මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Showing posts with label කෑම. Show all posts
Showing posts with label කෑම. Show all posts

Sunday, May 26, 2013

මගේ හරක් මස් කෑමේ අයිතිය තහවුරු කරනු !

වෙසක් දවසට පස්සේ දවසේ මෙහෙම ලියන්න වෙන්නේ මගේම කරුමෙකටද නැත්තන් අවාසනාවකටද කියලා හිතා ගන්න බැරි උනත් මට හිතෙන හැටි  ලියන්නම ඕන. අද දවසම කරේ සිවුරක් දාගත්ත මෝඩයෙකුගේ  සිද්දියක් ගැන විස්තර කියවපු එකත් කොමෙන්ට් කරපු එකත්.  ඒ කරපු වැඩේට පක්ෂව විපක්ෂව දාල තිබ්බ අදහස් කියවනකොට මට හිතුනේ ඇත්තටම ලංකාව ගැන මම හිතාගෙන හිටිය චිත්‍රය මොන තරම් වැරදිද කියලා.

බුද්ධාගම, හින්දු ,මුස්ලිම් කතෝලික තව දන්නා නොදන්නා ඔක්කොම මික්ස් කරලා පත අට එක පතට හින්දා පෙරා දෙන මේ කසාය ගැහුවනම් ආය මේ ආත්මයේම නිවන් හරි ,ස්වර්ගයට හරි මොක්ෂයට හරි කොහෙට හරි යන්න තිබ්බා හිටගෙන තනි කකුලෙන්. මෙහෙමත් මිනිස්සු ඉන්න රටක් මේ තත්වයෙන් තියනවා කියලා දකින කොට අනේ අම්මපා බෝම්බයක් බැඳන් ගිහින් පනින හිතෙනවා පෙන්ටගනෙට හරි ධවල මන්දිරේට හරි ( මං  කැමති පාට සුදු පාට නෙවේ හින්දයි දියවන්නාව , අරලිය ගස් තියන ගේදර කියලා ලීවේ නැත්තේ ).

මෙතැනදී මට ලියන්න මොනවත් ඉතිරිවෙලා නැ හැමෝම ලියලා තිබුන නිසා අපුරුවට ආය  මම අහවල් එකක් ලියන්නද? ඒවා හැම එකක්ම කියවූවා විතරක් නෙවේ පුළු පුළුවන් විදිහට කොමෙන්ට් කරලත් ආවා. එත් ඉතින් මටත් ඔය කොච්චර කරත් හිල පොඩ්ඩක් ලොකු කරගත්තේ නැත්තන් නින්ද යන්නැති හින්දා ඕන්  මෙතනත් ලියලා දානවා. ඊට කලින් මෙන්න අද මගේ හිත ගත්ත පොස්ට් කීපයක් කියවපු නැති අයට  කියවන්න

රාජ්ගේ නවාතැන    ඉන්ද්‍රසාර ගිනි සහ ස්වර්ණවාහිනී 

w3ලංකා   හාමුදුරුවන්ගේ ගිනි තබා ගැනීම හා ස්වර්ණවාහිනිය රට ගිනි තැබීම

තහනම් වචනය අහෝ ඉන්දසාර හිමියනි! | The monk who burnt himself

සමකය වටේ ගව ඝාතනය නතරකරන ලෙස ඉල්ලා දළදා මැදුර අබියස දී හිමි නම සිරුරට ගිනි තියාගනි

මේ කිසිම ලිපියක් සමග මට ඇති ප්‍රශ්නයක් නැත නමුත් මේවාට දමා තිබු කොමෙන්ට් ගැන නම් ප්‍රශ්න ගොඩක් ඇති වූ නිසාමයි  මෙහෙම ලියන්න හිතුනේ. සමහර කොමෙන්ට් බොහොම ශිෂ්ටවත් සමහර කොමෙන්ට් බොහොම අශිෂ්ට විදිහටත් දාලා තිබුනේ තමාගේ මතය නිවැරදිම මතය කියලා තර්ක කරන්න. මට ඒ එක මඟුලකින්වත් වැඩක් නැත හාමුදුරුනමක් බැරිනම් පාදිලි කෙනෙක් ලෙබ්බේ කෙනෙක් පුසාරි කෙනෙක් ගිනිතියා ගත්තත් මට මොකෝ.  දැන් එතකොට අහයි එහෙනම් අහවල් මන්ගුලකටද යකෝ මේ පොස්ට් එකක් දාන්නේ කියලා. නෑ ..නැ  මේ මඟුල් ගිනි තියා  ගැනිල්ලත් එක්ක මටත්  ලොකු ප්‍රශ්නයක් තියනවා.    


