පිටින් යමක් කරන්න ගිහින් යම් හානියක් සිදු උනොත් ඔය කිසිම වගකීමක් ලබා ගන්න බැරුව යනවා.

ඒ වගේම තමයි හැමෝම බලන තවත් දෙයක් වෙන්නේ මේ ආෆ්ටර් සේර්විස් කියන දෙය. ඇත්තෙන්ම විකුණු භාණ්ඩයක් පරිබෝගිකයා භාවිතා කරන්න ගත්තට පස්සේ යම් යම් නඩත්තු කටයුතු තියනවා කරන්න. සමහර භාණ්ඩ වලට අනිවාර්යෙන් කල යුතු නඩත්තු කටයුතු තියනව. ඒවා නිශ්චිත කාල සීමාවක් තුල නිවැරදිව පුහුණු කාර්මිකයකු සිදු කල යුතුම දේවල්. මෙවැනි සේවා ගැන බොහෝ විට එම භාණ්ඩය මිලදී ගන්නකොටම  දැනුවත් කරනවා. සමහර විට ඒ පිලිබඳ වගකීම් සහතිකයේම සටහන් කරලා තියනවා. සමහර විට නිකන්ම කටවචනයෙන් කියනවා. මේ සේවා නොමිලේ හෝ  මුදල් ගෙවා ලබා ගන්න සිදු වෙන්නත් පුළුවන්. ඒ පිලිබඳ හොඳින් විමසා දැන ගන්න ඕන මොකද සමහර විට මේ නඩත්තුව නොකලා කියන්නේ සමහර විට මුළු යන්ත්‍රයටම තියන වගකීම අහෝසි වෙනවා කියන එක වෙන්න පුළුවන්.  උදා (photocopy machine, printers ).  ඒ වගේම මේ සේවා කිරීම හිතු මතේට කරන්න බැ ඒ සඳහා බලයලත් නියෝජිතයෙක් හෝ භාණ්ඩය මිලට ගත් ආයතනය වෙත හෝ යන්න වෙනවා. එහෙම නොවුනොත් භාණ්ඩයේ වගකීම අහෝසි වෙලා යන්න පුළුවන්. 

(කෙටියෙන් විස්තරේ ලියන්නම් කියලා හිතුවට  වැඩේ හරි යන්නේ නැති පාටයි. ගොඩක් දිග උනොත් කියවන්නත් කම්මැලි හින්දා "මතු සම්බන්දයි" ඇ... )          

Saturday, August 24, 2013

ශ්‍රී ලාංකීක සංගීතයට මා කල අමරණීය සේවය.

ශ්‍රී ලාංකීක සංගීතයට මා කල අමරණීය සේවය.



හැමෝම දන්නවනේ මේක කිසිම චාරයක් ඇතිව පොස්ට් දාන බ්ලොග් එකක් නෙවේ කියලා. එකට ප්‍රධාන හේතුව මගේ තියන කම්මැලි කම කියන්න පුළුවන්. අනික කියවන්න තරම් ලියන්න ආසා නොවීම. අර කියමනක් තියනවනේ එක කටකුයි කන් දෙකකුයි තියෙන්නේ අඩුවෙන් කතා කරලා වැඩියෙන් අහන්න කියලා මම නම් කන් දෙකටත් වැඩිය පාවිච්චි කරන්නේ ඇස් දෙක කීවොත් හරි. පොඩි කාලේ ඉඳන් ඇබ්බැහි උන කියවීමේ පුරුද්ද තවම අතහැර ගන්න බැරි උනා. දැන් ඉතින් කවුරු හරි කියයි ඉතින් යකෝ ඇස් දෙකක් වගේම අත්  දෙකකුත් තියෙන්නේ. උඹ කියවනවා වගේම ලියපංකෝ කියලා. ඒ උනාට ඇස්  දෙකම කියවන්න පාවිච්චි කරාට අත් දෙකම් ලියන්න පාවිච්චි කරන්න බැ නොවැ.

හරි ඉතින් අද මේ ලියන්න හේතුව උනේ අද දවසටම මෙලෝ වැඩක් නැතිව ඉන්නකොට  සිංදුවාගේ බොග  පැත්තේ ගියපු එකෙන් මගේ පාසල් කාලය මතක් වීම. හරි ඔන්න එහෙනම් රියල් ෂිද්දිය ...හරිය.



මං තුමා 1 වසරේ ඉඳන් 5 වසරට වෙනකන් කනිෂ්ඨ ඉස්කෝලෙකට ගිහින් සිස්සත්තෙන් ඇනගෙන ඉන්නකොට ඒ දවස් වල සිස්සත්තෙට අමතරව ඇතුලත්වීමේ විභාගේ කියලා එකක් ඔය ජනප්‍රිය පාසල් වල තිබුන එකෙන් කොහොම හරි ඔන්න මාධ්‍යමහා   විද්‍යාලයකට ඇතුලත් උනා කියමුකෝ. ඕකට ගිහින් ඔන්න ටික දවසකින් අපේ පන්තිභාර ටිචර්  කීවේ නැතැ "දැන් ළමයි ඔය ගොල්ලෝ හැමෝම සෞන්දර්ය විෂයට තමන් කැමති දෙයක් තෝරා ගන්න ඕන" කියලා. අනේ ඉතින් කවදා කාපු සුනාමි ටකරන්ද? මම ඉතින් කොයි පැත්තට යන්නද කියලා හිතා ගන්න බැරිව වට පිට බල බල ඉන්නකොට මෙන්න බොලේ මට අලුතෙන් සෙට් වෙච්චි අපතයෝ වැඩි හරියක් සංගීත පංතියට යන්න අත උස්සගෙන ඉන්නවා. මමත් ඉතින් මෙලෝ දෙමළයක් දන්නා එකක්ය. මමත් අත ඉස්සුවා ඔන්න සංගීතය  කොරන්න කියලා.   

