මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Saturday, August 24, 2013

ශ්‍රී ලාංකීක සංගීතයට මා කල අමරණීය සේවය.

ශ්‍රී ලාංකීක සංගීතයට මා කල අමරණීය සේවය.



හැමෝම දන්නවනේ මේක කිසිම චාරයක් ඇතිව පොස්ට් දාන බ්ලොග් එකක් නෙවේ කියලා. එකට ප්‍රධාන හේතුව මගේ තියන කම්මැලි කම කියන්න පුළුවන්. අනික කියවන්න තරම් ලියන්න ආසා නොවීම. අර කියමනක් තියනවනේ එක කටකුයි කන් දෙකකුයි තියෙන්නේ අඩුවෙන් කතා කරලා වැඩියෙන් අහන්න කියලා මම නම් කන් දෙකටත් වැඩිය පාවිච්චි කරන්නේ ඇස් දෙක කීවොත් හරි. පොඩි කාලේ ඉඳන් ඇබ්බැහි උන කියවීමේ පුරුද්ද තවම අතහැර ගන්න බැරි උනා. දැන් ඉතින් කවුරු හරි කියයි ඉතින් යකෝ ඇස් දෙකක් වගේම අත්  දෙකකුත් තියෙන්නේ. උඹ කියවනවා වගේම ලියපංකෝ කියලා. ඒ උනාට ඇස්  දෙකම කියවන්න පාවිච්චි කරාට අත් දෙකම් ලියන්න පාවිච්චි කරන්න බැ නොවැ.

හරි ඉතින් අද මේ ලියන්න හේතුව උනේ අද දවසටම මෙලෝ වැඩක් නැතිව ඉන්නකොට  සිංදුවාගේ බොග  පැත්තේ ගියපු එකෙන් මගේ පාසල් කාලය මතක් වීම. හරි ඔන්න එහෙනම් රියල් ෂිද්දිය ...හරිය.



මං තුමා 1 වසරේ ඉඳන් 5 වසරට වෙනකන් කනිෂ්ඨ ඉස්කෝලෙකට ගිහින් සිස්සත්තෙන් ඇනගෙන ඉන්නකොට ඒ දවස් වල සිස්සත්තෙට අමතරව ඇතුලත්වීමේ විභාගේ කියලා එකක් ඔය ජනප්‍රිය පාසල් වල තිබුන එකෙන් කොහොම හරි ඔන්න මාධ්‍යමහා   විද්‍යාලයකට ඇතුලත් උනා කියමුකෝ. ඕකට ගිහින් ඔන්න ටික දවසකින් අපේ පන්තිභාර ටිචර්  කීවේ නැතැ "දැන් ළමයි ඔය ගොල්ලෝ හැමෝම සෞන්දර්ය විෂයට තමන් කැමති දෙයක් තෝරා ගන්න ඕන" කියලා. අනේ ඉතින් කවදා කාපු සුනාමි ටකරන්ද? මම ඉතින් කොයි පැත්තට යන්නද කියලා හිතා ගන්න බැරිව වට පිට බල බල ඉන්නකොට මෙන්න බොලේ මට අලුතෙන් සෙට් වෙච්චි අපතයෝ වැඩි හරියක් සංගීත පංතියට යන්න අත උස්සගෙන ඉන්නවා. මමත් ඉතින් මෙලෝ දෙමළයක් දන්නා එකක්ය. මමත් අත ඉස්සුවා ඔන්න සංගීතය  කොරන්න කියලා.   

දැන් ඉතින් ටික කලක් යනකම්  මෙලෝ මඟුලක් නැ සංගීත පන්තියට යනවා මැඩම් කියන ටික ලියා ගන්නවා එනවා. ඔච්චර තමයි. කොහොම කොහොම හරි ටික ටික ඉහලට එනකොට ඔය පීරියඩ් එකේ බොහොම කළාතුරකින් දවසක තමයි සංගීත කාමරේට යන්නේ. වැඩි හරියක් අපි අපතයෝ ටික පිට්ටනියේ හරි කැන්ටින් එකේ හරි තමයි. අපේ සංගීත මැඩම්ටත්  අපි පන්තියට එන්නේ නැත්තන් ඉතින් කියලවත් කර ගන්න බැරි වැඩක් හින්දා කවදාවත් හොයන්නේ නැ. ඇවිත් ඉන්න එවුන් ටිකට දෙයියනේ කියලා උගන්නනවා. කොහොමින් කොහොමින් හරි ඔන්න අ.පො.ස. (සා.පෙ) අවා කියමුකෝ. දැන් ඉතින් විභාගෙට ලියන්න අහවල් එකය කොහේන්  හරි ඔය කෙල්ලෝ දෙන්නෙක්  තුන්දෙනෙක් ගේ පොත් ටිකක් බලලා එහෙන් මෙහන් ඇහුන ධාධරා,ත්‍රිතාල්, රාග, ආලප. ස්වර ප්‍රස්තාර අරවා මේවා කියන වචන කැලි  ටික   අල්ලාගෙන හිත හදා ගත්තා කොහොම හරි සංගීත පෙපොරේ ලියන්න.