ඒ තමයි ආගමික කරුණු කාරනා කෙසේ වෙතත් මස් කන්න කැමති සහ මස් කන්න අකැමති අය කියන මාතෘකා දෙක හින්දා ඇති වෙන ප්‍රශ්නය.  මොකද මම එකෙන්ම ඔය මස් කන්න කැමති කියන ගොඩට වැටෙන නිසා  මේක මට ලොකු ප්‍රශ්නයක්. බැලුවා බැලුවා හැම තැනම මොකෙක්වත් මේ ගැන කතා කරන්නේ නැති හින්දා ඔන්න මම තනියම සටනේ.


මම මට තේරෙන කාලේ ඉඳන් එක එක  ජාති වල යාළුවො ආශ්‍රය කළා. අපි ලෝකය මවපු එකක් ලෝකය ඉබේ හැදුනු දෙයක්  කියන මත දෙක වෙනුවෙන් කෙස් පැලෙන තර්ක කරා මරා ගත්තා එත් කවදාවත් හිතේ තරහක් තියා ගත්තේ නැ හැමදේම  එතනින් ඉවර කරලා එකට ප්ලේන්ටියයි බටෙකුයි ගහල විසිරිලා ගියා. කොහොම උනත් මම අදටත් ලෝකය කාගෙවත් මැවීමක් කියන එක පිළිගන්නේ නැ. ඒ හින්දා මේ තියන දේවල් වලට  අයිතිකාරයෙක් පාලකයෙක් කොහේ හරි අපිට පෙන්නේ නැති තැනකට වෙලා බලාගෙන ඉන්නවා කියන එක මට අදාළ දෙයක් නෙවේ.

ඒ වගේම කියන්න ඕන මගේ පොඩි කාලේ ඉඳන් මම සාමාන්‍යන්  මස් මාළු  ආහාරයට ගත්තා. ඒ වගේම මට කවදාවත් කිසිම මස් මාළුවක් නිසා වත් වෙනත් කෑමක් නිසා වත්  කිසිම ඇලජික් එකක් තිබුනේ නැ. දරුවන්ට තියන ආදරේ නිසාම  අපිව උස්මහත් කරන්න පුළු පුළුවන් හැම වෙලාවකම මස් මාළු පලතුරු වගේ දේවල් අපේ තාත්ත අපිට ගෙනත් දුන්න. ඒ හින්දමද මන්දා ප්‍රදාන ආහාර වෙල් වලට මොනවා හරි මසක් මාළුවක් ගන්න  එක පුරුද්දක් හැටියට අදත් මට තියෙන්නේ. මගේ මේ තොරා  බේරා ආහාර නොගැනීමේ පුරුද්ද හින්දා ගොඩක් අවස්ථාවල මගේ සමහර යාළුවො අපහසුතාවයට පත් වෙන තැන්  වලදීත් මට කිසි අපහසුවක් නැතිව ඉන්න පුළුවන් උනා වගේම මට බඩගින්නේ ඉන්න උනේ නැ. කොටින්ම මම කන විදිහට උයලා පිහලා දෙනවනම් මම ඕවගේ වන්සයක් වර්ගයක් හොයන්නේ නැ. මිනිස්සු කන මට හානියක් නොවෙන ඕන දෙයක් මමත් කනවා. 

එත් යකෝ මෙන්න මට මගේ ගැනවත් නොතිබුන ප්‍රශ්නයක් මේ මස් කන්නේ නැති එවුන් හදලා. ඒ විතරක් නෙවේ එක සභාසම්මත කරන්න තර්ක විතර්ක ඕන තරම්. ඔය ඉහල තියන පොස්ට් වල කොමෙන්ට් බැලුවනම් තේරෙයි මොනතරම් නම් ට්‍රයි එකක් දෙනවද කියලා.