දැන් ඉතින් ටික කලක් යනකම්  මෙලෝ මඟුලක් නැ සංගීත පන්තියට යනවා මැඩම් කියන ටික ලියා ගන්නවා එනවා. ඔච්චර තමයි. කොහොම කොහොම හරි ටික ටික ඉහලට එනකොට ඔය පීරියඩ් එකේ බොහොම කළාතුරකින් දවසක තමයි සංගීත කාමරේට යන්නේ. වැඩි හරියක් අපි අපතයෝ ටික පිට්ටනියේ හරි කැන්ටින් එකේ හරි තමයි. අපේ සංගීත මැඩම්ටත්  අපි පන්තියට එන්නේ නැත්තන් ඉතින් කියලවත් කර ගන්න බැරි වැඩක් හින්දා කවදාවත් හොයන්නේ නැ. ඇවිත් ඉන්න එවුන් ටිකට දෙයියනේ කියලා උගන්නනවා. කොහොමින් කොහොමින් හරි ඔන්න අ.පො.ස. (සා.පෙ) අවා කියමුකෝ. දැන් ඉතින් විභාගෙට ලියන්න අහවල් එකය කොහේන්  හරි ඔය කෙල්ලෝ දෙන්නෙක්  තුන්දෙනෙක් ගේ පොත් ටිකක් බලලා එහෙන් මෙහන් ඇහුන ධාධරා,ත්‍රිතාල්, රාග, ආලප. ස්වර ප්‍රස්තාර අරවා මේවා කියන වචන කැලි  ටික   අල්ලාගෙන හිත හදා ගත්තා කොහොම හරි සංගීත පෙපොරේ ලියන්න.

            කොහොමින් කොහොම හරි ඕන බොරුවක් ඇත්ත වගේ ලියන්න පුළුවන් කොමටයි කොපි කිරීමේ විශේෂ දක්ෂතාවයටයි පින් සිද්ද වෙන්න මෙන්න යකෝ සංගීත විෂයට තියන ප්‍රයෝගික පරික්ෂනේට යන්න තරම් ලියපු පේපොරෙන් අපි ඔක්කොම ගොඩ ගිහින්. 

දැන් ඉතින් ඔන්න ටික කාලෙකින් ප්‍රායෝගික පරීක්සනේ. තිබ්බේ කොහෙද කෑගල්ල රංවල කියන තැන තියන රංවල මහා විද්‍යාලේ. එදත් ඉතින් සුපුරුදු විදිහට සියලු කාඩයෝ  ටික කෑගල්ල නගරයට  එකතුවෙලා කරන්න පුළුවන් ඔක්කොම නසරානි වැඩ කරලා ඔන්න යන්තන් උදේ 10 විතර වෙනකොට ඔය කියන තැනට ගියා. 

අප්පට පුතේ මෙන්න මෙතන ඉන්න සෙනග ගොඩ අපේ ඉස්කෝලේ එවුන් විතරක් නෙවේ තව ගොඩක් ඉස්කෝල වල එවුනුත් මෙතැන. අපි ඉතින් ඔය මොනවා කරත් ලජ්ජා භයට හැදිච්චි කොල්ලෝ හින්දා හෙන ලැජ්ජයි මුන් ඔක්කොම ඉස්සරහා සිංදු  කියන්න.  කෙල්ලොත් ඉන්නවා දැන් ඉතින් මොකෝ කරන්නේ.  මුන් ටික  ඔක්කොම ප්‍රැක්ටිකල් දීලා  ඉවර වෙනකන් අපේ එවුන් ටික පොඩි බෝලයක් හොයාගෙන දැන්  පිට්ටනියේ.

 හවස 3 විතර වෙනකොට අනිත් උන් ඔක්කොම ගියා දැන් ඉතිරි අපි සෙට් එක විතරයි. දැන් කට්ටියම ඔන්න ප්‍රැක්ටිකල් ටෙස්ට් එක තියන කාමරේ ළඟ. මේ කාමරේ  කොට බිත්ති බැඳලා උඩට යකඩ  දැල් ගහපු කාමරයක් දැන් ඔන්න විභාග අංකේ  පිලිවලට කට්ටිය සිංදු  කියන්න ඇතුලට යනවා.

ඔන්න එකෙක් ගියා ඉස්සරෝම. පේපර් දෙකක් තියනවා කැමති එකක් තෝරා ගන්න.  ගත්තා  එක පේපර් එකක්. දැන් මෙතැන ඉන්නේ මැඩම්ලා දෙන්නයි, සර්ලා  දෙන්නයි තව අර සරපිනාව වගේ තියන බටන් ටික නැති ශෘති පෙට්ටිය කියන එක වාදනේ කොරන කෙල්ලෙකුයි.   

දැන් ඉතින් මේකේ තියන්  දේවල් මු කොරන්න එපැය. අනිත් එවුන් වටේ එල්ලිලා හිනාවෙවී බලාගෙන ඉන්නවා. කොහොමින් කොහම හරි මු   අපිට වැඩිය ටිකක් හොඳ එකෙක් හින්දා  අරකේ තිබ්බ ඒවගෙන් 2/3 විතර යන්තම් ගොඩ දාගත්තා. දැන් ඊළඟ එකා මුත් ඇතුලට ගිහින් මොන මොනවද  කොරා ඔන්න ඌත්  එලියට. 

දැන් ඉතින් මෙතුමාගේ වාරේ. ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට හිටපු මැඩම්ලගේ    සර්ලගෙ මුනවල් දැන් ඉතින් බෙරි  වෙලා එක දිගට පැය ගණනක් වැඩ කරලාම මහන්සියට. ලේසි කෙලියක්ය ළමයි හාර  පන්සීයකගේ  ප්‍රැක්ටිකල් බලනවා  කියන්නේ.  
ඔන්න ඔවැනි තත්ත්වක් උඩ  තමා මෙතුමා හදිසියේම  ඒ සියලු ගුරුවරුන්ගේත් අනිත් ඉතිරි සිසුවන්ගේත්  ගැලවුම් කාරයා වෙන්නේ. 