            කොහොමින් කොහොම හරි ඕන බොරුවක් ඇත්ත වගේ ලියන්න පුළුවන් කොමටයි කොපි කිරීමේ විශේෂ දක්ෂතාවයටයි පින් සිද්ද වෙන්න මෙන්න යකෝ සංගීත විෂයට තියන ප්‍රයෝගික පරික්ෂනේට යන්න තරම් ලියපු පේපොරෙන් අපි ඔක්කොම ගොඩ ගිහින්. 

දැන් ඉතින් ඔන්න ටික කාලෙකින් ප්‍රායෝගික පරීක්සනේ. තිබ්බේ කොහෙද කෑගල්ල රංවල කියන තැන තියන රංවල මහා විද්‍යාලේ. එදත් ඉතින් සුපුරුදු විදිහට සියලු කාඩයෝ  ටික කෑගල්ල නගරයට  එකතුවෙලා කරන්න පුළුවන් ඔක්කොම නසරානි වැඩ කරලා ඔන්න යන්තන් උදේ 10 විතර වෙනකොට ඔය කියන තැනට ගියා. 

අප්පට පුතේ මෙන්න මෙතන ඉන්න සෙනග ගොඩ අපේ ඉස්කෝලේ එවුන් විතරක් නෙවේ තව ගොඩක් ඉස්කෝල වල එවුනුත් මෙතැන. අපි ඉතින් ඔය මොනවා කරත් ලජ්ජා භයට හැදිච්චි කොල්ලෝ හින්දා හෙන ලැජ්ජයි මුන් ඔක්කොම ඉස්සරහා සිංදු  කියන්න.  කෙල්ලොත් ඉන්නවා දැන් ඉතින් මොකෝ කරන්නේ.  මුන් ටික  ඔක්කොම ප්‍රැක්ටිකල් දීලා  ඉවර වෙනකන් අපේ එවුන් ටික පොඩි බෝලයක් හොයාගෙන දැන්  පිට්ටනියේ.

 හවස 3 විතර වෙනකොට අනිත් උන් ඔක්කොම ගියා දැන් ඉතිරි අපි සෙට් එක විතරයි. දැන් කට්ටියම ඔන්න ප්‍රැක්ටිකල් ටෙස්ට් එක තියන කාමරේ ළඟ. මේ කාමරේ  කොට බිත්ති බැඳලා උඩට යකඩ  දැල් ගහපු කාමරයක් දැන් ඔන්න විභාග අංකේ  පිලිවලට කට්ටිය සිංදු  කියන්න ඇතුලට යනවා.

ඔන්න එකෙක් ගියා ඉස්සරෝම. පේපර් දෙකක් තියනවා කැමති එකක් තෝරා ගන්න.  ගත්තා  එක පේපර් එකක්. දැන් මෙතැන ඉන්නේ මැඩම්ලා දෙන්නයි, සර්ලා  දෙන්නයි තව අර සරපිනාව වගේ තියන බටන් ටික නැති ශෘති පෙට්ටිය කියන එක වාදනේ කොරන කෙල්ලෙකුයි.   

දැන් ඉතින් මේකේ තියන්  දේවල් මු කොරන්න එපැය. අනිත් එවුන් වටේ එල්ලිලා හිනාවෙවී බලාගෙන ඉන්නවා. කොහොමින් කොහම හරි මු   අපිට වැඩිය ටිකක් හොඳ එකෙක් හින්දා  අරකේ තිබ්බ ඒවගෙන් 2/3 විතර යන්තම් ගොඩ දාගත්තා. දැන් ඊළඟ එකා මුත් ඇතුලට ගිහින් මොන මොනවද  කොරා ඔන්න ඌත්  එලියට. 