මම කියන්නේ නැ  නිර්මාංශවාදීන්ට   අයිතියක් නැ  කියලා තමන්ගේ මතය වෙනුවෙන් පෙනී ඉන්න. මට මස් මාංස  කන්න   තියන අයිතියම තව කෙනෙකුට එක නොකා ඉන්න තියෙනවා.

 එහෙනම් මොන මඟුලක්ද?.

මඟුල තමයි  අර ගිනි තියා ගත්ත හරකා වගේ  බලහත් කාරෙන් තර්ජනාත්මකව තමන්ගේ මතය සමාජ ගත කරන්න හදන එක. ඒක  තමයි මට තියන ප්‍රශ්නය. ඔය වගේම එකෙක් කොළඹට ආසන්නයේ සියලු මස් වෙලඳ  සැලවල් වල ගව මස් වෙළඳාම තහනම් කරා කියලා ආරංචි තිබ්බ. ඇත්තද බොරුද දැනගන්න හම්බුනේ නැ.  නමුත් මට තියෙන ප්‍රශ්නේ එහෙම කරන්නේ කොහොමද මිනිසුන්ගේ සිතුම් පැතුම් ආශාවන් උන්ගේ අම්මගේ අප්පාගේ බුදලේ වගේ ඕන ඕන විදහට වෙනස් කරන්න පුලුවන්ද ?.

 මෙතැනදී මට ආගමික කාරනා වැඩක් නැ. මොකද මම ඉපදුනේ ආගමක් එක්ක නෙවේ අනික මම දැනට අදහන ආගමත් මම හොයා ගත්ත, මට ඕනවට ගත්ත දෙයක් නෙවේ.  දෙමවුපියන්ගේන් ලැබුන අනිත් දේවල් වගේම එකත් මම පිලිගන්නවා මට පුළුවන් තරමින් ආරක්ෂා කරනවා. පරම්පරවෙන් ලැබුනා කියලා මට පිළිගන්න බැරි දෙයක් නම් මම එක   උස්සගෙන ඉන්න යන්නේ නැ. ලෝකෙටම වැරදි උනත් මගේ හිතට හරි කියනදේ කරන්න හැම වෙලාවේම මම උත්සාහා ගන්නවා. හලාල් ප්‍රශ්නෙදි හලාල් අනවශ්‍යයි කියන මතය වෙනුවෙන් මම පෙනී හිටියා.  මට තිබ්බ ප්‍රශ්නේ ජාති, ආගම්   හෝ වෙන මඟුලක් නෙවේ.  හලාල් සඳහා මිලක් ගෙවන්න වීමත් යම්කිසි ආගමානුකුල ක්‍රියාවකට යටත් කර තිබීමත් කියන දෙක විතරයි.  උගේ ආගම උට මගේ ආගම මට කාගේවත් ආගමික කරුණු කාරනා මගේ පිට බලෙන් පටවන්න යන එක මට ප්‍රශ්නයක්.

මේ කාරනේදී වෙන්නෙත් එකම තමයි. හරක් මරණ එකත්  මස් කන එකත්  තහනම් කරන්න කියලා ඉල්ලනේ මොන පදනමකින්ද කියලා මට හිතා ගන්න බැ. සමහරක් කියනවා ජාතියේ කිරි අම්ම බේරා ගමු කියලා. ඔවු ඉතින් නෑදෑයන් වෙනුවෙන් පෙනී ඉන්න ඒ ය ගැන නම් මටත් වරදක් කියන්න බැ. හැබැයි හරක් කියන්නේ මගේ නෑයෝ නම් නෙවේ. ඒ හින්දා අනිත් කොයි මසත් වගේ හරක් මසුත් මම කනවා. තවත් සමහරුන්ගේ තර්ක අහපුවා මට හිතා ගන්න බැරි අඩන්නද හිනා වෙන්නද කියලා. හිනා වෙනවනම් කොයි පැත්තෙන්ද කියලා. ඒ තමයි මස් කනවාට විරුද්ද නැ හැබැයි සත්තු මරනවාට විරුද්දයි. මට දන්නා කෙනෙක් පුලුවන්නම් කියලා දෙන්න මරන්නේ නැතිව මස් කන්න පුළුවන් විදිහක්.   