ඔන්න සිද්දිය මෙහෙමයි.
මෙතුමා යනවා දැන් ප්‍රැක්ටිකල් දෙන රුම් එකට ඔන්න පුරුදු විදිහටම සර් දෙනවා පේපර් දෙක කැමති එකක් එකක් තෝරා ගන්න. ඔන්න මං තුමා ගත්තා පේපොරයක්.    හි ..හි කියන්න සන්තෝසයි එකේ තියන ඔක්කොම දේවල් එදාම තමා මං ඇහුවෙත්. කෙලින්ම මං  තුමා  කියපි "මම මේකේ තියන මොකුත් දන්නැ  සර් "  කියලා. 
මෙතුමාගේ අවංක කමට පැහැදුනු  එක සර් කෙනෙක් දෙනවා දැන් අනිත් පෙපොර් එක. එකටත් ඉතින් කියන්න සංතොසේ  බැ  2/3 වැඩිය දන්නේ නැත. දැන් ඉතින් මෙතුමා දහර මණ්ඩිය ගොතාගෙන පැදුරේ ඉඳගෙන වටේම සංගීත භාණ්ඩ පිරිවරා මහා සංගීත සමාධියකට සම වැදෙන්න තමා ලෑස්ති.

දැන් අර සර් කෙනෙක් ඉස්සරලම  කියපි "පුතා ත්‍රිතාල් එක දාලා පෙන්නවන්න" කියලා අනේ වාසනාවට මම දන්නෙම ඔය "ත්‍රීතාල්"  එකයි "ධාධරා" කියන එකයි විතරමයි. කිසි කෙස් එකක් නැ දැම්ම තාලේ වැඩේ ගොඩ. 
ඊළඟට අහපි තව මොකක්ද එකක් මං කොහොමෙයි ඉගන ගන්නේ නැතිව ඕවා දන්නේ. 
ඔහොම අර පේපොරේ  තිබ්බ ප්‍රශ්න ගොඩක්  අහලා බැරිම තැන සර් තිබ්බා ප්‍රස්න පත්තරේ අහක. තියලා මෙතුමා වාදනය කරා ස්වර කීපයක් දැන් මගෙන් අහනවා ඒ මොන රාගයද කියලා. 
නැට්ටට කිරි උනන කාලේ අපි දන්නේ ඉතින් එක රාගේ නොවැ. මම ඉතින් ගත් කටටම් කීවා "මන් දන්නේ නැ" කියන ලෝකේ තියන ලේසිම වචන තුන. 
පස්සේ දැන් මේ සර් අහනවා "මේ රාගේ දන්නවද" මගේ උත්තරේ "නැ සර්" "මේ රාගේ දන්නවද" "නැ  සර්". බැරිම තැන සර් කිවා හරි පුතා ඔයා දන්නා කැමති නුර්ති ගීතයක් කියන්න කියලා. 

හෙහ් ..අපි නොදන්න නුර්ති ගී. පටාර් ගාල මෙතුමා පටන් ගත්තා වෙස්සන්තර නාටකයේ එන 
"අද වෙස්සන්තර රාජ පුතා මන්ද්‍රි කුමාරි බඳී - දෙවොපකාර වේවා සැදී සෙත්.. " 
කියන සිංදුව. 

අම්මට සිරි යකෝ මෙන්න අර එලියෙ ඉන්න අපේ ගොබිලෝ ටික යකඩ දැලට තට්ටුවක් දදා සෙට් වෙනවා සිංදුවට. මේක දැක්ක විතරයි අර සර් කීවා "නවත්තන්න... නවත්තන්න  ඔහොම නෙවේ පුතා මේ සංගීත භාන්ඩත් එක්ක ශ්‍රතියට  ඕක ගායනා කරන්න" කියලා. 
දැන් ඉතින් අනිත් ගුරුවරු කට්ටිය වයලීනය, තබ්ලාව, සරපිනාව ගහනවා මෙතුමා ඉතින් ලෙසටම ගායනා කරනවා. ඔං  විනාඩියක් වත් ගියේ නැ  අර සර්  අතින් සංඤා කරලා  කීවා ඔය තබ්ලාව පොඩ්ඩක් නවත්වන්න කියලා. තබ්ලාව නැවතුවා  විතරයි මෙතුමාත් සිංදුව  නැවැත්තුවා. 
"නැ ..නැ  ඔය පුතා දිගටම සින්දුව කියන්න" කියලා කියපි. 
දැන් මෙතුමා ආයෙත් මුල ඉඳන් ගායනා කොරනවා. ඔන්න පේලි දෙක තුනක් කියනකොට සංඤා කොරා වයලීන් එක නවත්තන්න. 
ආයෙත් මෙතුමා සින්දුව නැවැත්තුවා.  
"නැ ..නැ   පුතා දිගටම සින්දුව කියන්න" කියලා අයෙත් කියපි. 
මෙන්න යකෝ ආයෙත් පේලි දෙක තුනක් කියනකොට සරපිනාවත් නැවැත්තුවා. මෙතුමාත් පුරුදු විදහට සිංදුව නැවැත්තුවා. 
දැන් මේ පොර කියනවා. "   නැ ..නැ   මේවා නැවැත්තුවා කියලා පුතා සින්දුව නවත්තන්න එපා  දිගටම සින්දුව කියන්න. මොකද ඔය පුතා කියන තාලෙට කවදාවත් මේ භාණ්ඩ වාදනය කරන්න බැ. ඒ හින්දා ඔයා කැමතිම තාලෙකින් සින්දුව කියලා දාන්න කියලා." 
ඉවරයිනේ........... කලිසම බිම. 

