මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Thursday, October 27, 2011

සිරිසේනට යකා වැහීම (පන්චේන්ද්රියන්ට අසු නොවන ගුප්ත සිදුවීම් )

මේක සත්‍ය සිදුවීමක් 
ඔන්න මේ පොස්ට් එක දාන්න හිතුනේ ගුනේ අයියගේ මිනිබිරීට ආච්චි වැහුනා පොස්ට් එක බැලුවට පස්සේ.
          මේ බ්ලොග් අවකාසේ ඇවිදිනකොට අනිත් අයගේ සිදුවීම් එක්ක අපේ මතකයත් අතීතෙට ගමන් කරනවා. මතක් වෙන හැමදේම ලියන්න ගියොත් මහා පතරංග ජාතකේ වගේ පොතක් ලියන්න වෙයි. නමුත් ඔන්න තදින්ම මතකයේ තියන දේවල් ලියලා දානවා හැමෝටම දැනගන්න.

ඔය සමහර අමනුස්සයෝ මිනිස්සුන්ගේ සරීර වලට ආවේශ වෙනවා කියන එකනම් මම එතරම්  පිළිගන්න කැමති දෙයක් නෙවේ. සමහරුන්ට ඔය දේව ආත්ම පවා ආවේශ වෙලා කියල කීවට මම නම් හිතන්නේ කිසිම වෙලාවක මිනිස්  ශරීරයකට කිසිම බලවත් ආත්මයක් නම් ආදේශ වෙන්නේනැ  කියලයි . "අසුචී මුට්ටියක් වගේ" කියලා උපමා කරපු අපේ කුණු සරීරයට අපට වඩා බලවත් අමනුස්සයෝ මොකට ඇලුම් කරනවාද? මම හිතන විදිහට පහත්ම ගනයේ ආත්ම තමා මේ ආවේශ වෙනවනම් මේ විදිහට අවේශ වෙන්නේ. 
               ඒවගේම මම දැකලා තියන දෙයක් තමා බොහෝ අවස්ථා වල සමාජයේ පහලම පන්තියේ අයට තමා මේ විදිහට මේ ආවේශ ඇතිවෙන්නේ. නුගත්, දිළිඳු සමාජය අතර බහුලවම මේ තත්වය දකින්න පුළුවන්. මද්ධ්‍යම පන්තිකයන් අතරත් පහල මද්ධ්‍යම පන්තිකයන් අතරත්  තමා මේ තත්වය බහුලව දකින්න පුළුවන් නුගත් ධනවතුන්  අතරත් මේ තත්වය කලාතුරකින්  දකින්න තියෙනවා. නමුත් උගත් සාමාජයේ මේ තත්වය බොහොම විරලයි. කලාතුරකින් දැක්කත් මේ තත්වය ඔවුන් සුව කර ගන්නේ බෙහෙත් හා මනෝ විද්‍යා උපදේශකයකු මගින්. තොවිල් පවිල් කරනවා දැකලා තියෙන්නේ බොහොම කලාතුරකින්. 

                         මොකද කුඩු කාරයාගේ ඉඳලා මහාචාර්ය මට්ටමට එනකන් විවිද පුද්ගලයෝ මම ආශ්‍රය කරන නිසා මේ ගැන හොඳ අවබෝදයක් මට තියනව කියලා මම හිතනවා. මම කවදාවත් දැකලා නෑ දෙවියකු හෝ යකෙකු වැහුන දොස්තර කෙනෙක්  , ලෝයර් කෙනෙක්, මහාචාර්ය වරයෙක්  හෝ දෙසපාලකයෙක් වගේ කෙනෙක්ව. කොහොම උනත් නුගත් හෝ බලවත් චිත්තාවෙගයන්ට ඔරොත්තු නොදෙන සිතක් ඇති අයට මේවගේ දේවල් මගින් සිත රවට්ට ගන්න පුළුවන් වීම තමයි මම හිතන විදිහට මේ තත්වය. මට නම් තවම යකෙක් බුතයෙක් දෙවියෙක් දකින්න අවස්තාවක් ලැබිල නැ. මගේ බලාපොරොත්තුව කවදා හරි මේ වගේ දෙයක් දකින එක තමයි. හැබැයි මම කවදාවත් මේ තත්වයන් ගැන පහත් විදිහට කතා කරන්නේ නැ. අර විමලරත්න කුමාරගම ගේ අයියනායක කවි පන්තියේ කියනවා වගේ "මම නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම " තමයි මගේ ප්‍රතිපත්තිය. මොකද ඔය අපේ පන්චේන්ද්‍රයන්ට ගෝචර නොවෙන ගොඩක් දේවල් ලෝකයේ සිද්ද වෙනවා. 

    මම පාසල් ගිහින් ඉවර උන අලුතම වගේ මට හාමුදුරු නමක් ආශ්‍රය කරන්න හම්ඹුනා. උන්වහන්සේ පිළිගත් ජෝතිෂ වේදියෙක්. මම උන්වහන්සේත් එක්ක තර්ක කරලා කීව මම ඔය ග්‍රහ බලපෑම් පිළිගන්නෙත් නැ ඕවා බොරු කියලා. මට කරුණු කොච්චර කීවත් පිළිගත්තේ නැ.ඒ දවස්වල අපි ටිකක් නහයට අහන්නේ නෑ නොවැ. මේ හාමුදුරුවෝ මට  කීවා අපි පොඩ්ඩක් එලියට ගිහින් කතා කරමු කියලා මමත් උන්වහන්සේත් එක්කම එලියට ගියා. දැන් අපි දෙන්නම එළියේ ඉඳගෙන කතාව වෙලාව දවල් 11 විතර ඇති. ටික වෙලාවකින් අපි දෙන්නටම හොඳටම දාඩිය දාල මුනත් කලුවෙලා ගිහින්. දැන් හාමුදුරුවො අහනවා

මොකද නිකන් මුනත් කලුවෙලා අමාරුවෙන් වගේ  

මම කීව ඇයි අප්පේ මෙතනට හොඳටම අවුව නොවැ 

එතකොට හාමුදුරුවෝ කියපි 
                         මහත්තයෝ ඉර කියන්නෙත් ජොතිශය අනුව එක ග්‍රහයෙක් ඉතින් මහත්තයාට ඇස්දෙකටම දැන් පේනවා නේද ග්‍රහයන්ගෙන් අපට බලපෑම් තියනවා කියලා. ඔය වගේ තමයි අනිත් ග්‍රහයෝත් උන්ගේ බලපෑම් අපිට පෙන්නේ නැ.ඒ උනාට නෑ කියලා අයින් කරන්න බෑ.   කතාව ඇත්ත  මට ඉතින් කට උත්තරත් නැ 

ඔන්න ඔයවගේ තමයි සමහර දේවල්. කොහොම උනත් මෙන්න මගේ කතාව. මේක මේ සත්‍ය සිද්දියක්. මේ කතාවට  සම්බන්ද අය සැහෙන පිරිසක් තවමත් අපේ ගමේ ඉන්නවා. 

      මම එතකොට උසස්පෙළ කරලා ගෙදර ඉන්න දවස් . ඒ දවස් වල තමයි ඔය කොම්පීතර සාස්තරේ ඉගනගන්න එහෙම ගියේ. දවසක් මම පන්ති ගිහින් ගෙදර ඇවිදින් පුරුදු විදිහටම බත් එහෙම කාල මගේ යාලුවෙකුත් එක්ක පුරුදු පරිදි බන්දුලගේ කඩේට යනවා හොරෙන් බට යක් ගහන්න. මෙන්න බොලේ එදා බටයක් ගහන්න යනකොට බන්දුලයා කඩේ නැ ඒ වෙනුවට හිටියේ උගේ අම්මා. 

මම ඇහුව "කෝ නැන්දා බන්දුල"  
"ඇයි පුතේ සිරිසේනට යකෙක් වැහිලනේ  ඔන්න එක බලන්න ගියා" කියලා නැන්දා කියපි . 
අම්මට සිරි මටත් මදිද   ඔය ටික  මමත් කෙළගෙන ගියේ ඔය කියපු තැනට . යනකොට එතන ගිනි විජ්ජුම්බරයයි සෙනග සූ ගාල පිරිලා. සිරිසේනව කාමරේක දමලා බොහොම අමාරුවෙන් අල්ලාගෙන ඉන්නවා. මිනිස්සු තුන් හතර  දෙනෙක් ඇඟ උඩ නැගලා අල්ලාගෙන ඉද්දිත් මේ යකා උන්ව පෙරලගෙන කාමරෙන් පැනලා යන්නයි ට්‍රයි එක.මේ අල්ලාගෙන ඉන්න අයත් එසේ මෙසේ කට්ටිය නෙවේ පොල් කඩන , ලී ඉරන කුලී වැඩ කරන අත පය යකඩ වගේ වෙච්චි මිනිස්සු   ටිකක් තමයි අල්ලාගෙන ඉන්නේ. ඇඳක දාලා සිරිසේනව යට කරගෙන අල්ලාගෙන ඉන්නවා  එක පාරට යටි ගිරියෙන් කෑ ගහල උන් ටික පෙරලගෙන යන්න ලැස්ති  මේ යකා. මමත් ඉතින් කාමරේ එලියට වෙලා ජනෙලෙකින්  බලාගෙන සිද්දිය. මට ඉතින් හරි විනෝදයි වැඩේ. ඔන්න ටික වෙලාවකින් අල්ලාගෙන හිටපු එක අයිය කෙනෙක් අවා එලියට . 