සමහර විට මෙහෙම වෙන්න ඇති 

මට  අහන්න තියෙන්නේ ඇයි ඔහේලාගේ මහා සත්ව කරුණාව අනිත් සත්තු ගැන නැත්තේ කියලා. 100% ශාක ආහාර විතරක් කන්න කාටවත් පුළුවන් කියලා මටනම් හිතා ගන්නවත් බැ. කොච්චර කැ  ගැහුවත්   ඇත්ත එක තමයි. මොකෝ ඔහෙලා හිතාගෙන ඉන්නේ  එහෙමයි කියලද?. කේක් ,වටලප්පන්,ජෙලි වගේ කෑම  වලත් සත්ව කොටස් නැ  කියලද හිතාගෙනද ඉන්නේ. ඒ තියා ඔහෙලා කඩේට ගිහින් මස් කැලි  කන්නේ නැතිව පරිප්පු හොද්දට කලවන් කරලා කන මස් හොද්ද. ඇයි  එත් එක්ක කන ආප්පේ එකෙත් බිත්තර තියෙන්නේ. නැ ..නැ  බිත්තර ආප්ප නෙවේ ආප්පේ කබලේ ඇලවෙනවට  පිටි වලට මික්ස්  කරන බිත්තර දෙක. තව ගෙදර කොකිස් බදිනකොට  පහසුවෙන් ගැලවෙන්න දාන බිත්තරේ.

දැන් ඉතින් හරකුන්ගේ නායකයා වෙච්චි හරක් නාම්බා මල හින්දා. ඒ තනතුරට වෙනත් එකෙක් පත් කරගන්න හරක් අතරේ චන්දයක් තියන්න තියෙන්නේ. සමහරු කරන තර්කය තමයි මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියනවා කියන එක. ඉතින් දෙයියනේ ඔය මස් කන කොයි එකාද කිවේ එහෙම නැ  කියලා. ඒ හින්දා තමයි සත්තු ඇති කරලා මරාගෙන කන්නේ නැතිව දකින දකින වෙලාවට කැලෙට පැනලා සත්තු දඩයම් කරන්නේ නැ  නොව.  තව සමහරු  කියන්නේ  සතුන්ට අදික වේදනාවක් දැනෙනවාලු මරණ කොට. ඔවු ඉතින් එක එහෙම  තමයි  හැබයි මම ගාව ඕකට හොඳ යෝජනාවක් තියනවා ඔය වේදනාව වැඩි වෙන්න එක හේතුවක් වෙන්නේ උන් මරණ ක්‍රමය හින්දා ඒ ක්‍රමයට නැතිව ඉක්මන් වේදනාව අඩු ක්‍රමයක් යොදා ගන්න ඕන. ලංකාවේ ගව  ගාතන කරන වැඩි දෙනෙක් මම හිතන්නේ මුස්ලිම් ජාතිකයින්   ඒ හින්දා එක්වරම බෙල්ල කැපීම වගේ ක්‍රම පාවිච්චි කරන්න ටිකක් ප්‍රයෝගික ගැටළු ඇති වෙයි.   
        

දැන් ඉතින් කට්ටිය රෙදි ගලවලා කතා කරයි හාමුදුරු කෙනෙකුට  අපහාස කරමින් කතා කරා කියලා. මටනම් සිවුරක් ඇඳන් ඉන්න හැමෝම හාමුදුරුවෝ නෙවෙයි. හාමුදුරු නමක් වෙන්න සිවුර ඇතිව හෝ නැතිව ඊට වඩා ගොඩක් දේවල් සම්පුර්ණ කරපු කෙනෙක් වෙන්න ඕන.  සාමාන්‍ය මිනිස්සු  කරන හැමදේම කරමින්  (සමහර විට ඊටත් අන්ත ලෙස) සිවුරක් ඇඳන් හිටිය පලියට මටනම් හාමුදුරු කෙනෙක් නෙවේ. අපි දුක්මහන්සියෙන් හම්බ කරන දෙයින් සිවුපසය ලබා දීලා වන්දනාමාන කරන්නේ අන්න ඒ උතුම් ගුණධර්ම  දරාගෙන ඉන්න කෙනෙක්ටය කියන දේ අපේ හිතට දැනෙන්නේ නැත්නම් උට මොන කෙහෙල් මලකට පුජකයෙක් කියලා කියන්නද ?. ධර්ම රාජ්‍ය  බිහි කරන්නවත් බෙදුම් වාදය පෝෂණය කරන්නවත් වෙන වෙන මඟුල් වලටවත් නෙවේ මේ පුජාවන්  කරන්නේ තමනුත් සසරින් ගැලවිලා අනිත් සත්වයන්ටත් එයින් ගැලවෙන්න දරන උත්සාහයට. 