පස්සේ ඔක්කොම නවත්තලා පොර ඇහුවා මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක්.
සර් :- දැන් පුතා O / L පාස් උනොත් A /L වලට මොනවද කරන්නේ.
මං  :- හොඳට පාස් උනොත් නම් ඕන එකක් කරනවා සර් නැත්තන් ඉතින් කොමස් හරි ආර්ට් හරි තමා.
සර් :- පුතා ආර්ට් කරොත් සංගීතය විෂයක් විදිහට කරනවද ?.
මං  :- නැ  සර් 
සර්  :- දැන් මේ අනිත් ඔක්කොම පුතාගේ ක්ලාස් එකේ කට්ටියද ?.
මං  :- ඔවු  සර්.
සර් :- මේ ගොල්ලොත්   ආර්ට් කරොත් සංගීතය විෂයක් විදිහට කරයිද ?.
මං  :- මං  හිතන්නෑ සර්.
සර් :- හරි එහනම් මේ පුතාල ඔක්කොම දැන් ගෙදර යන්න. විභාගේ පාස් වෙන්න ඕන හින්දා හැමෝටම "S " එක ගානේ දෙන්නම්. හැබයි කවුරුත් මතක තියා ගන්න උසස් පෙලට සංගීතය විෂයක් විදිහට නොකරන්න. මොකද අපිට මේ සංගීතය  තව දුරටත් ඉස්කෝල වල උගන්නන්න ඉතිරි වෙන්න ඕන.                  
සියලු පිරිස එක හඬින් "හුරේ ........."

ඔන්න ඔහොමයි මම එදා සියලු දෙනා නිරුපද්‍රිතව සංගීත වගේ ගැඹුරු විෂයකින් ලේසියෙන්  ගොඩදාගෙන අරන් ආවේ. එදා ඉඳන් අද වෙනකන් අපි හැමෝම වෙච්චි පොරොන්දුව අකුරටම රැක්කා. ඉඳලා හිටලා පොඩි ෂොට් එකක් දාපුවාම සින්දුවක් දෙකක් බයිට් එකට ගත්තට කවදාවත් අපි සිංහල සංගීතයට කුරා කුහුඹුවෙක් තරම් වරදක් කරලා නැ  ඔං. 

Thursday, June 13, 2013

ටිකට් නැතිව, වීසා නැතිව රට යන හැටි


සිරා සිද්දියක් මේක. 

වීරේ මාමා වැඩ කලේ මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ උදේම කන සාකුවේ දමා ගන්න මුන්දා රස්සාවට ගියේ හවා හඳ  දකිනවා වගේ. හැබැයි පඩියනම් වෙලාවට හම්බෙනවා දෙයියෝ තමයි දන්නේ ඒ කොහොමද කියලා. මෝනින් ෂොට් එක ඇඳේ ඉඳලම දා ගත්තට පස්සේ උන්දැට මෙලෝ සිහියක් නැ. 


ඔන්න දවසක් ඩයල් එක එනවා අපේ ගේ ළඟ තියන අතුරු පාරෙන් උදේම ගහලා. උදේ කොහේ හරි යන්න ඇවිත් හිටපු කිරි මල්ලි පොරව දැකලා දැන් බයිට් එකට ගන්න ටෝක් කරනවා. විරේ මාමත් කොච්චර බීවත් සංගීතය කාල දානවා මිසක් ආය කුණුහරපයක් වත් කියන්නේ නැති ආතල් ඩයල් එක. ඔන්න කතාව මට ඇහෙනවා මෙහෙම 

ආ ..විරේ මාමේ මොකෝ අද වැඩට යන්නේ නැද්ද ?

නැ බන් කිරි පුතේ අද නිවාඩු දවසක්නේ.

අද කොහෙද නිවාඩු අද සතියේ දවසක්නේ මාමට කොයිල් වගේ උදේම ගහල

අනේ පලයන් යන්ඩ මට හොඳට මතකයි බන්

හා එහෙනම් අද මොකක්ද දවස

අද අගහරුවාදා නේ බන්

හරි එහෙනම් අද මොකක්ද නිවාඩුව

අනේ කිරියෝ තෝ එකවත් දන්නේ නැද්ද අද බන් අර ක්‍රිස්තියානි මිනිස්සුන්ගේ නිවාඩු දවසක්නේ.

මාමාට කොයිල් මේ දෙසැම්බර් නෙවේ.

අනේ බුරුවො තෝ හිතන්නේ ක්‍රිස්තියානි මිනිස්සුන්ට දෙසැම්බර් විතරද නිවාඩු තියෙන්නේ. බුරුවො අද මහ සිකුරාදා good friday.









කැප්ටන් 

ඔන්න එක අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ආමි එකට බැඳුනලු. අයියා කලින්ම ආමි එකට ආවා උනාට අවුරුදු ගානකට පස්සේ කොහොම හරි කෝප්‍රල් මට්ටමට උසස් උනාලු. මල්ලි හොඳට ඉගනගෙන එහෙම කෙලින්ම තරු පන්තියටමලු බැඳුනේ. දැන් මල්ලි ටික කාලෙකින් කැප්ටන් කෙනෙක් උනාලු. ඔය කාලේ අයියා බැඳලා කැම්ප් එක කිට්ටුව ගෙයක් අරන් පවුලත් එක්ක පොඩි කොලු පැටියෙක් එහෙම හදාගෙන ජීවත් උනාලු. මල්ලිත් තැන් තැන්  වල ඉඳලා අන්තිමට මේ අයියා ඉන්න කැම්ප් එකේ දෙවැනි නිලධාරියා වෙලා ආවලු. 

දන්නවනේ ආමි එකේ ඉතින් වයස මොකක් උනත් ඉහල නිලයට ගරු කරන්න ඕනනේ. දැන් ඉතින් මල්ලිට වෙනම ඔපිස් එකක් වාහනයක්  එහෙම දීලා පොර ඉතින් ආතල් එකේ ඉන්නවලු. බැඳලත් නැති හින්දා පොර කන පැලෙන්න බොනවලු.

