අද ලියන්න යන්නේ ඉතා අප්‍රකට මෑත කාලීන කවියක් ගැන විස්තර. කොටින්ම මේ කවිය මේ බ්ලොග් අවකාසේ ඉන්න කිසිඉම කෙනෙක් කලින් අහලා නැ කියලා මට ඉර හඳ වගේ විස්වාසයි. අහන්න විදිහක් නැ මොකද මේක අපේ ගමේ හිටපු මනුස්සයෙක් කියපු කවියක් හිංදා. කවිය ලියන්න කලින් මේක කියපු මනුස්සයා ගැන කිවොත් බොහොම නුගත් අහිංසක මනුස්සයෙක්. අකුරු සාස්තරේ යන්තන් දැනගෙන හිටියට මිනිහා නුගතෙක්ම කියන්න බෑ. ජිවිත තක්සලාවෙන් ගත්ත ගෞරව උපාදියකුත් එක්ක අදත් මනුස්සයා අපේ ගමේ ඉන්නවා. මේ කවියෙන් කියවෙන්නේ ගමේ හිටපු ප්‍රසිද්ද චරිත හතරක් ගැන දිග කතාවක් ඉතාම කෙටියෙන්. එහෙනම් ඔන්න කවිය සහ විස්තරය මට හැකි පමණින්.
පන්සල් පාලුවා පොල්වත්තේ සුද්දා
ගෙයින් ගේට හිඟාන යන නයින්ටියා
පොලොස් හොදියි කිරිපැණි කෑ බණ්ඩයියා
පොකුරු බොරු කියයි හැරබැන්දේ මුත්තා
මීට අවුරදු 10කට 12කට විතර කලින් යාලුවෙකුගේ ගෙදරක පොල් අතු බැඳිල්ලකට ගිහින් ඉද්දි ඇදුන කතාවකින් මේ කවියත්, කවිය කියන්න හේතුභූත වෙච්චි සිද්දිය ගැනත් කීවට දැන් නම් සිද්දිය අමතකයි. හැබැයි කවියනම් පට් ගාල save උනා. හරි එහෙනම් මේකයි තොරණේ විස්තරේ.
"පන්සල් පාලුවා පොල්වත්තේ සුද්දා"
අපේ ගම සහ අවට ගම් රැසකම තිබුන පන්සල් වල නායක හාමුදුරුවරු හැමෝම වගේ අප්පා කුඩප්පච්චිලගේ ළමයි. අපේ ගමේ පන්සල තමා ප්‍රධාන පන්සල උනේ. සතුරන්ට බයේ හැංගිලා හිටපු වළගම්බා රජතුමා කෙලෙහිගුණ දක්වන්න හදපු රජ මහා විහාරයක් කියලයි කියන්නේ. විශාල ගලක් යට තමා පන්සල හදලා තියෙන්නේ. මේ පන්සලේ තමා හිටියේ ඒ පළාතේ අධිකරණ සංඝනායක මහා නායක හාමුදුරුවෝ. වටේ පන්සල් වල හිටියේ උන්නාන්සේගේ නෑදෑයෝ ටික. මේ නායක හාමුදුරුවන්ගේ නංගිගේ පුතා තමා මේ කියන සුද්දා. සුද්දගේ බාල කොලුවත් පන්සලේ මහන කරලා තිබ්බේ ඊළඟ නායක පට්ටමට පවුලේ කෙනෙක් ඕන නිසා. හැබයි මු සුද්දා කීවට වැඩනම් සුද්දෙක් වගේ නෙවේ. මාමණ්ඩි ඉන්න පන්සල විතරක් නෙවේ මාමණ්ඩිගේ යටතේ අනිත් පන්සල් ටිකත් මුගේ බුදලේ වගේ තමයි හිතාගෙන හිටියේ. පන්සලටම අයිති විසාල පොල්වත්තක ගෙයක් හදාගෙන පදිංචි වෙලා හිටිය හිංදා හැමෝම කිවේ පොල්වත්තේ සුද්දා කියලා. මේ පොල් වත්තේ ආදායමට අමතරව වටේ පන්සල් වල අටපිරිකරක්වත් මුගෙන් බේරගන්න එක ලේසි වැඩක් උනේ නැ. පන්සලට දෙන දානේ වෙලේ ඉඳන් අටපිරිකර වෙනකන් සුද්ද කරපු හින්දමද මන්දා මුට සුද්දා කිවේ. මුගේ මේ පන්සල් පාලු වැඩ වලට නොයෙක් දේ කීවත් ඒවා මු ගානකටවත් ගත්තේ නැ. නායක උන්නාන්සේටත් මේ ගැන ඒ හැටි ගානක් තිබ්බේ නැ. වල පයයි ගොඩ පයයි තිබ්බ උන්නාන්සේට නෑයෝ තරහ කරගෙන කොහොමෙයි. ඉතින් ඔන්න ඔය විරෝදය තමා හිටිවන මේ කවිය කියපු මනුස්සයා පලවෙනි පදෙන් කියලා දැම්මේ.