හරි .. දැන් ඉතින් ඕන කෙනෙකුට කියන්න පුළුවන් මු සිංහල නෙවේ අවජාතක පරයෙක් අරකෙක්  මෙකෙක් ඕන මඟුලක් කීවට මයේ මොකෝ. ඔය කියන එවුන්ට මට කියන්න තියෙන්නේ මෙච්චරයි 

"මහත්වරුණේ    කරුණා කරලා බලහත්කාරකම් කරන්න එපා. ඔහෙට මස් නොකා ඉන්න තියන අයිතියම මට මස් කන්නත් තියනවා. මමත් රජයට බදු ගෙවන පුරවැසියෙක්. මම කන්නේ බොන්නේ රජයෙන් අනුමත සමාජ සම්මත දේවල්. දැනට තියන සම්මතේ මොනවා හරි ප්‍රශනයක් නම් කඩු, පොලු, බෝම්බ, පැට්‍රල් අතට ගන්නේ නැතිව මතවාදයකින් අවශ්‍ය වෙනස්කම කරගන්න. එදාට මමත් හිස නමලා ඒ දේවල් පිලි ගන්නම්. එතෙක් සතෙක් වෙන්නැතිව ජීවත් වෙන්න බලන්න "       

"මනුසත් බව දුර්ලබයි, ධර්මය ඇති කාලයක ඉපදීම ඊටත් වඩා දුර්ලබයි. නොපමාව කුසල් රැස් කර ගන්න"    බුදුන් වහන්සේ 




ප.ලි .
මං වගේ මස් මාංස  ආහාරයට ගන්න සාමානය මිනිස්සුන්ට මෙන්න තියනවා හරක් මස් වලින් සෑදිය හැකි රසවත් කෑමක්. ඔන්න ලින්ක් එක දැම්ම යන්න, බලන්න, හදලා කන්න, රස විඳින්න. ඒ වගේම ගංජා, අරක්කු  වගේ දේවල් වෙනුවෙන් බය නැතිව පෙනී ඉන්න බ්ලොග් ලෝකයට  ඔන්න මගෙන් මස්.    

http://kamubomu.blogspot.com/2010/12/blog-post.html

Friday, November 25, 2011

ගැස්ට්‍රික් නම් මෙන්න බෙහෙත ...... අත්දුටුවයි ! සත්තයි !

ඔන්න හැමෝගෙම කෑම හදන බ්ලොග් ටික කියවලා මටත් හිතුනා ඒ වගේ දෙයක් ලියන්න කියලා. මේක  ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඔන්න ඔය මාතෘකාවේ තියන ලෙඩේ තියන අයට නම්. ඕක ලෙඩක් කීවට මට නම් හිතෙන්නේ දාගත්ත ලෙඩක් කියලා ඉබේම ඕක හැදුන අය ඇත්තේ බොහොම ටික දෙනෙක් මගේ හිතේ  හැමෝම කියන්නේ "වැඩ වැඩ  කන්නවත් කෝ වෙලාවක්" කියලා. මෙතන තියන ප්‍රශ්නය කන්න වෙලාවක් නැති එකම  නෙවේ. 
       ගොඩක් වෙලාවට දවල්ට කන්න බැරි උනා කියලා ගැස්ට්‍රික් හැදෙනවට වඩා මේක දරුනුවටම හැදිලා තියෙන්නේ උදේට කන්නැති අයට රෑ එළිවෙනකන් පැය 8 විතර අපි කිසිම ආහාරයක් නොගෙන ඉන්නේ. එහෙම ඉඳලා උදේම 'පුන්නකු බාල්දියක් විතර ගොන් කිරි එකක් බීලා දවල් දහය විතර වෙනකන් මුකුත්ම නොකා ඉන්න තමයි වැඩි දෙනෙක් හුරුවෙලා' තියෙන්නේ.