කොහොම හරි මල්ලි මේ කැම්ප්  එකට ආවට පස්සේ අයියා කීවලු මල්ලිට ගෙදර ඇවිත් නතර වෙන්න කියලා. පොර ඉතින් අකැමති උනත් අයියගේ හිත රිදෙයි කියලා දැන් අයියලාගේ ගෙදරම නතර උනාලු. හැබැයි පොර ඩියුටි ශීට් එක හදනකොට හදන්නේ පොර කැම්ප් එකේ ඉන්න කොට අයියා ගෙදර ඉන්නත් පොර ගෙදර ඉන්නකොට අයියා කැම්ප් එකේ ඉන්නත් වෙන විදිහටලු. (ශික් ...යකෝ වනචර විදිහට හිතන්න එපා )

නැ .. නැ මෙතන සීන් එක වෙනස්. පොර ඉතින් අයියගේ ගැනිට තමන්ගේ අක්කට වගේලු සලකන්නේ. පොර කුණු වෙන්න බොන හින්දා අයියා ගෙදර නැති වෙලාවට ටැප් වෙන්න ගහලා ගෙදර  එන්න ඕන හින්දලු  අර විදිහට ඩියුටි සෙට් කරන්නේ. මොනවා උනත්
 පොරට ඉගන ගන්න එහෙම වියදම් කලේ අයියා හින්දා පොර අයියට හෙන භක්තියලු. කාලයක් ඔහොම යනකොට දවසක් අයියට අයියගේ ගැනී කියනවලු 


මේ ඔයාලගේ මල්ලිට ඉක්මනට කසාදයක් වත් කරලා දෙන්න. මම මේ කියන්න හිටියේ මිනිහා හැමදාම කරටි කැඩෙන්න ගහලා ගෙදර එන්නේ මම කිවා කිවා අහන්නේ නැ. ඔවා නතර වෙයි මිනිහා බැන්දොත් කියලා.

අයියට හෙන මළලු. ගැනිටත් බැනලා මොකද මෙච්චර දවසක් කීවේ නැත්තේ කියලා. එදත් හවස ඩියුටි ගියාලු දැන් හවස මල්ලි ඩියුටි ඔෆ් වෙන වෙලාවට ටිකකට කලින් මල්ලිගේ ඔෆිස් එක ලඟට ගිහින් 


"මේ අයි කමින් සර් ...." කියලා ඇහුවලු. මල්ලි ටක් ගාලා "කමින් කමින් " කිවලු. ඇතුලට යනකොට මල්ලිගේ බඩීයයි තව ක්ලාර්ක් කෙල්ලෙකුයි ඉන්නවලු.

කාමරේට ගිය ගමන් අඩිය පොලවේ ගහලා සැලුට් එකක් එහෙම ගහලා.

"ගුඩ් ඊවිනින්ග් සර්"

අද එහෙම හවස ක්ලබ් ගානේ ගිහින් කරටි කැඩෙන්න ගහලා ගෙදර එහෙම ගියොත් කකුල් දෙකෙන් අල්ලලා ගහනවා කැ*යා පොලවේ.

කෝපල් තෝ මු අද ගෙදර ගිහින් දාන්නැතිව  ක්ලබ් එහෙම එක්ක ගියොත් තොටත් හු* වනවා හු**** පුතා."

කියලා සීරුවෙන් ඉඳලා කියලා ආයෙත් අඩිය පොළොවේ ගහලා සැලුට් කරලා ගියාලු හැරිලා 






ටිකට් නැතිව වීසා නැතිව රට යන හැටි 


ඔන්න දවසක් මුල්ලේරියාවේ පොරක් දොස්තර මහත්තයා ලඟට ගිහින් අහනවලු 

"ඇ මහත්තයෝ ඇත්තද මේ ලෝකේ කැරකෙනවා කියන්නේ කියලා"


දොස්තරටත් මුන් එක්කම ඉඳලා පොඩ්ඩක් විතර අවුල් ලු. ඒ හින්දා දොස්තර මුව කාමරේට එක්ක ගිහින් ලෝක ගෝලයක් එහෙම පෙන්නලා ලෝකේ කැරකෙන විදිහ විස්තර කරාලු. 


පහුවදා දොස්තර එනකොට අර ඩයල් එක ඉස්පිරිතාලේ පිට්ටනියට වෙලා උඩ  පැන පැන ඉන්නවලු. දොස්තර ඇහුවලු පොරගෙන්
"ආ පුතා මොකද අද උදේම ව්‍යායාම කරනවා වගේ " කියලා එතකොට පොර කියනවලු 


"අනේ නැ මහත්තයෝ මම මේ අප්‍රිකාවට  යන්න "





ඇයි අවුල්ද



 මේ ටික සැරින් සැරේ https://www.facebook.com/groups/hilariousstories එකට ලියපුවා. මට හිතුනා මෙතනත් දාන්න.   






Sunday, May 26, 2013

මගේ හරක් මස් කෑමේ අයිතිය තහවුරු කරනු !

වෙසක් දවසට පස්සේ දවසේ මෙහෙම ලියන්න වෙන්නේ මගේම කරුමෙකටද නැත්තන් අවාසනාවකටද කියලා හිතා ගන්න බැරි උනත් මට හිතෙන හැටි  ලියන්නම ඕන. අද දවසම කරේ සිවුරක් දාගත්ත මෝඩයෙකුගේ  සිද්දියක් ගැන විස්තර කියවපු එකත් කොමෙන්ට් කරපු එකත්.  ඒ කරපු වැඩේට පක්ෂව විපක්ෂව දාල තිබ්බ අදහස් කියවනකොට මට හිතුනේ ඇත්තටම ලංකාව ගැන මම හිතාගෙන හිටිය චිත්‍රය මොන තරම් වැරදිද කියලා.

බුද්ධාගම, හින්දු ,මුස්ලිම් කතෝලික තව දන්නා නොදන්නා ඔක්කොම මික්ස් කරලා පත අට එක පතට හින්දා පෙරා දෙන මේ කසාය ගැහුවනම් ආය මේ ආත්මයේම නිවන් හරි ,ස්වර්ගයට හරි මොක්ෂයට හරි කොහෙට හරි යන්න තිබ්බා හිටගෙන තනි කකුලෙන්. මෙහෙමත් මිනිස්සු ඉන්න රටක් මේ තත්වයෙන් තියනවා කියලා දකින කොට අනේ අම්මපා බෝම්බයක් බැඳන් ගිහින් පනින හිතෙනවා පෙන්ටගනෙට හරි ධවල මන්දිරේට හරි ( මං  කැමති පාට සුදු පාට නෙවේ හින්දයි දියවන්නාව , අරලිය ගස් තියන ගේදර කියලා ලීවේ නැත්තේ ).