අම්මට හුඩු යකෝ මෙන්න මේ පොරගේ තොල පැලිලා , මුණ ඉදිමිලා මම ඇහුව මොකද අයිය ඔය කියල. පොර කියපි යකා වැහුණු සිරිසේනගේ ෂොට් තමයි ඔය කියලා.  මට පුදුමත් හිතුනා සිරිසේන කියන්නේ මේ හොඳටම වයසක මනුස්සයෙක් බොහොම පොඩි මිනිහෙක්. ඒ වගේ මිනිහෙක්ට කොහෙන්ද මෙහෙම හයියක්. මම ඇහුවා කොහොමද ඕක උනේ කියලා. ඔන්න එතකොට තමයි  මෙන්න මේ සිද්දිය දැන ගත්තේ.

     සිරිසේන  කියන්නේ අපේ ගමේ හිටපු එක යකදුරෙක් මිනිහා මේ ගෙදර ඊට කලින් දවසේ පොඩි සාන්ති කරුමයක් කරලා තියනවා ගෙදර කෙනෙකුට යක්ස බැල්මක් තියනවා කියලා. ඊට පහුවදා මේ ගෙදරින් යන්න කලින් ඇඟ පතේ අමාරුවට  පොඩි "නැටුම් තෙල් " ටිකක් එහෙම අරගෙන තමයි ගිහින් තියෙන්නේ. ඒ අතරේ තෙල් දාපු කරවල කැලී දෙක තුනක් කාල. මිනිහ ගෙදර යන්න කලින් හරකා බඳින්න කියලා ඇල ඉවුර දිගේ තනියම ගිහින් තියනවා. එතන තමා කලින් දවසේ සාන්ති කරුමය කරලා පිදේනි තටුව ගෙනත් දාලා තියෙන්නේ. ඔන්න ඔතනදි කලින් දවසේ පන්නපු යකා ගැහුවා ගුරාටම. මිනිහා හූ තියාගෙන පිදේනි තටුව කන්න දුවගෙන එනකොටම තමයි මේ ගෙදර අය දැකලා අල්ලාගෙන තියෙන්නේ . කියන විදිහට නම් බැරි වෙලාවත් පිදේනි තටුවේ දේවල් කෑවනම් සොරිම තමා ජීවිතේ උනත් විස්වාස නැතිලු එතකොට. 

අනේ මන් දන්නේ නැ මෙහෙමත් කෙලි. 

කොහොම හරි ඔන්න පොරව ගෙනත් දැන් කාමරේ . පොරගේ ට්‍රයි එක කොහොම හරි පිදේනි තටුව තියෙන තැනට යන්න. හිටි ගමන් හොඳට කතා කරනවා. අනුකම්පා හිතෙන විදිහට ඉල්ලනවා එලියට යන්න. එක එක හේතු කියනවා. දෙන්නේ නැති වෙනකොට කෑ ගහල ඉන්න එවුන් පෙරලගෙන දුවන්න හදනවා. 
ශේහ් බලන්න ලස්සනයි එතන තිබ්බ සෙල්ලම. කොහොම හරි ඔන්න විනාඩි දහයක් විතර මේ පොර දැන් සද්දයක් නැ. ඉන්න අයත් එක්ක හොඳින් කතා කරනවා. ඔහොම ඉඳලා කියපි මට චු බරයි කියලා. දැන් ඉතින් යන්න නොදී පුළුවන ඔන්න දෙතුන් දෙනෙක් මිනිහගෙන් අල්ලාගෙන එක්ක ගියා ගෙදර පිලිකන්නට. දැන් ඉතින් මිනිහ කියනවා අතාරපියවූ මට චූ කරන්න කියල. 
අනේ අත්හැරිය විතරයි මෙන්න බොලේ මු කඩාගෙන බිඳගෙන දුවනවා අර පිදේනි තටුව ලඟට. කොහොම හරි අපි පැනලා අල්ලගත්ත. අල්ලාගෙන ගෙනත් කාමරේට දාල දොරක් නැති නිසා තුන් හතර  දෙනෙක් දැන් මුර. ආයෙත් අර කලින් සෙල්ලමම තමයි. 
මමත් දැන් දොරකඩටම ගියා ගිහින් ඇතුලේ ඉන්න අයට කීව මම මෙයාව බලාගන්නම් ඔයාල එලියට එන්න කියලා. 
කට්ටිය අවා එලියට. 
මම දැන් උළුවස්සට හේත්තු  වෙලා. 
සිරිසේන ඇඳේ. 
දැන් මිනිහ මම දිහා බලනවා ජනේලෙන් එලිය බලනව. මට තේරුණා අයෙත් මොකක් හරි සෙල්ලමක් දාන්න තමා යන්නේ කියලා. මම කීව ඔන්න නොකීවයි කියන්න එපා සිරිසේන මේකෙන් එලියට යන්න ඕන නැති සෙල්ලන් දාන්න අවොත් නම් තමුසෙයි යකයි දෙන්නම මගෙන් හොඳටම කනවා . 
හදිස්සියකටවත් විටක් එහෙම හපන්න ඔය ඉතිරි වෙලා තියන දත් ටික ඕන නම් කරබාගෙන ඇතුලට වෙලා ඉන්නවා. මොනවා හරි ඕන නම් කියනවා ගෙනත් දෙන්නම් හැබයි සෙල්ලම් නම් දාන්න ලැස්ති වේලා  පස්සේ ඔං මමත් එක්ක තරහ වෙන්න එපා කියලා.  
යකා වැහිලා හිටියත් සිරිසේනගේ මොලේ නම් එච්චර අවුල් වෙලා නැ වගේ . නැත්නම් මාව හොඳට දන්න යකෙක් තමයි වැහිලා හිටියේ. මිනිහ පුස් පැටිය වගේ කීකරු උනා. මොකද ඒ වෙනකොට ඔය ගුටි කෙලි සම්බන්දව කුප්‍රකට නමක් තමයි මට තිබ්බේ. ළඟ පාත වලියක් නම් මම නැති වෙන්නෙම නැ. 
ඉස්කෝලේ ගිහින් ඉවර උනා විතරනේ තවම උන ගතිය බහින්න කාලයක් නැ නොවැ.  
කොහොම හරි දැන් ඉතින් මිනිහා මගෙත් එක්ක හොඳට කතාව මොන යකෙක්වත් නැති ගානට තමා  ඉන්නේ. 
මිනිහගේ පුතා ඒ දවස් වල සෙකියුරිටි කොම්පැනියක තමා වැඩ කලේ ගමට ආවොත් මගෙත් එක්ක සෙට් වෙලාම තමා යන්නේ. මිනිහා ඒවත් දන්නවා ඉතින් මිනිහා එයාගේ පුතා ගැනයි අනං මනං අහනවා. ඒ ගමන් හෙම්හිට මාව ශේප් කරගෙන එලියට පනින්නත් ටෝක් කරනවා. මම පොඩ්ඩක් සද්දේ දාපුවම අයෙත් වෙන මොනවා හරි කතා කරනවා. හැබැයි වැහිලා හිටියෙනම් රට කාපු හොඳ ගොරක යකෙක්. 

මිනිහගෙන් මොනවද ඕන කියල අහපු ගමන් ඉල්ලනේ බීඩි මම හිතන්නේ ඔය ටික වෙලාවට මිනිහා බීඩි මිටි 2 විතර බොන්න ඇති. පිස්සෝ බීඩි බොනවා වගේ තමයි මේ යකත් බීඩි බීවේ.  කාමරේ නිකන් රබර් රොටී වේලන දුම් කාමරයක් වගේ වෙලා තිබුනේ බීඩි දුමටම. 