දැන් ඉතින් මෙතුමාගේ වාරේ. ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට හිටපු මැඩම්ලගේ    සර්ලගෙ මුනවල් දැන් ඉතින් බෙරි  වෙලා එක දිගට පැය ගණනක් වැඩ කරලාම මහන්සියට. ලේසි කෙලියක්ය ළමයි හාර  පන්සීයකගේ  ප්‍රැක්ටිකල් බලනවා  කියන්නේ.  
ඔන්න ඔවැනි තත්ත්වක් උඩ  තමා මෙතුමා හදිසියේම  ඒ සියලු ගුරුවරුන්ගේත් අනිත් ඉතිරි සිසුවන්ගේත්  ගැලවුම් කාරයා වෙන්නේ. 

ඔන්න සිද්දිය මෙහෙමයි.
මෙතුමා යනවා දැන් ප්‍රැක්ටිකල් දෙන රුම් එකට ඔන්න පුරුදු විදිහටම සර් දෙනවා පේපර් දෙක කැමති එකක් එකක් තෝරා ගන්න. ඔන්න මං තුමා ගත්තා පේපොරයක්.    හි ..හි කියන්න සන්තෝසයි එකේ තියන ඔක්කොම දේවල් එදාම තමා මං ඇහුවෙත්. කෙලින්ම මං  තුමා  කියපි "මම මේකේ තියන මොකුත් දන්නැ  සර් "  කියලා. 
මෙතුමාගේ අවංක කමට පැහැදුනු  එක සර් කෙනෙක් දෙනවා දැන් අනිත් පෙපොර් එක. එකටත් ඉතින් කියන්න සංතොසේ  බැ  2/3 වැඩිය දන්නේ නැත. දැන් ඉතින් මෙතුමා දහර මණ්ඩිය ගොතාගෙන පැදුරේ ඉඳගෙන වටේම සංගීත භාණ්ඩ පිරිවරා මහා සංගීත සමාධියකට සම වැදෙන්න තමා ලෑස්ති.

දැන් අර සර් කෙනෙක් ඉස්සරලම  කියපි "පුතා ත්‍රිතාල් එක දාලා පෙන්නවන්න" කියලා අනේ වාසනාවට මම දන්නෙම ඔය "ත්‍රීතාල්"  එකයි "ධාධරා" කියන එකයි විතරමයි. කිසි කෙස් එකක් නැ දැම්ම තාලේ වැඩේ ගොඩ. 
ඊළඟට අහපි තව මොකක්ද එකක් මං කොහොමෙයි ඉගන ගන්නේ නැතිව ඕවා දන්නේ. 
ඔහොම අර පේපොරේ  තිබ්බ ප්‍රශ්න ගොඩක්  අහලා බැරිම තැන සර් තිබ්බා ප්‍රස්න පත්තරේ අහක. තියලා මෙතුමා වාදනය කරා ස්වර කීපයක් දැන් මගෙන් අහනවා ඒ මොන රාගයද කියලා. 
නැට්ටට කිරි උනන කාලේ අපි දන්නේ ඉතින් එක රාගේ නොවැ. මම ඉතින් ගත් කටටම් කීවා "මන් දන්නේ නැ" කියන ලෝකේ තියන ලේසිම වචන තුන. 
පස්සේ දැන් මේ සර් අහනවා "මේ රාගේ දන්නවද" මගේ උත්තරේ "නැ සර්" "මේ රාගේ දන්නවද" "නැ  සර්". බැරිම තැන සර් කිවා හරි පුතා ඔයා දන්නා කැමති නුර්ති ගීතයක් කියන්න කියලා. 

හෙහ් ..අපි නොදන්න නුර්ති ගී. පටාර් ගාල මෙතුමා පටන් ගත්තා වෙස්සන්තර නාටකයේ එන 
"අද වෙස්සන්තර රාජ පුතා මන්ද්‍රි කුමාරි බඳී - දෙවොපකාර වේවා සැදී සෙත්.. " 
කියන සිංදුව. 