මෙතැනදී මට ලියන්න මොනවත් ඉතිරිවෙලා නැ හැමෝම ලියලා තිබුන නිසා අපුරුවට ආය  මම අහවල් එකක් ලියන්නද? ඒවා හැම එකක්ම කියවූවා විතරක් නෙවේ පුළු පුළුවන් විදිහට කොමෙන්ට් කරලත් ආවා. එත් ඉතින් මටත් ඔය කොච්චර කරත් හිල පොඩ්ඩක් ලොකු කරගත්තේ නැත්තන් නින්ද යන්නැති හින්දා ඕන්  මෙතනත් ලියලා දානවා. ඊට කලින් මෙන්න අද මගේ හිත ගත්ත පොස්ට් කීපයක් කියවපු නැති අයට  කියවන්න

රාජ්ගේ නවාතැන    ඉන්ද්‍රසාර ගිනි සහ ස්වර්ණවාහිනී 

w3ලංකා   හාමුදුරුවන්ගේ ගිනි තබා ගැනීම හා ස්වර්ණවාහිනිය රට ගිනි තැබීම

තහනම් වචනය අහෝ ඉන්දසාර හිමියනි! | The monk who burnt himself

සමකය වටේ ගව ඝාතනය නතරකරන ලෙස ඉල්ලා දළදා මැදුර අබියස දී හිමි නම සිරුරට ගිනි තියාගනි

මේ කිසිම ලිපියක් සමග මට ඇති ප්‍රශ්නයක් නැත නමුත් මේවාට දමා තිබු කොමෙන්ට් ගැන නම් ප්‍රශ්න ගොඩක් ඇති වූ නිසාමයි  මෙහෙම ලියන්න හිතුනේ. සමහර කොමෙන්ට් බොහොම ශිෂ්ටවත් සමහර කොමෙන්ට් බොහොම අශිෂ්ට විදිහටත් දාලා තිබුනේ තමාගේ මතය නිවැරදිම මතය කියලා තර්ක කරන්න. මට ඒ එක මඟුලකින්වත් වැඩක් නැත හාමුදුරුනමක් බැරිනම් පාදිලි කෙනෙක් ලෙබ්බේ කෙනෙක් පුසාරි කෙනෙක් ගිනිතියා ගත්තත් මට මොකෝ.  දැන් එතකොට අහයි එහෙනම් අහවල් මන්ගුලකටද යකෝ මේ පොස්ට් එකක් දාන්නේ කියලා. නෑ ..නැ  මේ මඟුල් ගිනි තියා  ගැනිල්ලත් එක්ක මටත්  ලොකු ප්‍රශ්නයක් තියනවා.    


ඒ තමයි ආගමික කරුණු කාරනා කෙසේ වෙතත් මස් කන්න කැමති සහ මස් කන්න අකැමති අය කියන මාතෘකා දෙක හින්දා ඇති වෙන ප්‍රශ්නය.  මොකද මම එකෙන්ම ඔය මස් කන්න කැමති කියන ගොඩට වැටෙන නිසා  මේක මට ලොකු ප්‍රශ්නයක්. බැලුවා බැලුවා හැම තැනම මොකෙක්වත් මේ ගැන කතා කරන්නේ නැති හින්දා ඔන්න මම තනියම සටනේ.


මම මට තේරෙන කාලේ ඉඳන් එක එක  ජාති වල යාළුවො ආශ්‍රය කළා. අපි ලෝකය මවපු එකක් ලෝකය ඉබේ හැදුනු දෙයක්  කියන මත දෙක වෙනුවෙන් කෙස් පැලෙන තර්ක කරා මරා ගත්තා එත් කවදාවත් හිතේ තරහක් තියා ගත්තේ නැ හැමදේම  එතනින් ඉවර කරලා එකට ප්ලේන්ටියයි බටෙකුයි ගහල විසිරිලා ගියා. කොහොම උනත් මම අදටත් ලෝකය කාගෙවත් මැවීමක් කියන එක පිළිගන්නේ නැ. ඒ හින්දා මේ තියන දේවල් වලට  අයිතිකාරයෙක් පාලකයෙක් කොහේ හරි අපිට පෙන්නේ නැති තැනකට වෙලා බලාගෙන ඉන්නවා කියන එක මට අදාළ දෙයක් නෙවේ.

ඒ වගේම කියන්න ඕන මගේ පොඩි කාලේ ඉඳන් මම සාමාන්‍යන්  මස් මාළු  ආහාරයට ගත්තා. ඒ වගේම මට කවදාවත් කිසිම මස් මාළුවක් නිසා වත් වෙනත් කෑමක් නිසා වත්  කිසිම ඇලජික් එකක් තිබුනේ නැ. දරුවන්ට තියන ආදරේ නිසාම  අපිව උස්මහත් කරන්න පුළු පුළුවන් හැම වෙලාවකම මස් මාළු පලතුරු වගේ දේවල් අපේ තාත්ත අපිට ගෙනත් දුන්න. ඒ හින්දමද මන්දා ප්‍රදාන ආහාර වෙල් වලට මොනවා හරි මසක් මාළුවක් ගන්න  එක පුරුද්දක් හැටියට අදත් මට තියෙන්නේ. මගේ මේ තොරා  බේරා ආහාර නොගැනීමේ පුරුද්ද හින්දා ගොඩක් අවස්ථාවල මගේ සමහර යාළුවො අපහසුතාවයට පත් වෙන තැන්  වලදීත් මට කිසි අපහසුවක් නැතිව ඉන්න පුළුවන් උනා වගේම මට බඩගින්නේ ඉන්න උනේ නැ. කොටින්ම මම කන විදිහට උයලා පිහලා දෙනවනම් මම ඕවගේ වන්සයක් වර්ගයක් හොයන්නේ නැ. මිනිස්සු කන මට හානියක් නොවෙන ඕන දෙයක් මමත් කනවා. 