කොහොම හරි ඔන්න පැයකින් දෙකකින් විතර මිනිහගේ ගුරුන්නාන්සේ අවා එතනට. එයත් අපේ ගේ ඉස්සරහ ඉන්න හොඳටම වයසක කෙනෙක් මනුස්සයනම් වයස උනාට හොඳ උස මහත මනුස්සය. හැබැයි ඇවිදින්න එහෙම ටිකක් අමාරුයි. 
අපු ගමන් කලේ ගොක් කොලයක්, කෝටු කැල්ලක්  හොයාගෙන එකෙන් පොඩි ත්‍රිශුලයක් වගේ එකක් හදපු එකයි. පස්සේ එක අරන් ගියා කලින් දවසේ හදලා තිබුන මල් පහන් පල  ලඟට. ගිහින්  එකට මොනවදෝ මතුරලා ගේනවා. ගෙනත් කාමරේ උළුවස්ස වටේට එක අරන් ගියා. පස්සේ එක මගේ අතට දීල කීවා දැන් ඔය යකාට  මේ දොරෙන් එලියට යන්න බැ ඒ නිසා ඔයා එලියට එන්න. මොනවා හරි කරන්න හැදුවොත් ඔය කොටුවෙන් ගහන්න කියලා.  මමත් ඉතින් එලියට ආව කෝකටත් මේ පොර ෂුවර්  නැති නිසා රේඩි පිට හිටියේ. 
මෙන්න බොලේ මම කාමරෙන් එලියට ආව විතරයි මු දැන් එනවා හෙමීට දොර ලඟට හැබැයි දොර ලඟට ආවට මු දොරෙන් එලියට එන්න බයයි. දොර ලඟට එනවා ආය ඇතුලට යනවා. ඔහොම සැහෙන වාර ගණනක් කරා. මිනිහට මේ උළුවස්ස පනින්න බැ. මම නිකන් ටෙස්ට් කරන්නත් එක්ක මට දුන්න කෝට්ට අරන් ලඟට ගියා විතරයි මෙන්න මේ යකා රිංගුවා ඇඳ ඇතුලට. මට ඉතින් පුල් ආතල් මේ වැඩ ටිකට.  
කොහොම හරි අපු ගුරුන්නාන්සේ අත්තා යකා එලවන්න තොවිලේට ඕන බඩු ටික ලියල දීල ගෙදර ගියා නාලා එහම රෑ වෙලා එන්නම් කියල. මමත් කෝටුව ගෙදර හිටපු කෙනෙකුට දීල ගෙදර ඇවිත් නාල එහෙම ටක් ගාල අපහු ගියා තොවිල් ගෙදර. ගිහින් තියන වැඩ ටික එහෙම ලැස්ති කරලා දැන් ඉන්නවා ගුරුන්නාන්සේ එනකන්. ඔන්න 6.30 -7 විතර වෙද්දී එනවා ගුරුන්නාන්සේ. දැන් ඉතින් තොවිලේ පටන් ගන්නයි යන්නේ. දැන් අයෙත් අර කෝටුවට  මතුරලා  මට කීවා ඕකෙන් එකක් යකාට  ගහල එක්ක එන්න කියලා. මමත් ගිහින් මේකෙන් පොඩි තට්ටුවක් දැම්ම. මෙන්න යකෝ මු දැන් කෝටුව පස්සෙන් එනවා එක්ක ඇවිත් ඉන්දුවා පහන් පල ළඟ පැදුරක ඒ කරලා දැන් ඉතින් තොවිලේ පටන් ගත්ත. යකා වැහුන සිරිසේනත් දැන් බීඩි බිබී බලාගෙන ඉන්නවා. මමත් මිනිහ කිට්ටුවට වෙලා ඉන්නවා අයෙත් මේ යකා දුවයිද  කියලා. කොහොම හරි ඔන්න දැන් රැ 11 ට විතර ඇති. 
අපේ ගුරුන්නාන්සේ අත්තා පාරේ ඇවිදින්න බැරිව ඉන්නේ නමුත් මෙන්න බොලේ සුදු සරම ඇඳලා උඩින් රතු පාට පච්චවඩම් රෙදි කෑල්ල ඇඳලා එක සීරුවට කොල්ලෙක් වගේ නටනවා. 
දැන් ඉතින් බෙරවල බීට් එක ටික ටික වැඩි වේගෙන එන්නේ. මතුරන සද්දෙත් ටික ටික වැඩ්යි. 
යකා වැහුන සිරිසේනත් දැන් ටිකක් නලියනවා. 
මෙන්න දැන් අර කෝටුව පහන් පලේ තිබිල අරගෙන අවා සිරිසේන ලඟට. මේ යකා දැන් කෝටුව පස්සේ යනවා. නිකන් නෙවී නට නටා. 
දැන් ඉතින් තොවිලේ උද්වෙගකරම හරිය. 
ගුරුන්නාන්සේ අත්තයි සිරිසෙනයි එක සීරුවට නටනවා. මේ යකා ඔලුව කරකවන විදිහට මට හිතුනේනම් ඔලුව ගැලවිලා විසිවෙයි කියලා. ඔය අස්සෙ තවත් ඔය වගේ බෙර සද්ද වලට ආවේශ වෙන අය ගම්වල ඉන්නවනේ උනුත් මෙතනට ඇවිත් නටනවා. තනිකර Musical  Show  එකක් වගේ. 
ඔන්න දැන් ගුරුන්නාන්සේ අත්ත සිරිසේනගේ ඇඟේ ඉන්න යකාගෙන් අහනවා මේ නරයා අතහැරලා යනවද කියල. යකා කියන්නේ නැ කියලමයි. දැන් ඉතින් තනිකර බිස්නස් එකක වගේ තමයි දෙන්න හෙට්ටු කරනවා. 
අරව දෙන්නම් , මේවා දෙන්නම් කියල මොනවා හරි පොඩි ජරාවක් දීල යකා එලව ගන්න ට්‍රයි එක. 
මොන පිස්සුද යකත් රට කපටියෙක් උ ඉල්ලනෙම  බිල්ලක් විදිහට පරානයක්. 
අත්තත් මොනවත්  නොදී එලව ගන්නම තමයි ට්‍රයි  එක. දැන් ඔං හොඳින් කියල බැරි තැන තර්ජනය කරනවා. යකත් මොන මොනවා හරි කියලා ශෙප් වෙනවා. වැඩේ හරියන්නෙම නැ. 
පස්සේ යකාට ගහන්න ලෑස්ති. මොකකින්ද දන්නවද ගහන්නේ පුවක් මලකින්. 
දැන් ඔන්න පුවක් මල දුන්න සිරිසේන අතට ගත්ත ගමන් මේ යකා එකෙන් තමන්ගේ මුනට ගහගෙන ගහගෙන යනවා.වගේ වගක් නැ.

          හැමෝම දන්නවනේ මේ හීනි කෙඳි වලින් ගහපුවාම වයිර පලු මතු වෙනවා කියල. මේ යකා පුවක්මල කැඩිලා කැලි විසිවෙනකන් ගහ ගත්ත මොන වයිර පළුවක් වත් නැ. අන්තිමට පුවක් මල වීසි උනා. මේක ගෙදර වහලෙටත් උඩින් ගිහින් මීටර් 100 විතර ඈත වැටුනේ. 
ඔන්න ගුටි කෑවට පස්සේ යකා ටිකාක් මෙල්ල වෙලා. දැන් මු කියනවා කුර තියන සතෙක් දුන්නොත් යනවලු. කොහොම හරි දැන් ගුරුන්නාන්සේ අත්තයි යකයි  හෙනට වාද කරනවා අපිට තේරෙන්නේ නැ මොකද කතාව දෙමල හරි මලයාලම් හරි තමයි. 

ඔය දෙවියන්ගේ බාසාවත් දෙමල කියනවනේ. (දිව්‍ය ලෝකේ  කොහොම ඇද්ද) . 

අන්තිමට දෙන්න හෙට්ටු කරලා කරලා එකඟ තත්වයකට ඇවිත්. මොකක්ද එකඟ තාවය කුකුලෙක් දුන්නොත් යකා යනවා. දැන් ඉතින් ඔන්න කලින් ගෙනත් තිබුන කුකුළා අරගෙන ආව. 
අනේ මේ අහිංසක සතා මෙලෝ දෙයක් දන්නවය. උගේ කකුල්  දෙක බැඳලා නිසා ඔහේ දාපු තැන වැටිලා ඉන්නවා. මට ඉතින් මේ වැඩේට හරි තරහයි.එත් ඉතින් කරන්න දෙයක් නෑනේ. හැබැයි මට හිතුනා  ඔයිට වැඩිය ලේසියෙන් මට ඔය යකාව එලවන්න පුළුවන් කියලා. කරන්න දෙයක් නැති නිසා කට වහගෙන බලාගෙන හිටියා. 
ඔන්න කුකුලා දැක්ක විතරයි සිරිසේන (යකා) කෙල හලනවා කුකුලට. ගුරුන්නාන්සේ අත්ත කුකුළා කකුල් දෙකෙන් එල්ලගෙන නටනවා යකත් පෙරේත කමට ඒ පස්සෙන් නට නටා යනවා. දැන් ඉතින් යකා යන්න එකඟයි. ඔන්න ගුරුන්නාන්සේ අත්තා කියපි එහෙම එක පාරටම යන්න බැ යන්න කලින් වැඩක් තියනවා කරලා දීල යන්න කියලා. 
යකත් දැන් හොඳටම මෙල්ල වෙලා නිසා එකඟ උනා වැඩේට. මොකක්ද  වැඩේ යන්න කලින් මේ තොවිලේ බලන්න ඇවිත් ඉන්න යට සාස්තර කියලා යන්න. ඔන්න දැන් තොවිලේ බලන්න ඇවිත් හිටපු එක එක්කෙනා ඇවිත් සාස්තර අහනවා යකත් උත්තර දෙනවා. වැඩියෙන්ම ආවේ ගැනු කට්ටිය තමා. 
ඔන්න ඒ වැඩේ ඉවර කරලා දෙන්න අයෙත් දෙමලෙන් මොන මොනවද කතා කරලා වැඩේ ඉවර කරන්න ලෑස්ත්යි.  ඔන්න සිරිසේන අතට දුන්න කුකුළා ගත්ත ගමන් ඔලුව වටේ රවුමක් කරකලා ගෙනාව බෙල්ල කට ලඟට කුකුලට කැ ගහන්නවත් වෙලාවක් නැ ටික වෙලාවකින් කුකුළා  විසි කරලා දාල සිරිසේන සිහිනැතුව වැටුනා. පස්සේ මිනිහ උස්සල පැදුරක තියලා වතුර ටිකක් එහෙම ඉහලා සිහිය ගත්ත.

 මෙන්න බොලේ සිහි අපු ගමන් පොර අහනවා ඇයි මොකද උනේ. මොකද මෙච්චර සෙනග කියලා. අනේ මන්ද පොර ඇත්තටම දන්නේ නැද්ද උනේ මොකද කියලා නැත්නම් බොරුවක්ද මට තවම හිතාගන්න බැ. 
කොහොම උනත් මේ කුකුලයි මල් බුලත් තට්ටුවයි වතුර පාරක් ලඟට ගිහින් දාන්න ඕන නිසා අපි එව්ව අරගෙන ගියා ඇල ලඟට මම තමයි කුකුළා අරගෙන ගියේ. මම හොඳට ලයිට් එකක් තියෙන තැනකට අරන් ගිහින් කුකුලව චෙක් කරා බෙල්ලේ පොඩි සිදුරු දෙකක් තිබුනා එච්චරයි කුකුලා ඇත්තටම මැරිලා. කුකුළා ඇල ලඟට අරන් යද්දී එතන හිටපු අයිය කෙනෙක් කීව ඕකගේ ඇඟේ එක ලේ බින්දුවක් නැ ඔක්කොම යකා බීල කියල. 
මමත් ඉතින් කියන දෙයක් ලේසියෙන් පිළිගන්නේ නැති පොරක් හින්දා   ඇල ලඟට අරන් ගියා කුකුළා එතැනදී  ඒ අයගේ ඉනේ තිබුන කිතුල් මල කපන පිහියෙන් කපලා බැලුව කතාව හරි උ ගම් කුකුලෙක් උනාට තනිකර සුදුමැලි වෙලා හිටියේ හරියට broiler කුකුලෙක් වගේ. 


