මමත් ඉතින් දවස් දෙකකට පහුං ගමේ එවුන් දෙන්නෙක් එක්ක උදේම ගියේ නැතැ ඕක බලන්න. නැ ..නැ.. නැ ගමේ මිනිස්සුන්ට ලයිට් දෙන්න වෙයි කියලා අර කන්ද උඩ ඉඩම ගත්ත හාදයා පාර දිගේ ලයිට් වයර් අදින්නේ නැතිව හැතප්ම ගානක් ඈත කැලෙන් ලයිට් ගත්ත පැත්තෙන් නෙවේ අනිත් පැත්තෙන් මම නැග්ගේ. හම්මේ සංසාරේ ඕන්නැ ඔය කන්ද බඩගාන්න ගත්තම. කොහොමින් කොහොම හරි ඔන්න පාරක් තොටක් තියන දුර නැග්ග කියමුකෝ. එතැන් ඉඳන් ඉතින් මහා කැලේ තමා, ඉලුක් මුකලාන, කූඩලු විමානේ. ආය ඉතින් කීවට විස්වාස
කොරන්න ඔං අපේ මැදගිල්ලට වඩා ලොකුයි මුං. ආය එකෙක් එල්ලුනොත් ලේ පයින්ට් භාගයක් වත් බොනවා බොනවම තමයි.
කොහොමින් කොහොම හරි ටික දුරක් යනකොට ඔන්න මං එක්ක ගිය උන් දෙන්නා තවදුරටත් යන්න බැ කියලා ගමන නැවැත්තුවේ නැතැ. කොච්චර කණීපින්දම් ගෑවත් මුන් නෙවේ කැමති උනේ. හෙහ් .. අපි සැලෙයි ඕවාට. ඔය හැටි පුකට වඳින්න බැරි හිංදා මම දැන් තනියම ගමන. මුන් දෙන්නා හැරිලා ගියා. දැන් ඉතිං කොහොමෙන් කොහොම හරි වත්ත පේන මානයට අවා කියමුකෝ. ඔන්න එතකොට මට පේනවා වත්තේ ඈත කෙළවරක තියන මහා විසාල රට දෙල් ගහක් බස බස ගාලා හෙල්ලෙනවා. මම හිතුවා "හරි එකත් එකටම මේ ගහ මොකුන් හරි සෙට් එකක් හොරෙන් කපනවා" . එත් මට කල්පනා උනා යකෝ දෙල් ලී අහවල් කෙහෙල් මලකටද කියලා. කියන්න බැනේ බෝ ගස් කපලා "බුදු හේත්තු" කියලා විකුණන එකේ ආය මුන් දෙල් ගහක් නොකපා අරීද. අද අල්ල ගන්නම් අතටම කට්ටිය කියලා මමත් හෙමිං , හෙමිං ගහෙන් ගහට මුවා වේවි කිට්ටු කරා ගහ ලඟට. ම්හු ..බලු බල්ලෙක් පේන්න නැ හැබැයි බොලේ ගහ නම් හෙල්ලෙනවා නිකං අලි දෙන්නෙක් දෙපැත්තේ ඉඳන් පිට අතුල්ලනවා වගේ. මට දැන් බයත් හිතෙනවා ඇයි යකෝ බලු බල්ලෙක් නැතිව මෙච්චර පත ගහක් කොහොමෙයි මෙහෙම හෙල්ලෙන්නේ. ටිකක් වෙලා හෙමීට බලන් ඉඳලා මමත් ටිකෙන් ටික කිට්ටු කරා ගහ ළඟටම. ම්හු..අලි කොහෙද මේ කැලේ. අලියෙක් තියා හරකෙක්වත් පේන්න නැ. හැබැයි ඉතින් වල් ඌරු විමානේ හිංදා මට නොපෙනෙන පැත්තෙන් වල් ඌරෙක් වත් ගහට පතබානවද දන්නැනේ කියලා හිතලා. වටෙන්..වටෙන් ..හෙමින් ..හෙමින් ගියේ නැද්ද ගහේ අනික් පැත්තට. මොන , ඒ පැත්තෙත් මොකෙක්වත් නැ. මට දැන් නම් ෂුවර් අනිවා මේක අමනුස්ස වැඩක්. අනිවාර්යෙන් රුක් දෙවියෝ දෙන්නෙක් මේ ගහ බෙදා ගන්න බැරිව ෆයිට් කොරනවා. එතකොට තමා මේ ගහ මේ හෙල්ලෙන්නේ. මොකෝ උන්නැහේලාට ඉන්න දැන් ලොකු ලොකු වටිනා ගස් තියේය. දැන් ඉතින් උන්නැහේලට පැපොල් ගහටත් ඇරගන්න වෙලා තියෙන්නේ. මොකද අර උන්නැහැගේ හෙන්චයියෝ ටික ඔය පැත්ත දැන් සුද්ද කරලා ඉවරනේ.