     මොකද ගොඩක් අය හිතාගෙන ඉන්නේ අපි හරක් පැටවූ නිසා  හරක් කිරි බීපුවාම හරි කියලා. එහෙමනං ඉතින් දහයට විතර කන්න ලපටි තණකොළ ටිකකුත් වැඩට යනකොට ගෙනිච්චට වරදක් නැ. 
මේ ගොන් පුරුදු හින්දා   ඉතින් ගැස්ට්‍රික් හැදෙන එක අරුමයක් නෙවේ. මේකට කරන්න තියන හොඳම දේ  ' උදේම බොන පුන්නක්කු  බාල්දිය නවත්තලා හොඳට කන එක තමයි'. 

"අනේ ඔච්චර උදේ කන්නේ කොහොමද ?  මටනම් උදේම කන්න බැ වමනෙට වගේ එනවා "          ඔන්න ඕව තමයි උදේම කන්න කීවොත් කට්ටිය කියන කතා. 

      මේකට ප්‍රදාන හේතුව තමයි අපි දත් මදින දත් බෙහෙත් හැමෝම දත් මදින්න පාවිච්චි කරන්නේ Mint සහිත ඔය ප්‍රසිද්ද දත් බෙහෙත් වර්ගනේ. හොඳින් මතක තියා ගන්න ඔය Mint  කියන්නේ තාවකාලිකව ස්නායු හිරි වට්ටන දෙයක්  එතකොට දිවට කිසි රසයක් දැනේනේ නැ.  ඒ හින්දා තමයි තිත්ත බෙහෙත් බොන්න කලින් Hax වගේ ටොපියක් කාල ඉන්න කියන්නේ එතකොට තිත්ත  රස දැනෙන්නේ නැ. ඒ විතරක් නෙවේ දත් මැදලා කට හෝදන කොට උදේම  සීතල වතුර පාවිච්චි කරන්න එපා. අයිස් කැටයක් කටේ තියාගෙන හිටියත් වෙන්නේ ඔය දේම තමයි. ඒ හින්දා "සුපිරි විකී" වගේ දත් බෙහෙතක් පාවිච්චි කරන්න. ඒකේ තියන ලුණු ඇඹුල් රස නිසා කටේ ස්නායු සංවේදනය වෙලා කටට කෙල උනන එක වැඩි වෙනවා. දත් මැදලා කට හෝදනකොට මදක් උණුසුම් වතුර පාවිච්චි කරන්න එතකොට දත් බෙහෙත් රසය කටෙන් හොඳට ඉවත් වෙලා ස්නායු හොඳින් Worm-up වෙනවා. එතකොට නිකන්ම උදේම බඩගිනි එනවා. 
           අන්න ඒ වෙලාවට මෙන්න මේ පහලින් තියන කෑම ජාතිය හදාගෙන  කාල යන්න. එක දිගට සතියක් කරලා බලන්න. සාර්ථක නැත්නම් හොදවාගෙන් දෙකක් කියලා  දාන්න කොමෙන්ට් එකක්. කිසි ප්‍රශ්නයක් නැ. හැබැයි ඔං වැඩේ හරියට කරලා බලලා හරිද. 
මගේ දෙමවුපියන්ට පින් සිද්ද වෙන්න මට නම් ඔය කිසි ලෙඩක් හැදුනේ නැ. උදේම කන්න පුරුදු කරා විතරක් නෙවේ ඔය ගෝ කිරි බොන පුරුද්දත් අඩු කරලා උදේම කොළ කැඳ එකක් ඉරමුසු ටිකක් වගේ බොන්න පුරුදු කරා. ඒ මිනිස්සු බුදු වෙන්න ඕන අදත් උණක් හෙම්බිරිස්සාවක්වත්  නැ. ඇත්තම කියනවනම් මට හරි ආසයි ලෙඩක් හැදිලා ඇඳකට වෙලා ගෙදර අයගෙන් පොඩි සැලකිල්ලක් ගන්න. කරුමේ කියන්නේ වැස්සට තෙමුනත්, අවුවට වෙලුනත්, ගලේ ගැහුවත් කිසි ලෙඩක් හැදෙන්නේ නැ නොවැ. ඔහෙලා කීවට පිළිගනීද මන්දා දැනට අවුරුදු 13 කින් මම පැනඩෝල් පෙත්තක් බීල නැ කියපුවහම. 