ඉතින් ඔන්න ඕකයි සිද්දිය. ඔතන උන සමහර දේවල් අපේ පන්චේන්ද්රියන්ට ගෝචර නැ. එහෙම කියල බොරු කියන්නත් බැ ඇත්ත කියන්නත් බැ. 
කොහොම නමුත් මේක සංවාදයට විවෘතයි.  
අන්තිමට උනේ සිරිසේනව කාමරේ හිර කරගෙන හිටිය හින්ද ගමේ එවුන් ඔක්කොම මට වෙසමුනියා කියල කාඩ් එකක් ගැහුවා. පෙනුමත් ඒ වගේ නිසා මමත් ඉතින් කරබාගෙන හිටියා. 

ඔන්න මේක ලියල ඉවර උනෙත් යක්කු ගස් යන වෙලාවක. 
                                                                                              එහෙනම් හැමෝටම සුබ උදෑසනක් මම නිදා ගන්නවා ඔං .                       
                                                                  
       

Tuesday, October 25, 2011

රජ කාලේ කතා - රජතුමා, අවජාතකයා සහ හොරා





මේ ලියන්න යන්නෙත් ඔන්න ඉස්සර කලේ උන කතාවක්. මම ඔය පුරාතන දේවල් වලට කැමති නිසා ඕවා ටිකක් මතක  හිටිනවා. මම විතරක් නෙවේ මේ බ්ලොග් අවකාශයේ ඉන්න ගොඩක් අය කැමති පුරාතන දේවල් වලට කියල කතන්දර ලියල තියෙන මේ බ්ලොග් එකෙන් සහ කොමෙන්ට් වලින් පේන්නැද්ද බලන්න. මේක මේ අපේ රජ කෙනෙකුට උන වැඩක්. ඔන්න එහෙනම් එදා ඔය රාජ සබාවේ මම ඉන්නකොට ඇහෙන් දැකපු, කනෙන් අහපු  විදිහටම ඔන්න ලියනවා සිද්දිය. 

රජ පුරුෂයා :- අවසර පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස.
රජ :- එහෙමයි. ! මොකාද යකෝ උඹ මේ කුදලලා අරන් ඇවිත් තියෙන්නේ.
ර.පු :- දේවයන් වහන්ස මේකා තමයි මේ ගම නියම්ගම්  පාලු කරමින් සොරකම්කරපු සොර දෙටුවා. මු මහා දවාලේනේව හොරකම් හැම එකක්ම සිද්ද කරලා තිබුනේ. සමහර දේවල් වලට හොරකම්ම කියන්නත් අමාරුයි දේවයන් වහන්ස. මු වැඩි හරියක් මිනිසුන් මුලා කරලා තමයි මේ සොරකම් සිද්ද කරලා තියෙන්නේ. වැඩේ කියන්නේ දේවයන් වහන්ස මු අතට  අහු උනත් මුගේ කපටිකමින්   අල්ල ගත්ත මිනිහගේත් ඉන ඉහ අතගාගෙන මරුවෙනාවනොව. 
හොරා :- ම්හු ...ම්මු ....ම්හු .......
ර :- මොකෝ බෝල මුගේ කටේ මේ රෙදි ගුලියක් හිර කරලා. මු හොරෙක් උනාට සරපයෙක් වගේ දස්ට කොරනවාය. ගලවපිය ඔය කටේ ඔබලා තියන රෙදි ගුලිය. 
ර.පු :- පස්වාන්දහසකට බුදුවන්න දේවයන් වහන්ස එකනම් කරන්න එපා ඔං.
ර :- ඒ මොකෑ බන් ඒ. 
ර.පු :- අවසර ..! ඕකගේ කට තමයි දේවයන්වහන්ස ඕකට තියන ලොකුම ආයුදේ. ඕක කට ඇරියත් ඕනෑම මිනිහෙක් ඕකගේ වචන වලට රැවටිලා ඕකා දෙන ලනු ගිලිනවා. ඒ හින්දම මම අල්ල ගත්තු ගමං වචනයක් වත් කතා කරන්න කලින් තමයි ඔය රෙදි ගුලිය කටේ එබුවේ. බැරිවෙලාවත් ඕක එබුවේ නැත්නම් ඕකා අනිවාරේයෙන් මාව ගොනාට අන්දලා මගේ ආයුද වලටත් ඇරලා තමයි මාරු වෙන්නේ. ගලවන්නනම් එපා දේවයන් වහන්ස. ගලෙවූවොත් ඕකා ඔබ වහන්සේගේ කනින් රිංගලා රාජ සබහවම ගොනාට අන්දලා මාරු වෙයි.
ර :- රජ පුරුෂය...! මොකක්ද තා කීවේ. මාව ගොනාට අන්දන්න. හිතුවා මදි තෝ  දන්නවාද   මගේ නුවන ගැන මුළු ලංකාද්වීපයේම ඇති ප්‍රසිද්දිය. වහාම ඔකාගේ   අත, පය  ලිහා ඔය මුකයේ ඔබා ඇති රෙදි ගුලිය ඉවත් කරනු. 
 ර.පු :-එහෙමයි දේවයන් වහන්ස ...එහෙමයි.
ර :- එම්බා සොර දෙටුව තා මේ කර ඇති අපරාද වලට තා නිවැරදි කරුද වැරදි කරුද.... ? 
හො :- පස්වාන්දහසකට  බුදුවන්න දේවයන් වහන්ස    නිවැරදි කරු වෙමි.
ර :- එම්බල රාජ පුරුෂය තෝ මෙම සොරාට විරුද්දව සාක්ෂි රැගෙන අවේද .? 
ර.පු :- එහෙමයි දේවයන් වහන්ස බොහොම අමාරුවෙන් පිරිසක් කැදවාගෙන අවා. බොහෝ දෙනෙක් තමාට උන සිදුවීම් කියන්නත් ලජ්ජාවෙන් ඉදිරිපත් වෙන්නේ නැ දේවයන් වහන්ස. ඔය ඉන්නේ ඒ කැදවාගෙන අපු පිරිසයි දේවයන්වහන්ස. 
ර. :- එම්බල නරයිනි මේ රජ පුරුෂයා කියන්නේ සැබෑවක්ද ?
පිරිස. :- ප. බු. දේ . එහෙමයි මු අපේ බොහෝ සම්පත් අපි බලාගෙන ඉංදීම කොල්ල කෑවා අපිව ගොනාට අන්දලා.
ර . :- එම්බල සොර දෙටුව තා මේ කර ඇති අපරාද සැකයක් නොමැතිව ඔප්පු වන හෙයින් තොපට මරණීය දණ්ඩනය නියම කරමි. නිදහසට කාරනා ඇතොත් වහාම ඉදිරිපත් කරනු.
හො. :- පෙනුමෙන්නම් එහෙම නැ එත් ඉතින් කාටද කියන්න පුළුවන්.
ර. :- කුමක්ද සොර දෙටුව තා මුනු මුනු ගාන්නේ. කියන දෙයක් සියලු දෙනාට ඇසෙන ලෙස කියව. කිමද තා මරණ බයින් තැති ගත්තේද ?
හො. :- අවසර රජතුමනි මේ පිරිස ඉදිරියේ කීවාට කමක් නැතිද. 
ර. :- මේ රාජ සබහවේ කිසිදු රහසක් නැති වහා කියපිය තෝ මුනු මනු ගමින් කිවූ දෙය.
හො. :- අවසර රජතුමනි මම පැවසුවේ       පෙනුමෙන්නම් එහෙම නැ එත් ඉතින් කාටද කියන්න පුළුවන්. කියලා දේවයන් වහන්ස .
ර. :-  මොකක්ද යකෝ එකේ තේරුම. කියන දෙයක් තේරුම් ඇතුව කියපිය. 
හො. :- එහෙමයි දේවයන් වහන්ස එහෙමයි. මම ඉපදුනු විගස මගේ  මෑණියන් නැකත් කරුවෙකු ලවා මගේ කේන්ද්‍රය සාදා ඇත. ඔහු කේන්ද්‍රය සදා දී පලාපල ද මෑණියන්ට පවසා ඇත. එම පලාපල වලින් කියැවුණු සෑම දෙයක්ම මේ වනවිට සත්‍ය වී ඇත. නමුත් ඔහුගේ අන්තිම පලාපල ය . ගැන මට අවිශ්වාස නිසා එලෙස ප්‍රකාශ කෙරුවෙමි.
ර. :- කුමක්ද ඔහුගේ අන්තිම පලා පලය. වහා කියපිය. 
හො. :- ඔහු මා සොර දෙටුවකු වනබවත් කවදා හො මිය යන්නේ අවජාතකයකු අතින් බවත් අවසානයේ කියා ඇත. මා සොරකු වූ බවනම් සත්‍ය වී ඇත. නමුත්  අව්ජාතකයකු  අතින් මැරෙන බව කීම නිසයි    පෙනුමෙන්නම් එහෙම නැ එත් ඉතින් කාටද කියන්න පුළුවන්. යයි කියා සිටියේ දේවයන් වහන්ස.

ර. :- එම්බා රාජ පුරුෂය වහාම මේ බල්ලා මේ නුවරින් පිටුවහල් කරව. තොපි ගෙනාවොත් ගේන්නේ මේ වගේ දහාපදුරාවක් තමයි.