"ගෙයින් ගෙට හිඟාන යන නයින්ටියා"
ගමේ තැපැල් කන්තෝරුවේ ලියුම් බෙදන්න හිටිය මනුස්සයා තමයි මේ නයින්ටියා. මිනිහට නයින්ටියා කියලා කියන්න හේතු උනේ උපතින්ම එක අතක එක ඇඟිල්ලක් අඩු වීම. මෙතැනදී නයින්ටි කිවේ 90 කියන එක නෙවේ 19 කියන එක. නයින්ටීන් කිවනම් තාලේ අප්සැට් වෙන හිංදා තමා නයින්ටියා කියලා කිවේ. නැතත් මිනිහගේ රෙජිස්ටර් වෙච්චි නම තමා ඕක. මිනිහගේ පුරුද්ද තමා හැම වෙලාවේම අහු වෙන කෙනෙක්ගෙන් නයට මොනවා හරි ගන්න එක. ලියුම් බෙදන්න ගම වටේම ඇවිදින මනුස්සයා නයක් නොවුණු ගෙයක් ඒ පැත්ත පළාතේ හොයා ගන්න බැ. කොටින්ම මිනිහාට විටක් කන්න හිතුනොත් ඔන්න එක ගෙදරකට ගිහිං කියනවා අනිත් ජාති තියනවා පුවක් විතරයි නැත්තේ කියලා. එතනින් පුවක් අරන් අනිත් ගෙදරින් බුලත් ඔය විදිහට ගෙවල් දෙක තුනකින් තමා විට එක උනත් සෙට් කර ගන්නේ. ඒ විතරක්ය රුපියල් පනහා,සීය නයට ඉල්ලා නොගත් ගෙදරක් ගමේ නැ. හැබැයි මිනිහා කවදාවත් හොර කරන්නේ නැ. පඩි ගත්ත ගමන් පහුවදා ඉඳන් ගත්ත නය ඔක්කොම වගේ ගෙවල් වලටම ගිහින් බේරනවා. ඔය අතරේ පොඩි පොඩි ගණන් අමතක කරලත් දානවා. ඒ උනත් හැමෝම කියන්නේ මිනිහා අවංක මනුස්සයා කියලා. දවස් දෙකෙන් පඩිය ඉවර කරන මනුස්සයා ඊළඟ මාසේ ගෙවන්නෙත් කලින් පුරුදු විදිහටම ගෙයින් ගෙට නය වෙලා. ඔන්න ඕක උපහාසයට අරන් තමා ඔය දෙවැනි පදේ කිවේ.
"පොලොස් හොදියි කිරිපැණි කෑ බණ්ඩයියා"
බණ්ඩයියා කියන්නේ ගමේ හිටිය තරමක් මෝඩ පහේ ඩයල් එකක්. මිනිහට තිබ්බ ලොකුම ප්‍රශ්නේ කෑම. මිනිහට කෑමක් දැක්කට පස්සේ එක ඉවර කරනකම් තියෙන්නේ මාර උණක්. මළගෙවල්, පින්කම් ගෙවල් ඔය කෝවාගේත් යාව ජීව සාමාජිකයෙක්. කන්න තියෙන්නේ කොතැනද මිනිහා එතන ස්වේච්චාවෙන් සේවකයෙක්. ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට කලින් හිටපු ලොකු හාමුදුරුවෝ මලාට පස්සේ අවුරුද්දක් පාසා උන්නාන්සේගේ ජන්ම දිනේට විසාල පිංකමක් කරනවා මේ පන්සල් සියල්ලේම සහභාගිත්වයෙන්. මේ හැම පන්සලකටම අයිති පොල් ඉඩම් අක්කර ගනන් තියන හින්දත් ගමේ දායක දායිකාවෝ නැ පිරිවර හින්දත් මේ පිංකම මහා විසාලෙට කරන එක මහා පස්නයක් නෙවේ. ඔන්න ඔය වගේ තැන්වල බණ්ඩයියා කියන්නේ නැතිවම බැරි චරිතයක්. ඉඳි අප්ප