ඕන පුකක් ප්‍රීති වෙසක් කියලා හෙමින් හෙමින් කිට්ටු කරා ගහ ළඟටම. ගිහිං හොඳට අත ගාලා බැලුවා හෙල්ලිල්ල නවතීද කියලා.මොකද ඔය දෙයිවරු කැමති නැ නොව මනුස්ස ඉස්පර්සයට. මොන පිස්සුද තවත් ගහ හෙලවෙනවා පෙර ලෙසටම. හොඳට ලංවේලා උඩ ඉඳන් පහලට වටේම බලාගෙන ආවා. කිව්වට විස්වාස කරන්න ආයිබෝං ගහ පාමුල කූඩෑල්ලියක් ගහට පිට දීලා හේත්තුව දාගෙන පැටවුන්ට කිරි දෙනවා පැටවූ රොත්තම කිරි බොන්න පොර කන පොරකැවිල්ලට තමා ගහ හෙල්ලෙනේ ඔං.
අවාසනාව කියන්නේ, ඔහේලට කියන්න මම මුන් ටික දකිනකොටම මේ කූඩෑල්ලිත් මාව දැක්කා නොවැ. දැක්ක විතරයි ඔං මගේ ලේ සුවඳට මෙකි පිස්සු වැටුනා. එක පාරට පැටවූ ටිකත් පෙරළන් ආවේ නැද්ද මගේ පැත්තට. හැරුනා අනිත් පැත්තට මම හුරේ රන්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දිවුවා කැලේ කඩාගෙන. නැග ගන්න සයිස් ගහක්වත් නැ වට පිටේ අර උන්දැට පින් සිද්ද වෙන්න. වාසනවාට අවුරුදු 6,7ක් වයස පොල් ගහක් සෙට් උනා.ආය මොනවා හිත හිත ඉන්නද බස ගාල නැග්ගා ගහේ කරටියට. ඇයි අප්පේ බැරි වෙලාවත් ඔය කූඩෑලු සෙට් එකට අහු උනානම් bleed ද මොකක්ද වෙලා මැරෙන්නේ ඔං. ගමන් මහන්සියටයි බය උන බය විල්ලටයි පොල් කරටිය බදාගෙන එහෙම්ම නින්ද ගියා.