කතාව නිමි 

ප. ලි 
මෙම වෙබ් අඩවියේ කොමෙන්ට් වැටීම 1,110 :  10 අනුපාතයට සිටින ලෙස සකසා ඇති බැවින් කරුණාකර එම අනුපාතය කැඩීමෙන් වලකින්න.    

Saturday, October 22, 2011

පාසල් සමයේ සුන්දර සිදුවීම් - සිකුරිටි මාමල ඇන්දීම සහ සංවරව ප්‍රේම කිරීම

ඔන්න අද මම කියන්න යන්නේ සිකුරුට්ටෙක් සිරාවටම ගොනාට අන්දපු සිද්දියක් ගැන. මේක සිද්ද උනේ ඉස්කෝලේ යන කාලේ. මම ඉස්කෝලේ ගියේ මාලිගාව තියන නගරයේ ප්‍රසිද්දම  පාසලකට ඔං.


හැබැයි  ඉතින් ඉස්කෝලේ  ගියා කීවට සතියට දවස් 3 විතර තමයි ගියේ. අද ගියොත් හෙට බෑ ක්‍රමයට තමයි. ඉස්කෝලේ නොගියත් මොන හේතුවකටවත් පන්ති යන එකනම් නැවැත්තුවේ නැ . මොකද මම ගියේ පිරිමි ඉස්කොලේකට   නිසා කෑල්ල හම්බෙන්න අනිවා class යන්නම වෙනවා.
             ඉඳල හිටලා ඉතින් ඔය කොහේ හරි ට්‍රිප් එකක් ගියොත් මිසක් අපිට සති අන්තේ කතා කරන්න යන්න තිබ්බ ලේසිම, ලාබම තැන  තමයි මහ රැජිනගේ මල් වත්ත. සමහර දවස් වලට උදේ   8-10 class ඉවර උනාම ආය class හවස 2-4 තමයි තියෙන්නේ. එතකන් දවල්ට ගේන කෑම එක කාල Chat එකක දාගෙන ඉන්න හොඳම තැන තමයි ඔතන. ඒ දවස් වල ඕක ඇතුලට යන්න ගන්න තිබ්බ ටිකට් එක රු 5/= යි. ටිකට් එකත් අරන් එළියේ කඩේකින් කඩල, ටිපි ටිප්, අයිස් ක්‍රීම් වගේ දෙයකුත් අරන් ඇතුලට යනවා. ඒ කරලා කොහේ හරි මුල්ලක තියන බංකුවක හරි බැම්මක හරි ඉඳගෙන කයිය ගහන එක තමයි වැඩේ ඔය අතරේ ඔය පොඩි පොඩි උම්මා එහෙමත් හුවමාරු වෙනවා.


ඔය පාර්ක් එකේ හිටියා සිකුරිටි සෙට් එකක්  මහ එපා කරපු එවුන් ටිකක් මුන් විසිල් එකකුත් අතේ තියාගෙන පාර්ක් එක පුරාම ඇවිදින එක තමයි වැඩේ බැරි වෙලාවත් කපල් එකක් කරට අතදාගෙන තුරුළු වෙලා හිටියොත් ඉවරම තමා. විසිල් එක ගහලා අනිත් අය ගෙන්නලා ජෝඩුව කොහොම හරි එලියට දානවා.
          උන් නිකන් හිටියේ ඒ වයස උන් පහුකරලා අපු නැති එවුන් වගේ. මට මේකට මල පැනලා හිටියේ එත් කරන්න දෙයක් නෑ යන්න තියන එකම තැන මෙතන විතරනේ. ඔය Park එකේ මම හැමදාම ගියොත් ඉන්න තැනක් තියනවා  එතන වෙන කවුරුත් හිටියේ නැත්නම්  මම එතනම තමයි ඉන්නේ.


දවසක් අපි දෙන්න කුඩේකුත් ඉහලාගෙන ඔතන ඉඳගෙන ඉද්දි මට ඇහුන විසිල් සද්දයක් මම ගණන් ගත්තේ නැ.  මෙන්න බොලේ මේ මීහරකෙක් එකපාරට මෙතනට කඩා පැනලා කුඩෙත් ඇදලා විසිකරලා මට ලෙඩේ අදිනවා. මට මල පැන්නේ පොකුරු පොකුරු. අන්තිමට මුන් පොලිසියට call කරන්න ලැස්ති. පොලිසි  ගියත් වැඩේ ලෙඩේ වන නිසා මම උපක්‍රම ශීලීව පසු බැස්ස. හිටපන් දෙන්නම් ජම්බු කියල හිත හද්දගෙන කෙන්න්තියෙන් පුපුරා   පුපුරා   අවා එලියට.


මම දැන් කල්පනා කරන්නෙම මුන් කරපු මේ වැඩේට ගේමක් දෙන්නේ කොහොමද කියලා. නින්ද යන්නෙත් නැ කන දෙයක් ඇඟට අල්ලන්නෙත්  නැ මට කරපු අපහසෙමයි මතක් වෙන්නේ. ඒ මදිවට කෙල්ල එන්නෙත් නැ කොහෙවත් යන්න. අයි අප්පා විලිලජ්ජහවේ පන ගියානේ එදා. කොහොම හරි මාස දෙකක් විතර ගියා මොනවත් කරන්න හම්බුනේ නැ. දැන් ආපහු ඔක්කොම කූල් . අයෙත් අපි දෙන්න පාර්ක් එකට යන්න ගත්තා. කොහොම උනත් ඇම්ගේ තරහ අඩු වෙලා තිබුනේ නෑ. ඔහොම ඉන්නකොට එක දවසක් අවා මරු අයිඩියා එකක්.


එක දවසක් පන්තියේ කොල්ලෝ සෙට් එකටම මම කීව අද මම ගානේ පොඩි පාර්ටි  එකක් දෙනවා ඔක්කොම වරෙල්ල පාර්ක් එකට කියල. අපේ එවුනුත් කන්න දෙනවනම් කොන්ක්‍රීට් හරි කන එවුන්නේ සෙට් එකම ආවේ නැතැ පාර්ක් එකට


 මම හෙමීට කෑල්ලත්  එක්ක වෙනදා වගේම ආව පාර්ක් එකට. ඇවිත් පුරුදු තැනම ඉඳගත්ත. මගෙත් එක්ක බෝඩිමේ එකට ඉන්න එකාට සල්ලි දීල කොල්ලන්ට කන්න අරන් දීල කරන්න ඕන වැඩේ කියලා තිබ්බේ.


උන් දැන් ඇවිත් එක එක තැන් වල සෙට් වෙලා ඉන්නවා.
මම හෙමීට මගේ කෙල්ලව මගේ රූමාගේ  කෙල්ල ඉන්න තැනට යවලා රූමා මම ඉන්න තැනට ගෙන්න ගත්ත.


දැන් අපි දෙන්න වෙනද අපි කපල් එක ඉන්න තැන ඉඳගෙන ඉන්නවා කරට අත දාගෙන කුඩේකුත් ඉහලාගෙන හොඳටම ගුලි වෙලා.


හිතුව  හරි මෙන්න බොලේ අර සිකුරුට්ටා කෙළගෙන එනවා අපි ඉන්න තැනට ඒ විතරක්නම් මදැ     මු විසිල් එකත් ගහගෙන ඇත ඉඳලම කැ ගහගෙන එනවා " මම එදත් කීවනේ තමුසෙලා දෙන්නට මේක මඟුල් නටන තැනක් නෙවේ කියලා. අදනම් තමුසෙලා දෙන්න යවනවා පොලීසියටම. තමුසෙලාට සැරයක් කීවහම සිංහල තේරෙන්නේ නැනේ. " කියල.


අපි දෙන්න කිසි සද්දයක් නැ කරට අත දාගෙන පාඩුවේ ඉඳගෙන ඉන්නවා. මෙන්න බොලේ මු අපු ගමන් කුඩේ ඇදල විසි කරා. මලා යකෝ කුඩේ ඇතුලේ කොල්ලෝ දෙන්නෙක් මුට කට උත්තර නැ. අපි දෙන්නත් ඒ දවස්වල ඉඳන් යෝදයෝ වගේ තමා පෙනුම. දෙන්නම නැගිට්ට නැගිටලා දැන් ගේම ඉල්ලනවා. අපි අහනව අයි කොල්ලෝ දෙන්නෙකුට එක ළඟ ඉඳගෙන ඉන්න බැරිද.


සික්කට කරගන්න දෙයක් නැ.
උගේ සපෝර්ට් එකට අපු අනිත් එවුන්ටත් කට උත්තර නැ. මෙන්න බොලේ එතකොටම හතර වටෙන්ම එනවා එල හූ වක්. අප දෙන්නටත් ෆිට්. අපි ඉතින් දැන් කොක්කටම ටම සෙට් වෙන්නේ. ඒ දවස්වල තිබුන උනේ හැටියට ගහගන්නවා ගුටිකනව කියන්නේ මේ කනවා නිදාගන්නවා වගේ සරල දේවල්නේ.


කොහොමහරි එදා මුළු පාර්ක්  එකේම හිටපු ඔක්කොම ඇවිත් මෙතනට. හැමෝම බනිනවා සික්කන්ට මොකද ඔක්කොම කොල්ලෝ කෙල්ලෝ තමයි හිටියේ. (ඇත්තටම මේ පාර්ක් එකට කපල් ඇරෙන්න නිකන් මිනිස්සු   එනවා හරිම අඩුයි.)   සික්කෝ ටික කරබාගෙන අකුලාගෙන ගියා. අපිත් ඉතින් වීරයෝ වගේ පොඩි සද්ද ටිකක් දාල අපහු calss  ගියා. හැබැයි එදා ඉඳල පාර්ක් එකට ගියහම ටිකක් පිළිවෙලට තමයි හිටියේ. ඒ වගේම සික්කන්ගේ තිබුන කරදරෙත් ටිකක් විතර අඩු උනා. දැන්නම් මතක් වෙනකොටත් හිනා.