එත් යකෝ මෙන්න මට මගේ ගැනවත් නොතිබුන ප්‍රශ්නයක් මේ මස් කන්නේ නැති එවුන් හදලා. ඒ විතරක් නෙවේ එක සභාසම්මත කරන්න තර්ක විතර්ක ඕන තරම්. ඔය ඉහල තියන පොස්ට් වල කොමෙන්ට් බැලුවනම් තේරෙයි මොනතරම් නම් ට්‍රයි එකක් දෙනවද කියලා.

මම කියන්නේ නැ  නිර්මාංශවාදීන්ට   අයිතියක් නැ  කියලා තමන්ගේ මතය වෙනුවෙන් පෙනී ඉන්න. මට මස් මාංස  කන්න   තියන අයිතියම තව කෙනෙකුට එක නොකා ඉන්න තියෙනවා.

 එහෙනම් මොන මඟුලක්ද?.

මඟුල තමයි  අර ගිනි තියා ගත්ත හරකා වගේ  බලහත් කාරෙන් තර්ජනාත්මකව තමන්ගේ මතය සමාජ ගත කරන්න හදන එක. ඒක  තමයි මට තියන ප්‍රශ්නය. ඔය වගේම එකෙක් කොළඹට ආසන්නයේ සියලු මස් වෙලඳ  සැලවල් වල ගව මස් වෙළඳාම තහනම් කරා කියලා ආරංචි තිබ්බ. ඇත්තද බොරුද දැනගන්න හම්බුනේ නැ.  නමුත් මට තියෙන ප්‍රශ්නේ එහෙම කරන්නේ කොහොමද මිනිසුන්ගේ සිතුම් පැතුම් ආශාවන් උන්ගේ අම්මගේ අප්පාගේ බුදලේ වගේ ඕන ඕන විදහට වෙනස් කරන්න පුලුවන්ද ?.

 මෙතැනදී මට ආගමික කාරනා වැඩක් නැ. මොකද මම ඉපදුනේ ආගමක් එක්ක නෙවේ අනික මම දැනට අදහන ආගමත් මම හොයා ගත්ත, මට ඕනවට ගත්ත දෙයක් නෙවේ.  දෙමවුපියන්ගේන් ලැබුන අනිත් දේවල් වගේම එකත් මම පිලිගන්නවා මට පුළුවන් තරමින් ආරක්ෂා කරනවා. පරම්පරවෙන් ලැබුනා කියලා මට පිළිගන්න බැරි දෙයක් නම් මම එක   උස්සගෙන ඉන්න යන්නේ නැ. ලෝකෙටම වැරදි උනත් මගේ හිතට හරි කියනදේ කරන්න හැම වෙලාවේම මම උත්සාහා ගන්නවා. හලාල් ප්‍රශ්නෙදි හලාල් අනවශ්‍යයි කියන මතය වෙනුවෙන් මම පෙනී හිටියා.  මට තිබ්බ ප්‍රශ්නේ ජාති, ආගම්   හෝ වෙන මඟුලක් නෙවේ.  හලාල් සඳහා මිලක් ගෙවන්න වීමත් යම්කිසි ආගමානුකුල ක්‍රියාවකට යටත් කර තිබීමත් කියන දෙක විතරයි.  උගේ ආගම උට මගේ ආගම මට කාගේවත් ආගමික කරුණු කාරනා මගේ පිට බලෙන් පටවන්න යන එක මට ප්‍රශ්නයක්.

මේ කාරනේදී වෙන්නෙත් එකම තමයි. හරක් මරණ එකත්  මස් කන එකත්  තහනම් කරන්න කියලා ඉල්ලනේ මොන පදනමකින්ද කියලා මට හිතා ගන්න බැ. සමහරක් කියනවා ජාතියේ කිරි අම්ම බේරා ගමු කියලා. ඔවු ඉතින් නෑදෑයන් වෙනුවෙන් පෙනී ඉන්න ඒ ය ගැන නම් මටත් වරදක් කියන්න බැ. හැබැයි හරක් කියන්නේ මගේ නෑයෝ නම් නෙවේ. ඒ හින්දා අනිත් කොයි මසත් වගේ හරක් මසුත් මම කනවා. තවත් සමහරුන්ගේ තර්ක අහපුවා මට හිතා ගන්න බැරි අඩන්නද හිනා වෙන්නද කියලා. හිනා වෙනවනම් කොයි පැත්තෙන්ද කියලා. ඒ තමයි මස් කනවාට විරුද්ද නැ හැබැයි සත්තු මරනවාට විරුද්දයි. මට දන්නා කෙනෙක් පුලුවන්නම් කියලා දෙන්න මරන්නේ නැතිව මස් කන්න පුළුවන් විදිහක්.   


සමහර විට මෙහෙම වෙන්න ඇති 

මට  අහන්න තියෙන්නේ ඇයි ඔහේලාගේ මහා සත්ව කරුණාව අනිත් සත්තු ගැන නැත්තේ කියලා. 100% ශාක ආහාර විතරක් කන්න කාටවත් පුළුවන් කියලා මටනම් හිතා ගන්නවත් බැ. කොච්චර කැ  ගැහුවත්   ඇත්ත එක තමයි. මොකෝ ඔහෙලා හිතාගෙන ඉන්නේ  එහෙමයි කියලද?. කේක් ,වටලප්පන්,ජෙලි වගේ කෑම  වලත් සත්ව කොටස් නැ  කියලද හිතාගෙනද ඉන්නේ. ඒ තියා ඔහෙලා කඩේට ගිහින් මස් කැලි  කන්නේ නැතිව පරිප්පු හොද්දට කලවන් කරලා කන මස් හොද්ද. ඇයි  එත් එක්ක කන ආප්පේ එකෙත් බිත්තර තියෙන්නේ. නැ ..නැ  බිත්තර ආප්ප නෙවේ ආප්පේ කබලේ ඇලවෙනවට  පිටි වලට මික්ස්  කරන බිත්තර දෙක. තව ගෙදර කොකිස් බදිනකොට  පහසුවෙන් ගැලවෙන්න දාන බිත්තරේ.