කොහොමින් හරි පැයක් හමාරක් නින්ද යන්න ඇති ඇහැරිලා බලනකොට මෙන්න බොලේ අපේ ගෙවල් ළඟ තියන ඇල පාර මට පේනවා. ඒ විතරක්යැ පාරේ වාහන යන සද්දෙත් ඇහෙනවා මට දැන් නම් ෆුල් අවුල් ඇයි යකෝ මම මේ හීනයක්වත්ද දකින්නේ. කෝකටත් පොඩ්ඩක් කොනිත්තගෙන බැලුවා. ම්හු.. මම ඇහැරලා තවමත් පොල් කරටිය බදාගෙන ඉන්නේ. හැබැයි බොලේ පොල්ගහ තාලෙට දෙපැත්තට පැද්දෙනවා. මම බැලුවා යකෝ මේ මොකක්ද කියලා. කීවට විස්වාස කරන්න නැත්තන් ඕන මඟුලක් කරගන්න යකෝ පොල්ගහ ඇවිදිනවා. මම දඩි බිදී ගාල බැහැ ගත්තා ගහෙන්. බැහැලා පොඩ්ඩක් ඈතට වෙලා බැලුවා යකෝ මේ මොකක්ද කියලා. බලනකොට මට පේනවා පොල් මුල. මොකක් වෙන්න ඇති කියලද ඔහෙලා හිතන්නේ. මේ පොල්ගහ තියෙන්නේ බොලේ දාර පිඹුරෙක් උඩ නෙව. ඔහෙලා හිතයි මේක අමු මුසාවාදයක් කියලා. මමත් හීමිට ලං වෙලා බැලුවා යකෝ පිඹුරෙක් පිට කොහොමෙයි පොල්ගහක් හැදෙන්නේ කියලා. මෙන්න මේකයි වෙලා තියෙන්නේ මේ පිඹුරා මීට අවරුදු බර ගානකට කලින් කොහෙන් හරි අල්ලාගෙන තඩි ගෝනෙක් ගිලලා. ඔහේලා
දන්නවනේ ආය පිඹුරෝ හපලා කනවා කියලය. බුග් ගාල ගිල්ල අර ගෝනව අං තට්ටුව පිටින්ම. කොහොම හරි ගෝනා දිරෙවුවට අං දෙක දිරවා ගන්න බැරි උනා. මේ අං දෙක කොහොමින් කොහොම හරි පිඹුරගේ පිට හිල් කොරන් ඇවිත් එලියට. ඔන්න ඔහොම අං තට්ටුවකුත් බඩ මැද තියාගෙන පිඹුරා එහෙ මෙහේ යනකොට කොහොම හරි පොල්ගහක් යටින් යනකොට වැටුණු පොල් ගෙඩියක් අර අං තට්ටුව උඩට වැටිලා එකේ ඇමිණිලා තිබිලා පැල වෙච්චි පොල් ගහට තමයි බොලන්ලා මම එවෙලේ ගොඩ වෙලා තියෙන්නේ.
මේ පුදුමේ ගමේ උන්ට කියන්න මම දීවේ නැද්ද ගමට. අනේ අවාසනාවට ගමේ උන්ටික එකතු කරගෙන එනකොට පොල්ගහවත් පිඹුරවත් පේන තැනක නැ. ගමේ උන් ඔක්කොම මට දොස් කියන්න ගත්තා මේ ගජබින්න අතාරිනවා කියලා. මගේ වාසනාවට ඈත කන්ද උඩහා ගස් අස්සෙන් පොල් කරටියක් වැනි වැනි තියන එක පෙන්නල්යි ඔං මම බේරුනේ. අම්මපා ..
මේ වගේ ගල් පැලෙන ඇත්ත කතා ගොඩක් තිබ්බා මෙන්න මේ තැන.
ඩ්‍රැකීගේ අඩවිය
මෙතන තියනවා ඒ ගැන වටිනා විස්තරයක්
(ප.ලි. මේ වගේ කතා අපි පොඩි සන්දියේ මල ගෙවල්, පින්කම් ගෙවල් වලට ගියහම අපිව ලං කරන් මේ වගේ කතා කියා දෙමින් සුරංගනා ලොවකට අප රැගෙන ගිය ඒ සුන්දර මිනිසුන් කෙදිනකවත් අපේ දරුවන්ට නැවත මුණ ගැසීමට වාසනාව නොමැති වීම ගැන ශෝක වෙනවා හැර අපට කල හැකි දෙයක් නැත. සරලව ජීවත් වෙමින් නිතරම සතුටින් සිනහවෙන් සිටි ඒ මිනිසුන් වෙනුවෙනි.)