Monday, October 17, 2011

නොබැඳි ජාතීන්ගේ දැනගැනීම සඳහායි





මිනිසෙකු පරිපුරන මිනිසෙකු වීමට නම් ගසක් සිටු වීමත් ,දරුවකු හැදීමත්, පොතක් ලිවීමත් කලයුතු යයි චීන කියමනක් ඇත. නමුත් කසාද බැඳිය යුතුයැයි කියා නැත. එක පාරට මෙහෙම හිතුනේ මට පොඩි නිවාඩුවක් ලැබුණු නිසාය. කොලේ බැන්ද හරකා සේ උදේ වැඩටත් හවස ගෙදරටත් දින චරියාවේ එල්ලී සිටි මට එක  දිනක් සම්පුර්ණ යෙන් නිදහසේ ගත කිරීම‍ට ලැබුණු සතුටෙන් උද්දාමය ට පත් වී  මෙසේ ලිවීමට සිතුනේ. එදින ඇසුව සින්දුවක් නිසාමය. බොහෝ වාර ගණනක් මේ ය මීට පෙර අසා ඇති නමුත් එහි අර්ථය පිලිබඳ මා එතරම් සැලකිලිමත් නොවුනෙමි. නමුත් අද දිනයේ මනෝ පාරක් ගහගෙන ඉන්න විට මෙය ඇසීමේදී මට නැවත අතීතයට යාමට පුළුවන් වූ නිසා නොබැඳි ජාතින් කෙරේ අනුකම්පාවෙන් මෙසේ ලියා සිටිමි. සමහරුන්ට ඇසීමේ දෝෂ ඇති නිසා,  කියවා බැලීමටත්, නොතේරෙන යමක් ඇත්නම් එය තේරුම් කර ගැනීමටත් මට ඇසුණු ලෙස සින්දුව ඔන්න පහලින් ලීවෙමි. කසාද නොබැන්දෝ වෙත ඊරිසියා කිරීමෙන් පලක් නැත.( වාසනාවට ගෙදර උන්දෑට කොම්පීතරේ ගැන මල පොතේ අකුරක් බැරිය).   සෙනසුරු අපලය ලැබුවදා විෂ්ණු දෙවියොත් බට කොළ කෑවානම් අපි වැනි නරයන් ගැන කවර කතාද. (ඇඩෙනවා අප්පා)

සින්දුව ගන්න මෙතනින්





එක යායේ කකාවැටි- එකා වගේ එකට හිටී 
එක පවුලේ උපන් ලෙසේ කල ආරක්සා ...
නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු 
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා....

ගෙට ආ කල ටිකිරිලියා - නුඹ වේවිලු කබර ගොයා
ලිඳට ගියත් අවසරයක් ගන්නට වෙවී 
දල ගලවා අතේ තියා - නුඹ නටවයි ඒ ළමයා 
පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීති .......

වලට වැටුණු එකා යකා - වලටම ඇද ගනු මිසකා 
වලෙන් උඩට එන්නට ඇත දෙන්නට කැමති 
නැදැ හිතවතෙකු නැති - ඒ ගැන හිතුවොත් යෙහෙකි 
කසාදෙනම් කසාය  හරි තිත්ත බෙහෙතකී ....

(ගායනය : සුනිල් එදිරිසිංහ සමග බන්දුල විජේවීර )

පළමු කොටසින් කියන හරිය ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිය. එතනදී  නාඹර වස්සා.... යයි කීවේ කරන්න යන හරක් වැඩේ ගැන හිතා නොවන බව දැනගත යුතුය. තරුණ වස්සෙක් යනු නිදහස උපරිමයට බුක්ති විඳින්නෙකි ඕනෑම හුඹහකට ඇනිමටත්, ඕනෑම වත්තකට පැනීමටත් දෙවරක් හිතන්නේ  නැත. සියලු සෙල්ලම් ඉවර වන්නේ ටිකිරිලියා  ගෙට ආ පසුය එතෙක් ගෙදර සියලු දෙනාට තරුණ කමේ දල පෙන්වමින් නයකු සේ සිටින්නා නිකම්ම නිකම් කබරයකු බවට පත්වේ. මෙතනදී කබරයා කිවේ ඕනෑම දෙයකට ඔරොත්තු දෙන විදිහට හැදෙන බව කීමටය. කබරයාගේ හම රළුය ඕනෑම ජරාවක් කෑමට හැකිය, කොච්චර ගැහුවත් නොදැනෙන ලෙසට මාරු වී යාමේ හැකියාව හොඳින්  ඇත.  නැ හිත මිතුරන් කොපමණ මේ වලේ වැටුනත් උඩ ඉන්න අය‍ට කිසිදින වලට පනින්න  එපා යයි කියන්නේ නැත        
එකට හේතුව මේකය කසාදෙ තිත්ත උනත් කසාය වැනි බෙහෙතකි. අමාරුවෙන් හරි බී ඉවසා සිටින්නෝ අවසානයේ සුවපත් වෙන්නෝය. 

තව දෙයක් කිව යුතුය සාර්ථක විවාහ ජීවිතයකට මා දෙන උපදෙසනම් එක්කෝ ඔබ බිහිරි විය යුතුය නැතිනම් බිරිඳ ගොළු විය යුතුය.  



Sunday, October 9, 2011

රජ කාලේ sex කතා - අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි

වයස හරිනම් කියවලාම යන්න 






ඔන්න හැමදාම එක එක්කනාට මඩ ගහ ගහ ඉන්නේ නැතුව හිනාවෙන්න පුළුවන් දෙයක් ගෙනාවා . මට නම් මේක අහනකොට හිනා ගියා එත් කියවනකොට හිනා යයිද කියල මම දන්නේ නෑ. හිනා යන්නේ නැත්නම් ඉතින් විලාප දීල අඬන්න වෙන ඉතින් අහවල් දෙයක් කරන්නද ?

මේක මේ රජ කාලේ කතන්දරයක්. බනින නම් එපා කුණුහරුප කියනවා කියල මේකෙන් කියන දේ හරියට තේරුම් ගන්න බලන්න. සමහරු නම් දැනටමත් අහල ඇති.  ඔන්න එහෙනම් මේකයි කතාව. 

හැමෝම දන්නවනේ අද වගේම එදා හිටිය රජවරුන්නටත් හිටිය කවටයෙක් කියල කෙනෙක් . හැබයි අද වගේ නෙවේ එදා හිටිය රජවරුන්න්ට හිටියේ එක කවටයි. අර හැම කතාවකම හිටිය බ්‍රහ්මදත්ත රජතුමා වගේ හැම රජතුමෙකුටම හිටිය මේ කවටයට කිවේ අන්දරේ කියල.මම හිතන්නේ මේ අන්දරේ කියන්නේ තනතුරක් කියලයි. කොහොම උනත් අන්දරේගේ ප්‍රධාන  ඩියුටි එක තමයි රජතුමා අන්දන එක. රජ තුමාත් ඉතින් ඇඳගන්න බලා ගෙන හිටියේ. ඔන්න දවස රජ තුමත් අන්න්දරෙත් අතර මෙන්න මෙහෙම කතා බහක් ඇතිවෙනවා. 