සීයක් හමාරක් උනත් කිසි කෙඳිරියක් නැතිව ඉවර කරන බණ්ඩයියා දෙන ඕන වැඩකුත් කිසි කෙඳිරියක් නැතිව කරනවා. ඔය වගේ එක පින්කමක් දවසේ සතියක් විතර පන්සලේම නතර වෙලා වැඩ කරපු බණ්ඩයියා පිංකම දවසේ කිරි කන්න ගිහින් අනා ගත්ත හැටි තමා ඔය. හාමුදුරු වරුන්ට දානේ පිලිගන්නලා අහවර උනාම එකතු වෙච්චි ගම්වාසී හැමෝම කෑම කනවා සමහරු ඔතාගෙන යනවා. ඔන්න ඔය වෙලාවක කෑම කාල ඉවර වෙලා අතුරු පස කන්න ගත්තා. බණ්ඩයියා කොහම හරි කාටත් හොරෙන් කලින්ම කිරි මුට්ටියක් පන්නනවා පැණි බෝතල් භාගේකුත් එක්ක. මොකද බත් මාළු ඕන තරම් තිබුනට අතුරුපස ගමකට ඇති වෙන්න නැති නිසා. ඕක බලාගෙන හිටපු තව ඩයල් එකක් දෙනවා රියල් ගේමක්. පොර හෙමිහිට පැණි භාගේ උස්සලා ඒකෙන් තුන්කාලක් විතර අයින් කරලා අඩුවට දානවා පොලොස් තෙල්. දන්නවනේ පොලොස් උයද්දී හොඳ රතු පාටට තෙල් බේරෙන විදිහ. පොලොස් මහා ගොඩක් උයද්දී සැහෙන තෙල් ප්‍රමාණයක් එකතු වෙනවා. එහෙම එකතු වෙන තෙල් හෙමිහිට හැන්දකින් අරන් වෙනම එකතු කරලා තියනවා බෙහෙත් වලට පාවිච්චි කරන්න. ඕක බෝතලේක දාලා හොලවන්නේ නැතිව තිබ්බහම ලස්සනාට අඩියට මිදෙනවා මන්ඩි ටික. අර පොර හෙමිහිට මේ පොලොස් තෙල් බෝතලෙකින් තමා පැණි බෝතලේ අඩුව පුරවන්නේ. දැන් කෑම එහෙම කාලා කට්ටිය ඔය කෙහෙල් ගෙඩියක්, වටලපමක් හොයාගෙන කනකොට බණ්ඩයියා ශේප් එකේ හංගලා තිබ්බ කිරිහට්ටියට වැඩේ දෙන්න සෙට් වෙනවා. කවුරු හරි දැක්කොත් දෙන්න වෙයි කියලා පොර මොකද කරන්නේ ඉක්මනට පැණි භාගේ මුළු කිරිහට්ටියටම දාලා හොඳට කලවන් කරලා තමා එලියට අරං එන්නේ. ඇවිත් උජාරුවෙන් අනිත් උන්ට පේන්නත් එක්ක කන්න ගත්තම තමයි පොරට තරු පෙන්නේ. කටේ තියන්න බෑ මහා වහතු රසක් එන්නේ. වැඩේ සෙට් කරපු උන් ටික බණ්ඩයියා ළඟටම වෙලා හැමෝටම ඇහෙන්න "ආ ..බන්ඩටනම් පින තමා ඉතිං. කිරි හට්ටියක්ම හම්බෙලා තියෙන්නේ" කියලා කියපි. දැන් ඉතිං මොකෑ කොරන්නේ බන්ඩයියත් අරිෂ්ට බොනවා වගේ කිරි එක කාලා දානවා. පහුවදා මොලු දවසම වැසිකිලියේ ඉන්න බන්ඩයියට ආය පාරට එන්න හම්බෙන්නේ නැ හැමෝම අහන්නේ "බන්ඩෙ ශෝක් මීකිරි ටිකක් තියනවා කමුද" කියලා. වැඩේ කොච්චර දරුණු උනාද කියනවනම්. මීකිරි කියන වචනේ ඇහෙනකොටත් බන්ඩයියට ඔක්කාරේ ඔං.