අම්මට සිරි යකෝ මෙන්න අර එලියෙ ඉන්න අපේ ගොබිලෝ ටික යකඩ දැලට තට්ටුවක් දදා සෙට් වෙනවා සිංදුවට. මේක දැක්ක විතරයි අර සර් කීවා "නවත්තන්න... නවත්තන්න  ඔහොම නෙවේ පුතා මේ සංගීත භාන්ඩත් එක්ක ශ්‍රතියට  ඕක ගායනා කරන්න" කියලා. 
දැන් ඉතින් අනිත් ගුරුවරු කට්ටිය වයලීනය, තබ්ලාව, සරපිනාව ගහනවා මෙතුමා ඉතින් ලෙසටම ගායනා කරනවා. ඔං  විනාඩියක් වත් ගියේ නැ  අර සර්  අතින් සංඤා කරලා  කීවා ඔය තබ්ලාව පොඩ්ඩක් නවත්වන්න කියලා. තබ්ලාව නැවතුවා  විතරයි මෙතුමාත් සිංදුව  නැවැත්තුවා. 
"නැ ..නැ  ඔය පුතා දිගටම සින්දුව කියන්න" කියලා කියපි. 
දැන් මෙතුමා ආයෙත් මුල ඉඳන් ගායනා කොරනවා. ඔන්න පේලි දෙක තුනක් කියනකොට සංඤා කොරා වයලීන් එක නවත්තන්න. 
ආයෙත් මෙතුමා සින්දුව නැවැත්තුවා.  
"නැ ..නැ   පුතා දිගටම සින්දුව කියන්න" කියලා අයෙත් කියපි. 
මෙන්න යකෝ ආයෙත් පේලි දෙක තුනක් කියනකොට සරපිනාවත් නැවැත්තුවා. මෙතුමාත් පුරුදු විදහට සිංදුව නැවැත්තුවා. 
දැන් මේ පොර කියනවා. "   නැ ..නැ   මේවා නැවැත්තුවා කියලා පුතා සින්දුව නවත්තන්න එපා  දිගටම සින්දුව කියන්න. මොකද ඔය පුතා කියන තාලෙට කවදාවත් මේ භාණ්ඩ වාදනය කරන්න බැ. ඒ හින්දා ඔයා කැමතිම තාලෙකින් සින්දුව කියලා දාන්න කියලා." 
ඉවරයිනේ........... කලිසම බිම. 

පස්සේ ඔක්කොම නවත්තලා පොර ඇහුවා මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක්.
සර් :- දැන් පුතා O / L පාස් උනොත් A /L වලට මොනවද කරන්නේ.
මං  :- හොඳට පාස් උනොත් නම් ඕන එකක් කරනවා සර් නැත්තන් ඉතින් කොමස් හරි ආර්ට් හරි තමා.
සර් :- පුතා ආර්ට් කරොත් සංගීතය විෂයක් විදිහට කරනවද ?.
මං  :- නැ  සර් 
සර්  :- දැන් මේ අනිත් ඔක්කොම පුතාගේ ක්ලාස් එකේ කට්ටියද ?.
මං  :- ඔවු  සර්.
සර් :- මේ ගොල්ලොත්   ආර්ට් කරොත් සංගීතය විෂයක් විදිහට කරයිද ?.
මං  :- මං  හිතන්නෑ සර්.
සර් :- හරි එහනම් මේ පුතාල ඔක්කොම දැන් ගෙදර යන්න. විභාගේ පාස් වෙන්න ඕන හින්දා හැමෝටම "S " එක ගානේ දෙන්නම්. හැබයි කවුරුත් මතක තියා ගන්න උසස් පෙලට සංගීතය විෂයක් විදිහට නොකරන්න. මොකද අපිට මේ සංගීතය  තව දුරටත් ඉස්කෝල වල උගන්නන්න ඉතිරි වෙන්න ඕන.                  
සියලු පිරිස එක හඬින් "හුරේ ........."

ඔන්න ඔහොමයි මම එදා සියලු දෙනා නිරුපද්‍රිතව සංගීත වගේ ගැඹුරු විෂයකින් ලේසියෙන්  ගොඩදාගෙන අරන් ආවේ. එදා ඉඳන් අද වෙනකන් අපි හැමෝම වෙච්චි පොරොන්දුව අකුරටම රැක්කා. ඉඳලා හිටලා පොඩි ෂොට් එකක් දාපුවාම සින්දුවක් දෙකක් බයිට් එකට ගත්තට කවදාවත් අපි සිංහල සංගීතයට කුරා කුහුඹුවෙක් තරම් වරදක් කරලා නැ  ඔං.