ර :- අන්දරේ මම හිතා ගෙන ඉන්නේ අද නිවාඩු දවසක් නිසා පොඩ්ඩක් ඇවිදින්න යන්න. අපේ බිසවුන් වහන්සේත් මට ටික දවසක ඉඳලා කරදර කරනවා නගරය පැත්තේ  යන්න ඕන කියලා. අද මම හිතාගෙන ඉන්නේ රාජකීය උයන මැදින් නගරයට යනකම් ඇවිදගෙන යන්න ඒ හැටි දුරකුත්  නැ නොවැ.
අ :- එහෙමයිදෙවයන් වහන්ස. ඉඳල හිටලා හරි ඔබතුමා  ඔය විදිහට ඇවිදින්න යන එකනම් ඔබ තුමාගේ සරීර සනීපයට ඉතාම යහපත්. එහෙනම් ඔබ වහන්සේ අද දේවියත් එක්ක ඇවිදින්න යන්න. මමත් ගෙදර ගිහින් නිවාඩු දවසේ නාල කාල ටිකක් විවේකිව ඉන්නම්.
ර :- හොඳයි අන්දරේ අපිත්  දැන් පිටත් වෙනවා අන්දරේටත් අපිත්  එක්කම ගියහැකි. ඔය එන්නේ දේවියත් ලැස්ති වෙලා. 
අ :- (ශා.. අදනම් දේවිය නිකන් ගින්දර වගේ. මේ යකා ඕක මම ගන්න යනකොටම පැහැර ගත්තනේ. තාමත් ඔකිගේ හිතේ තියෙන්නේ මම ගැනම තමයි. දවස් කීයක් මම එනකොට  අන්තහ්පුරේ කවුළුවෙන් බලාගෙන හිටියද ? කොහෙද කුඹයෙකුටවත් ඕකට රිංගන්න පුළුවන්ය යන්න එන්න තියන එකම පාර තියෙන්නෙත් මේ යකාගේ කාමරේ ලගින්. නාකි වෙලත් තාම කාම තණ්හාව නම් අඩු නැ. )
දේ :- (මේ නාකියත් එක්ක දීග යන්න උනේ මගේ කරුමෙටද කොහෙද ? අන්දරේ මොන තරම් හැඩද ?මේ මෝඩයත් ටැක් ගැහි ගැහී හිටිය නේ ඉක්මන් උනානම් මෙලහටත් මම අන්දරෙගේනේ . මගේම කරුමේ )
..........
ර :- අන්දරේ මම හිතාගෙන ඉන්නේ මේ උයනට තව පොකුණක් ඉදි කරන්න අර කෙලවරේ තියන කොස්  ගස් ටික කපලා එතන හැදුවොත් හොඳයි  කියල හිතෙනවා. ඒ හරිය හොඳටම කැලා වෙලා. කෝ මේ උයන් පල්ලෝ .
අ :- අද නිවාඩු දවස හින්ඳ උයන් පල්ලෝ නැ රජතුමනි . කොහොමටත් මුන්ගෙන් වැඩක් හරියට කරගන්න නම් හැම වෙලේම හොයලා බලන්න ඕන.
..........
දේ :- අප්පේ මොකක්ද මේ එන සුවඳ ?
ර :- මටත් දැනුන. හැබැටම අන්දරේ මොකක්ද මේ සුවඳ ?
අ :- මේකනම් වරකා ගෙඩියක සුවඳ. අනිවාර්යෙන් අර පැණි වරකා ගහේ  ගෙඩියක් ඉදිලා සතෙක් කනවා ඇති. මම හිතන්නේ අපේ කිරිඅත්ත මැරුම් කන්න ගියේ ඔය ඔය ගහේ වරකා කලා වෙන්න ඕන.
අ :- අර තියෙන්නේ මම කිවේ මේ ගහේ වරකා තරම් රස වරකා මම හිතන්නේ රටේ වෙන කොහෙවත් නැ කියල. මේ වරකා පැල ටික ඔබ තුමාගේ මී මුත්තට බ්‍රහ්මදත්ත රජතුමනේ එවුවේ. අපේ කරුමෙට ඒ ගෙඩිය තියෙන්නේ ලේසියෙන් කඩන්න පුළුවන් තැනක නෙවේ. ඒ මදිවට මොකෙක් හරි සතෙක් එක කන්න අරන් වගේ.
ර :- අන්දරේ කොහොමද මේ වරකා ගෙඩිය කඩන්නේ . අපි නගරයට ගිහින් එනකොට මේක සත්තු කාල තියෙයි . බලන්න ලඟපාත කවුරු හරි ඉන්නවද කියලා. 
අ:- ඔහේ නෑ රජතුමනි අද නිවාඩු දවස හින්දා කිසිම කෙනෙක් පෙන්න නැ . හිටියත් ගහකට යවන්න තිය පයින් යන්නවත් පුළුවන් විදිහට අද ඉන්නේ නැ.ඔක්කොම එවුන් කන සාක්කුවේ දමාගෙන ඇති. 
දේ :- අපරාදේ මගේ කටට කෙලත් ඉනුවා මේ සුවඳට. රස දෙයක් කන්න පින නැ නේ මට. 
අ :- දේවිය මේ කියන්නේ වරකා ගැනද ? නත්නම්ම්ම්ම්ම් ....
අ :- කමක් නැ රජතුමනි දේවියත් කියන නිසා මම කොහොම හරි වරකා ගෙඩිය කඩලා දෙන්න බලන්නම්. කාලෙකින් ගහකට නැග්ගේත් නැ.දැන් පුරුදුත් නැ වගේ. 
..........
දේ :-  අනේ අන්දරේ පරෙස්සමෙන්.
..........
අ:- හී.. හී ... හී .........හු ....හ .....හ ....හ @ ...!
ර :- මොකද අන්දරේ පිස්සු හැදිලා වගේ හිනාවෙන්නේ. ගහට නැග්ගම තමුසෙට මොකක්ද හැදුන පිස්සුව.
අ:- හී.. හී ... හී .........හු ....හ .....හ ....හ @ ...!
ර :- කතා  කරනවා මිනිහෝ.
අ:- රජතුමනි ...හී.. හී ... හී .........හු ....හ .....හ ....හ @ ...!
ර:- පිස්සුද ඔයි මොකද තමුසෙට උනේ කතා කරනවා මගේ යකා අවුස්සන්නේ  නැතිව.
අ:- රජතුමනි හී.. හී ... හී .........හු ....හ .....හ ....හ කියන්නේ කොහොමද අප්පා. හි ..හී මට ලැජ්ජයි හි හි 
ර :- අන්දරේ මට යකා නග්ගවන්නේ නැතිව කියනවා මොකද උනේ කියල.
අ :- රජ තුමනි
ර :- ඔවු ඉතින් 
අ:- රජතුමනි හි.. හී .අනේ මන්ද කොහොම කියන්නද අප්පා හි .....හී .....
අ :- රජතුමනි මට පේනවා ..හි...හී.. මට පේනවා ඔබතුමා.....
ර :- ඔවු ඉතින් මම 
අ:- ඔබතුමා .....ඔබතුමා හි..හි.. සිරියහන් ගබඩාවේ කරන වැඩ දේවියත් එක්ක මෙතන කරනවා .....හී හී .........
ර:- අන්දරේ තමුසෙට ඔල්මාදෙද. මම මේ හිටිය වගේ ඉන්නේ. මේ උයන මැද. පිස්සුද තමුසෙට. 
අ:- දෙයියම් පල්ලා රජතුමනි මෙතනට ආපුවම මට පේනවා හි..හී හී .........
ර:- මොකාක්ද තමුසේ කියන්නේ . බහිනවා ඉක්මනට . බහිනවා ... මට බලන්න ඕන මේ කියන එකේ ඇත්ත නැත්ත. හැබයි බොරුවක් කියල තිබුනොත් ....දන්නවනේ රාජ උදහස.
අ :- හා ඔබතුමාම  නැගල බලන්න හි හී 
...........
ර:- හි...හී ...හූ ....හූ ...හී ..හී @....# ...!
අ:- ඇයි රජතුමනි ඔබතුමා හිනාවෙන්නේ 
ර:- හි...හී ...හූ ....හූ ...හී ..හී @....# ...! මාරයි බන් හි.. හී 
අ:- ඇයි රජතුමනි මොකාක්ද ඔබතුමා දැක්කේ 
ර :- හි..හී අනේ බන් උඹ ....උඹ අපේ දේවියත් එක්ක හී ...හී 
අ :- ඉතින් මොකක්ද මම දේවියත් එක්ක..
ර :-හී...හී...හි උඹ දේවියත් එක්ක ....හි ...හි....හීඉ මට ලැජ්ජයි බන්...හි...හී .. උඹ දැකපු දේම තමයි 

ඉතුරු ටික කිවන්නා සතුය. 
ඇනුම් බැනුම් ගල් මල් පහතින්  දමල යන්න තව මොනවා හරි ලියන්න හිතෙන්නේ එතකොට  තමයි.

Thursday, October 6, 2011

ශ්‍රී ලංකාවේ පිහිටි ලොව ලොකුම හෝරාස්ථම්භය


මේ කතාව කිවුව ගමන් හැමෝම පිළිගන්න එකක් නැ මේක ඇත්ත කියල. නමුත් ළමයිනේ අපි නොදන්නා කොච්චර දේවල් තියනවද ? අපේ මේ සිරි ලංකාවේ .
                              මේක පිහිටලා තිබුනේ මම මේ දවස් ටිකේම පොස්ට් ලියල විස්තර කරන, මම නිතරම ඉන්න රම්‍ය පුරවරය වන රඹුක්කනම තමයි. මේක හැදුවේ අපේ රටේ හැම නගරයකම ස්ථම්භ කෙලින් කරපු ආර්. ප්‍රේමදාස මැතිතුමාම තමයි. හැබැයි එයා හැදුවෙනම් මේක ලෝකේ ලොකුම එක වෙයි කියල හිතල නෙවෙයි. එයා ජීවත්ව ඉන්න කාලේ මේක එච්චර ලොකුවට තිබුනේ නැ. නමුත් එතුමා නැති උනා විතරයි මේක ටික ටික ලොකුවෙන්න ගත්තා. මේක ලෝක පුදුම වලට එකතු නොවුණු එකත් පුදුමයක් තමයි. නැත්තම් මොන රටේද ඉබේම ලොකුවෙන ඔරලෝසු කණුවක් තිබ්බේ මම අහන්නේ.  මම දන්නවා තවම  ඔහේලා හිතන්නේ මම මුසාවාදයක් කියනව කියලනේ. 

               ඔන්න පිලිගන්නවනම් පිළිගන්න මෙන්න මෙහෙමයි ඕක සිද්ද උනේ. ප්‍රේමදාස මහත්තයා  මැරිලා ටික දවසක් යනකොට ඔන්න ඔය කණුවේ එක මුනතක  ඉඳල අනිකට යන්න  විනාඩි 30 විතර ගත උනා. ඕක දවසින් දවස ටික ටික  වැඩිවෙලා එක මුනත්ක ඉඳලා අනිත් මුනතට යන්න පැය 12 කට වැඩිය ගත උනා. හැබයි කොහොම උනාද මම දන්නේ නැ මේක සමමිතික විදිහකට නෙවේ උනේ ඔන්න. සමහර මුණක ඉඳල අනිකට යනකොට පැය 6 විතර වෙනස් උනත් අනිත් මුනත්ට යනකොට පැය 10 -12 විතර වෙනස් උනා. Big Ben Abraj_Al_Bait_Towers වගේ ඔරලෝසු කණු මොන Big ද . ඔය කොයි කනුව වටේ ගිහින් වෙලාව බැලුවත්  එකම වෙලාවක් තියෙන්නේ .ඕනෑම  කණුවක් වටේ යන්න  විනාඩි 5-10 යයි හෙමින්ම ගියත්. මේ කනුව ඒ වගේද කිසිම ජගතෙකුට බැ මේ කනුව වටේ යන්න විනාඩි 5 -10 කින්. හා ඉතින් ඔහෙලට කියන්න පුලුවන්ද මේක ලෝකේ ලොකුම ඔරලෝසු කනුව නෙවෙයි කියල. 