හා හා ඔය මදැ විස්තරේ. ඔන්න එහෙනම් එදා සිංහලයාගේ ජනප්‍රියතම පාතරාසය "දිය බත් " හදන හැටි.

අවශ්‍ය දෑ :- රාත්‍රියේ උයා ඉතිරි උන බත් ටිකක් 
                  එයට දැමීමට බත් වැසෙන තරමට ජලය 
                  පොල් බෑවක්
                  රතුළුණු ගෙඩි 5-6 ක් හෝ රටලුණු ගෙඩි 1 ක්
                  වියලි මිරිස් කරල් 5-6 ක් 
                  දෙහි ගෙඩියකින් බෑවක් 
                  ලුණු අවශ්‍ය පමණට
                  සුද්ද කරපු පොල් කූරක්                

අපේ ගෙවල් වල සාමානයෙන් කෑම හදන කොට ගෙදර ඉන්න අයට ගානට හදන්නේ නැ නොවැ. හදිසියෙවත් කවුරු  හරි අවොත් කියලා තවත් මනුස්සයකුට ඇති මදි වෙන තරමට ටිකක් වැඩියෙන් තමා උයන්නේ පිහන්නේ. සිංහලයා එදා ඉඳන් ආගන්තුක සත්කාරයට ප්‍රසිද්දයි නොවැ. කන බොන වෙලාවට ගෙදරට එන බලු කුක්කට වත් කෑම කටක් නොදී ගෙදර මිනිස්සු කාපු නැති ජාතියක් උන අපි අද නම් වැඩියෙන්ම කරන්නේ ඉල්ලගෙන කන එක තමා. හා ඒවා ගැන කතා කරන්න ගියොත් කියන්න යන දේ කියන්න බැරි වෙන හින්දා මෙන්න මෙහෙම කරන්න.
 රෑට  කාපුවාම ඉතිරි වෙන බත් ටික දැනට නම් අපි පහුවදා උදේම කන්නේ නැ ඔකේ නිකන් සීතල ගතියක් එක්ක පොඩි පරණ රසක් එන නිසා ඕක එක්කෝ වීසි කරනවා නැත්නම් ඉතින් "හොඳමදේ දරුවන්ට දීලා හැමදාම ඉතිරිවෙන දේ කන අපේ අම්ම කනවා". කරන්න තියෙන්නේ මෙන්න මේ ඉතිරිවෙන බත් ටිකට වතුර ටිකක් වත් කරලා තියන එක විතරයි. හබැයි වතුර දානකොට දාන්න ඕන බත් ටික වැහෙන තරමට විතරයි. මහා ගොඩක් වක්කරනවා එහෙම නෙවෙයි. පොඩි මැටි කොප්පෙකට(කරි මුඩි) බත් ටික දාල වතුර දාල හොඳට වහලා තියන්න. හැදුවට පස්සේ මේගැන මතක් උන නිසා ඔන්න පින්තුරයක් ගන්න නම් බැරි උනා. 
                     පහුවදා උදේ මේ බත් එක අරන් බලන්න අර දාපු වතුර උරාගෙන බත් ඇට ටිකක් පිම්බිලා තියෙනවා වතුරත් අඩුවෙලා තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ පොල් ටිකක් ගාන එකයි. පොල් බෑවකින් 1/3 විතර ගාල උණුවතුර ටිකක් වෙන්න දාල හොඳ උකුවට මිටිකිරි තේ කෝප්ප 2/3 විතර හදා ගන්න.දිය කිරි වත් පොල්කිරි ගොඩක් වත් හදා ගන්න එපා එතකොට මේක වතුර ගතිය වැඩි වෙලා රස නැති වෙනවා. රතුළුණු  ගෙඩි 5 -6 ක් සුද්ද කරලා හීනියට ලියා ගන්න. රතුළුණු නැතිනම් රටළුණු ගෙඩියකින් 1/2 හෝ 2/3 හෝ උනත් කමක් නැ. හැබැයි රතුළුණු නම් රස වැඩියි.  