දැන් ඉතින් හරකුන්ගේ නායකයා වෙච්චි හරක් නාම්බා මල හින්දා. ඒ තනතුරට වෙනත් එකෙක් පත් කරගන්න හරක් අතරේ චන්දයක් තියන්න තියෙන්නේ. සමහරු කරන තර්කය තමයි මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියනවා කියන එක. ඉතින් දෙයියනේ ඔය මස් කන කොයි එකාද කිවේ එහෙම නැ  කියලා. ඒ හින්දා තමයි සත්තු ඇති කරලා මරාගෙන කන්නේ නැතිව දකින දකින වෙලාවට කැලෙට පැනලා සත්තු දඩයම් කරන්නේ නැ  නොව.  තව සමහරු  කියන්නේ  සතුන්ට අදික වේදනාවක් දැනෙනවාලු මරණ කොට. ඔවු ඉතින් එක එහෙම  තමයි  හැබයි මම ගාව ඕකට හොඳ යෝජනාවක් තියනවා ඔය වේදනාව වැඩි වෙන්න එක හේතුවක් වෙන්නේ උන් මරණ ක්‍රමය හින්දා ඒ ක්‍රමයට නැතිව ඉක්මන් වේදනාව අඩු ක්‍රමයක් යොදා ගන්න ඕන. ලංකාවේ ගව  ගාතන කරන වැඩි දෙනෙක් මම හිතන්නේ මුස්ලිම් ජාතිකයින්   ඒ හින්දා එක්වරම බෙල්ල කැපීම වගේ ක්‍රම පාවිච්චි කරන්න ටිකක් ප්‍රයෝගික ගැටළු ඇති වෙයි.   
        

දැන් ඉතින් කට්ටිය රෙදි ගලවලා කතා කරයි හාමුදුරු කෙනෙකුට  අපහාස කරමින් කතා කරා කියලා. මටනම් සිවුරක් ඇඳන් ඉන්න හැමෝම හාමුදුරුවෝ නෙවෙයි. හාමුදුරු නමක් වෙන්න සිවුර ඇතිව හෝ නැතිව ඊට වඩා ගොඩක් දේවල් සම්පුර්ණ කරපු කෙනෙක් වෙන්න ඕන.  සාමාන්‍ය මිනිස්සු  කරන හැමදේම කරමින්  (සමහර විට ඊටත් අන්ත ලෙස) සිවුරක් ඇඳන් හිටිය පලියට මටනම් හාමුදුරු කෙනෙක් නෙවේ. අපි දුක්මහන්සියෙන් හම්බ කරන දෙයින් සිවුපසය ලබා දීලා වන්දනාමාන කරන්නේ අන්න ඒ උතුම් ගුණධර්ම  දරාගෙන ඉන්න කෙනෙක්ටය කියන දේ අපේ හිතට දැනෙන්නේ නැත්නම් උට මොන කෙහෙල් මලකට පුජකයෙක් කියලා කියන්නද ?. ධර්ම රාජ්‍ය  බිහි කරන්නවත් බෙදුම් වාදය පෝෂණය කරන්නවත් වෙන වෙන මඟුල් වලටවත් නෙවේ මේ පුජාවන්  කරන්නේ තමනුත් සසරින් ගැලවිලා අනිත් සත්වයන්ටත් එයින් ගැලවෙන්න දරන උත්සාහයට. 

හරි .. දැන් ඉතින් ඕන කෙනෙකුට කියන්න පුළුවන් මු සිංහල නෙවේ අවජාතක පරයෙක් අරකෙක්  මෙකෙක් ඕන මඟුලක් කීවට මයේ මොකෝ. ඔය කියන එවුන්ට මට කියන්න තියෙන්නේ මෙච්චරයි 

"මහත්වරුණේ    කරුණා කරලා බලහත්කාරකම් කරන්න එපා. ඔහෙට මස් නොකා ඉන්න තියන අයිතියම මට මස් කන්නත් තියනවා. මමත් රජයට බදු ගෙවන පුරවැසියෙක්. මම කන්නේ බොන්නේ රජයෙන් අනුමත සමාජ සම්මත දේවල්. දැනට තියන සම්මතේ මොනවා හරි ප්‍රශනයක් නම් කඩු, පොලු, බෝම්බ, පැට්‍රල් අතට ගන්නේ නැතිව මතවාදයකින් අවශ්‍ය වෙනස්කම කරගන්න. එදාට මමත් හිස නමලා ඒ දේවල් පිලි ගන්නම්. එතෙක් සතෙක් වෙන්නැතිව ජීවත් වෙන්න බලන්න "       

"මනුසත් බව දුර්ලබයි, ධර්මය ඇති කාලයක ඉපදීම ඊටත් වඩා දුර්ලබයි. නොපමාව කුසල් රැස් කර ගන්න"    බුදුන් වහන්සේ 




ප.ලි .
මං වගේ මස් මාංස  ආහාරයට ගන්න සාමානය මිනිස්සුන්ට මෙන්න තියනවා හරක් මස් වලින් සෑදිය හැකි රසවත් කෑමක්. ඔන්න ලින්ක් එක දැම්ම යන්න, බලන්න, හදලා කන්න, රස විඳින්න. ඒ වගේම ගංජා, අරක්කු  වගේ දේවල් වෙනුවෙන් බය නැතිව පෙනී ඉන්න බ්ලොග් ලෝකයට  ඔන්න මගෙන් මස්.    

http://kamubomu.blogspot.com/2010/12/blog-post.html