"පොකුරු බොරු කියයි හැරබැන්දේ මුත්තා"
ගම් වල ඉස්සර කාලේ ඉඳන් තියන පුරුද්දක් තමා හැම ගෙදරකටම මොකක් හරි නමක් තියන එක. ගෙදරට විතරක් නෙවේ ගෙදර සාමාජිකයන්ටත් නියම නමට අමතරව ගමේ හැමෝම කතා කරන නමක් තියනවා. සමහර නම් හැදිලා තියෙන්නේ පුද්ගලයාගේ හැසිරීම මත , සමහර ඒවා සිද්ද වෙච්චි යම් සිද්දියක් උඩ, තවත් වෙලාවකට අලුතෙන් ගමට ආපු කෙනෙක් නම් එයා කලින් හිටිය ප්‍රදේශයේ නම. අපේ ගෙට එහා ගෙදර හිටියේ "හත්කොල්ලේ නැන්දා" උන්දා හත්කොරලේයෙන් තමා අපේ ගමේ "නාදන් මාමා " කැන්දන් ඇවිත් තිබුනේ. ඒ හිංදා උන්දා "හත්කොල්ලේ නැන්දා, හත්කොල්ලේ නංගි " වගේ නමක් ලැබුවා. "නාදන්" මාමා කියන්නේ උන්දැගේ පුරුෂයා. මිනිහා "නාදන්" උනේ කොයි වෙලෙත් මහා ගෝසාවට කතා කරන හිංදා. එතනින් ගියාම "බුසම්මා". බුසම්මා කිවේ උන්දැගේ ඇඟේ තරමක් රෝම තිබ්බ හිංදා තව ඉතින් පිරිමියකුගේ වගේ තරමක රවුලකුත් තිබ්බා. ඔන්න ඔහොම තියපු නමක් තමා ඔය හැරබැන්දේ ගෙදර කියන එක. ඔය ගෙදර තමා මම ඔය පොල් අතු බැඳිල්ලට ගියේ. උන්දැගේ බාලම පුතා හොඳින් ඉගන ගෙන උපාදියක් පවා තිබ්බා. හැබැයි ලෙනින්ටත් වඩා සමාජවාදී හිංදා කවදාවත් රස්සාවක් කරේවත් දියුණුවක් ගැන හිතුවේ වත් නැ. අදටත් අවිවාහකව ඉන්නේ. හැබැයි ගෙදරම ලොකු පොල් අතු මඩුවක් හදලා සත පහක් නොගෙන අහල හැම ගමකම එන ඕනෑම සාමාන්‍ය පෙළ ළමයකුට නොමිලේ, ගණිතය, සමාජ අධ්‍යනය, විද්‍යාව උගන්නනවා. මගෙත් ගණිත ගුරුවරයා උනේ මෙතුමා. ඒ වගේම පස්සේ කාලෙක මෙතුමාගේ පරිගණක ගුරුවරයා උනේ මම. ඔය හින්දම පිරිස් බලය අතින් නම් උපරිමයි.
එයාගේ තාත්තා තමා මේ හැරබැන්දේ මුත්තා කියන්නේ. දෙවන ලෝක යුද්දෙටත් සහභාගී උන සොල්දාදුවෙක්. තරමක් යන්ත්‍ර මන්ත්‍ර කටයුතු ගැන දන්නා හිංදා මගේ කලින් පොස්ට් එකේ වගේ ගල් පැලෙන ඇත්ත උන්දා කියන්නේ එකක් දෙකක් එහෙම නෙවේ කතා සරිත් සාගරේ වගේ එකක් ඇතුලේ එකක් විදිහට හින්දා තමා මේ අන්තිම පදෙන් "පොකුරු බොරු කියයි හැරබැන්දේ මුත්තා " කිවේ. රැට නින්ද යන්නේ නැති අවාසනාවන්ත ලෙඩේ තිබ්බ හිංදා උන්දා කරන්නේ තනියම එලි වෙනකන් කාඩ් ගහන එක. ඉතින් අහම්බෙන්වත් කවුරුත් අහු උනොත් උන්දැගෙන් බේරෙනවා බොරු
එකක් ඉවර වෙනකොට එකක් විදිහට කතා කිය කියා අහු උන එකා එලි වෙනකන් හරි තියා ගනියි. ජර්මන් හමුදාවට විරුද්දව යුද්ද කරන්න ගිහින් උන්දා මන්තර බලෙන් කොරපු සුරු විරු කම් චන්දනගේ බේගල් කතා කැලේ. නිකන්ම නෙවේ ඒවාට සාක්කි හැටියට 1944 කොටපු දත් මදින බුරුසුවක්, බුට් සපත්තු තව අරවා මේවා ලට්ට ලොට්ට ගොඩක් එක්ක බොරු ඇවිද්දවනවා. ඔන්න ඔය ගැන තමා ඔය අන්තිම පදෙන් කිවේ.
මේ වගේ දේවල් අහමින්, දකිමින් ගෙවපු මගේ ළමා කාලය මේ සුන්දර මිනිසුන් හිංදා කොච්චර සුන්දරව ගෙවුනද කියලා ආපහු හැරි බලන කොට හිතෙනවා. එත් අවාසනාවට ආය කවදාවත් ඒ දේවල් අපිට ලබා ගන්න බැ. මතකය විතරක් අලුත් කරමින් දැන් මේ ගන්දබ්බ ජීවිතේ ගෙවා දමමු.