දැන් අර පොල්කූර අරගෙන අර වියලි මිරිස් කරල් ටික ඔය රුපයේ විදිහට අමුනගන්න. අමුණා ගත්ත මිරිස් කරල් ටික ලිපේ ගින්දරට අල්ලා වටේම කරකවමින් පුච්චා ගන්න. ඉස්සරහා ඒවා ඉක්මනට පිච්චෙන නිසා එලෙස පිච්චුන ඒවා ගලවා තියන්න. නැතිනම් ඒ  මිරිස් කරල්ටික අඟුරු වෙයි. මේ මිරිස් අතින් කුඩු කරන්න පුළුවන් ගානටයි පුච්චන්න ඕන. අඟුරු වෙනකන් පුච්චන්න එපා. ඔන්න රුපයේ පැහැදිලිව ඇති. සමහරු ඕකට අමු මිරිස් දානවා මම නම් අමු මිරිස් දානේ නැ අමු මිරිස් දාපුවාම කොළ රස එන නිසා.                    
                                                       

කපා ගත්ත රතුළුණු ටික, පුච්චලා කැබලි කරගත් මිරිස් ටික අර වතුර දාපු බත් එකට දාන්න. එකේ  තියන වතුර ඉවත් කරන්න එපා. දැන් මේකට අවශ්‍ය තරම් ලුණු දමන්න. බත් එකටත් ලුණු දාලනම් උයලා තියෙන්නේ ලුණු ටිකක් විතර දාන්න. දැන් මේකට පොල්කිරි ටික එකතුකරන්න සමහරු නම් පොල්කිරි ටිකක් රත් කරලා දානවා එහෙම ඕන නැ. පොල්කිරි නිකම්ම දාන්න. දැන් දෙහි බැව අවශ්‍ය තරමට මිරිකන්න රස අනුව. වැඩේ ඉවරයි. මේක සිම්පල් ප්ලැන් එකක්. දියකිරි, හරි මිටිකිරි, හරි ගොඩක් වැඩි උනොත් රස ටිකක් අඩුවෙයි. එ හින්දා බත් එක වැහෙන ගානට විතරක් දා ගන්න. මොකද රෑ දාපු වතුරත් බත් එකෙ තියනවා කියල අමතක කරන්න එපා. රෑ දාපු වතුර පෙරන්න එපා එතකොට කන්න වෙන්නේ රොඩ්ඩ විතරයි. 

එහෙ නම් කාල බලලා රස කියන්න. නැත්නම් අම්මට කිබුහුම් යන්න මට බනින්න.







 ඔන්න මම හදපු රුප ටික දැම්ම. හැමෝම කෑම හදපු රුප දැම්මට අන්තිමට ඒවාට උනේ  මොකද කියලා රුප දාල තිබුනේ නැති නිසා ඔන්න එකට උන දේ ගැනත් රුපයක් දැම්ම.





ප. ලි.
ඔය මං හදල තියන එකේ ටිකක් මිරිස් වැඩි මොකද මම ටිකක් සැර කෑම කන කෙනෙක් නිසා. ඔය ගැස්ට්‍රික් තියන අය ඔය තරම් මිරිස් දාන්න එපා. මේක සතියකට දවස් තුනක්වත් කන්න. කාල වෙනස බලන්න උගුර පිච්චීගෙන ඇසිඩ් ගතිය උගුරට එන එක මේවා කාල ගිය දවසට නැ කියලා තේරෙයි. ඒ වගේම මේක හොඳ ඇඟ නිවෙන කෑමක් කියලයි අපේ අම්ම මට හදලා දුන්නේ මොකද මම උෂ්ණ කාරයෙක් හින්දා. ඕව ගැන මම වැඩිය දන්නේ නැ හැබැයි කිසිම කෙඳිරියක් නැතිව ඔය වගේ දිය බත් එකක් බස්සන එකනම් මට කිසිම ප්‍රශ්නයක් නැතිව කරන්න පුළුවන්. ඔකේ ගුණ අගුණ ගැන විස්තර "වේද ගෙදර මහා වේදනා" නම් දන්නවා ඇති. උන්නැහ මේ පැත්තේ අවොත් ඔන්න ගුණාගුණ කියලා කොමෙන්ටුවක් දාල යන්න කියලා ඉල්ලනවා.