හැබැයි කණගාටුවෙන් උනත්  කියන්න ඕන ජාත්‍යන්තර  කුමන්ත්‍රණයක් නිසා කොහොම හරි Dialog ආයතනය මේ කනුව Digital කරන්න කියලා භාර අරගෙන මේක අපහු ඉස්සරලම හදල තිබ්බ ගානට පුංචි කරා. ඊට පස්සේ මේක වටේ යන්න තප්පර 2 ක් වත් ගියේ නැ. ඒ දවස් වල කොයි මුහුණත බැලුවත් එකම වෙලාව. (මම නම් කියන්නේ ජාත්‍යන්තර ප්‍රජාව මේ බහුජාතික සමාගම් එක්ක එකතු වෙලා අපේ රටේ කිර්තිය නැති  කරන්න කරන මේ කුමන්ත්‍රණ පරාජය කරන්න ඕන.) ඔන්න බලන්න ඔය වගේ නොහොබිනා වැඩ සොභාව ධර්මයා පවා අනුමත කරන්නේ නැ. Dialog ආයතනය ඕක හදලා මාස 3-4 විතර යනකොට ගැහුවා අකුණක් ඔක්කොම පිච්චිලා යන්න. දැන් එක මුනකවත් කිසිම වෙලාවක් නැ.

මේ  සිදුවීම හින්දා රඹුක්කන නගරයේ ජනගහනය හොඳටම වැඩි උනා. හදිසි අනතුරකින් මිසක් වයසට ගිහින් කිසිම මිනිහෙක් මරුනේ නැ. කොහොම වයසට යන්නද අප්පා වෙලාව යන්නේ නැතුව.  ඔහේලා මගෙන් අහයි " වෙලාව යන්නේ නැතිනම් කොහොමද ඔයි ජනගහනය වැඩි උනේ ළමයි හම්මේබෙන්න විදිහකුත් නැනේ " කියලා. ළමයි හම්බෙලා නෙවෙයි ජනගහනය වැඩි උනේ මේ වයසට නොයන එක ආරංචි උනාට පස්සේ අවට ගම්වල මිනිස්සු ඇවිත් පදිංචි වෙලා. දැන් රඹුක්කන ඉඩම් එහෙම හරි ගනන්. බොරුවක් කියනවනම් ඔන්න පහල තියෙන පොටෝ බලන්නකෝ ඕවා.





ඔන්න වෙලාව ගැන කියනකොට අමතක කරන්නම බැරි කෙනෙක් නිසයි මේ පින්තුරේ  දැම්මේ.පුරුස දහිරිය අතට අරන් ග්‍රීනිච් මද්දයාහන රේකාවටත් මෙතුමිය අභියෝග කළා නොවැ. 





එහෙනම් ඉතින් ඔන්න නැවැත්තුව ඇ ..... 

Tuesday, October 4, 2011

අකුරු බැරිද ? ඇමතිතුමා


වැදූ මවටත් අහසටත් නොමැත නිවනක් කිව වගේ. මොකා මොන වැරැද්ද කරත් බැණුම අහන්න වෙන්නේ විෂය බාර ඇමති තුමාට. එකෙත් වැරද්දක් නෑ ඉතින් මොකද කරන්න පුළුවන් කියලනේ බාර ගන්නේ. 

ඔන්න ඔය තියෙන්නේ මේ ඊයේ පෙරේද පීලි උඩට දාපු අලුත් කෝච්චියක ගහල තිබුන ස්ටිකර් එකක තත්වය. මම හිතන්නේ මේවා ප්‍රින්ට් කරන්නේ ල.දු.දේ  නෙවේ. මොකක් හරි printing ෂොප් එකකින් තමයි ප්‍රින්ට් කර ගන්න ඇත්තේ. හැබැයි මේක අලවන්න කලින් කියවල බලන්න අකුරු දන්නා එකෙක් දුම්රිය දෙපාර්තු මෙන්තුවේ හිටියේ නැද්ද කියල හිතෙනවා. ඇමැතිතුමාත් බොහොම ආඩම්බරයෙන් මේ දුම්රියේ මංගල ගමන ගියා කියල අපි දැක්ක. එතුමාටත් මේක කියව ගන්න බැරි උනාද ?.
 සුද්දගේ කාලේ ගෙනාපු කොච්චි වලත් " ල . දු.  දේ " කියල අකුරක් වත් වරද්දන්නෙ නැතුව  හැම කොටසකම ලියලා තිබුණ. ඒ විතරක්ය " හදිසියක් නම් දම්වැල අදිනු නිකරුනේ ඇත්දොත් ශත 20 ක්  දඩ " වගේ බෙලෙක් තහඩුවේ කොටපු දැන්වීම් නියම අක්ෂර වින්‍යාසයෙන් ලස්සන අකුරෙන් කොටලා තිබ්බ හැටි මතකයි.

  හැබැයි මට මතකයි ඔය වගේ පොඩි දේවල් පවා හොඳින් පෙනුණු නායකයෙක් අපිට හිටිය ඒ වෙන කවුරුවත් නෙවේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. මේක නම් පොඩි දෙයක් තමයි  එත් මම හිතන්නේ මේක printing shop එකකින් පරිත්‍යාග කරපු ස්ටිකර් වගයක් නෙවේ. කොච්චි ගොඩක අලවන්න ප්‍රින්ට් කරපු ස්ටිකර් තොගයට ගියා ගාන පොඩි නැතුව ඇති නේද. කොහොම උනත් මේක බාර ගත්ත නිලධාරියා  (ප්‍රින්ට් කරන වැඩේ බාර දුන්නට Printing ෂොප් එකෙන් කොමිස් එකක්වත්  ගත්ත  නැති හි... හි.. )
 තමන්ට මොනවා හරී මිලදී ගත්දිත් මෙහෙමද දන්නේ නැ අරගෙන යන්නේ. අඩුම තරමේ මේක type කරන්න හොඳ Font එකක් වත් මුන්ට තිබුනේ නැද්ද. අකුරු එක එක size ෆොන්ට් එකක් කොහෙන් හොයා ගත්තද මන්දා. අනිත් භෂා ගැන මට ලොකු දැනුමක් නැතිනිසා ඒවගේ මොනවා තියනවද කියල දන්නේ නැ . දන්නා කෙනෙක් ඉන්නවා නම් කොමෙන්ටුවක් දාන්න . කියන්න තියෙන්නේ මෙච්චරයි පුලුවන්නම් හරියට කරපන් බැරිනම් නොකර හිටපන්.  

Monday, October 3, 2011

මාර්ග සැදීමේ අලුත්ම තාක්ෂණය

ලංකාවේ අපි අතිතයේ රජ දරුවන් කල කී  දැ පිළිබඳව පුරාජේරු කියන්නවුන් නොවෙමු. සෑම විටම අලුත් නිර්මාණ බිහි කරමින් ලොව පුරා ජනතාව විශ්මයට පත් කරමින් සිටින රටක් වෙමු. මේ අපගේ අලුත්ම මාර්ග සැදීමේ සහ නඩත්තු කිරීමේ තාක්ෂණයයි. තවම පේටන්ට් අයිතිය ලබා නොමැති නමුත් ලොව කොතනකවත් තවම මෙම  තාක්ෂණයයි බාවිතා කරනු ඇති බවට සාක්ෂි හමුවී නොමැත. අපගේ පැරණි ශිල්ප ක්‍රම බාවිතා කරමින් නුතන ක්‍රමය දිඋනු  කර ඇත. මතුරා ජීවම් කරන ලද වැලි මේ සඳහා යොදාගෙන ඇත. කොපමණ කැඩී බිඳී ගිය මාර්ගයක් උවද කම් නැත. කල යුත්තේ තුනී තාර තට්ටුවක් දමා එය මත මෙම මතුරන ලද වැලි අඟල් 1.5 පමණ තට්ටුවක් දැමීම පමණි. ඉන්පසු සති කීපයකින් වැලි ඉවත්  වී ගිය පසු මාර්ගය සෑදී ඇති අයුරු දැකිය හැක. පහත රුප මගින් ඔබට එය පැහැදිලි වනු ඇති.







 මෙම තාක්ෂණයේ පවතින ප්‍රධාන අවාසිය වන්නේ කොල්ලන්ගේ අතපය කැඩී යාමට ඇති හැකියාවයි. කෙල්ලත්, බල්ලාත්, වැල්ලත් බයිසිකල් පදින කොල්ලන්ට අන්තිම අපල බවත් තුනම එකම තැන හමු උනොත් අතපයක් කැඩීම අනිවාර්ය බවත්  අත්දැකීමෙන් මම දනිමි. මෙම රුප මගින් දැක්වෙන්නේ රඹුක්කන නගරයේ මහා දවල් ගත් චායාරුප  රැසකි. ඉර තදින් පාය ඇති විට සපත්තු සෙරෙප්පු මෙම මාර්ගයේ නිදන් වනු දැකිය හැකි නමුත් වේගයෙන් වාහන ගමන් කිරීමට නොහැකි වීම නිසා මගීන්ගේ ජිවිත සුරැකීම ගැන සිතීමේදී ඉහත අවාසිය නොසලකා හරිය හැක. එමේන්ම මෙහි අතුරු පලයක් ලෙස මාර්ගය සෑදු අයගේත් සබරගමු මහා ඇමති තුමාගේත් මවුපිය නෑද යන් හට නිවන් සුව ලැබෙනු ඇත. දහවල් 11 ත්  2 ත් අතර  මෙම මාර්ගයේ ගමන් කරන සියලු දෙනා  මවුපිය නෑද යන් හට පින් පමුනවනු දැකීම සිත් පහන් කරවන දසුනකි.