මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Sunday, September 22, 2013

ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කරුණු (1)

හැමදාම අනම් මනම් ලියන එකේ එලෝ මෙලෝ යහපත තකා ඔන්න අද ලියන්න යන්නේ හැමෝටම වටියි කියලා හිතෙන ලිපියක්. මේක ලියන්න හේතු උනේ සුධිකගේ ගැරන්ටිද ? වොරන්ටිද ? (Guaranty or Warranty ) ...... කියන පොස්ට් එක. මේකට මම කොමෙන්ට් එකක් දැම්මත් එක දාන කොට පෙරහැර ගොඩක් ගිහින් ඉවරයි. ඒ හින්දා තව තව කාරනා එකතු කොරලා මේකෙම ලියල දානවා ඔං. 


 මේ වෙනකොට ඉලෙක්ට්‍රොනික් උපකරණයක් භාවිතා නොකරන කෙනෙක් හොයා ගන්න එක කළුනික (නැ ..නැ  තමාලිගේ කළුනික නෙවේ) හොයනවටත්  වඩා අමාරුයි. ඒ තරමටම ඉලෙක්ට්‍රොනික් බඩු  භාණ්ඩ සුලබ වෙලා තියෙන්නේ. ඉතින් මේ ඉලෙක්ට්‍රොනික් දේවල් මිලදී ගන්න කොට අපිට අහන්න ලැබෙන  වොරන්ටි,  ගැරන්ටි, ආෆ්ටර් සේර්විස්, සේර්විස්  වොරන්ටි, හාර්ඩ්වෙයාර් වොරන්ටි, සොෆ්ට්වෙයාර් වොරන්ටි ගැන තමයි  දන්නා විදිහට මගේ අත්දැකීම් අනුව ලියන්න යන්නේ. දැන් ඉතින් කවුරු හරි අහන්න බැරි නැතෝ "කොහොමෙයි ඕවා ගැන ලියන්නේ තෝ කොහොමෙයි ඔය ගැන දන්නේ" කියලා. එකට නම් ඉතින් කියන්න තියෙන්නේ දැන් අවුරුදු 15 කට වඩා ඕවත් එක්කම හැප්පිච්චි එක තමා ලොකුම සුදුසු කම කියලා. කොටින්ම තාත්තා ගෙට අල්ලලා අලුත් කාමරයක්ම හැදුවා මම කඩන බිඳින බඩු  භාණ්ඩ   දාන්නම ඔන්න.ආය  තවත් මොන සුදුසුකම්ද. කොහොම කොහොම හරි එක එක ජාතියේ රස්සා ගොඩක් කරා උනත් කවදාවත් මේ ඉලෙක්ට්‍රොනික් බඩුත් එක්ක ගනු දෙනු කරනවා තරම් ඒවා ආතල් නැති හින්දා අන්තිමේට කොහෙන් හරි කැරකිලා එන්නේ මෙතෙන්ටම තමයි. 


ඉලෙක්ට්‍රොනික් බඩුවක් ගන්න යනකොට ගොඩක් දෙනෙක් හොයන දෙයක් තමයි මේ වොරන්ටි සහ ගැරන්ටි කියන එක. හැබැයි ගොඩක් දෙනෙක් පටලවාගෙන ඉන්නෙත් මේ දෙකම තමයි. ඇත්තෙන්ම මමත් කාලයක් යනකන් ඔය වචන දෙකේ පැහදිලි තේරුමක් තේරුම් ගන්න බැරිව අනාත වෙලා තමයි හිටියේ. ඒ හින්දම ගොඩක් වෙලාවට කපටි වෙළඳුන් ඉස්සරහා  කේන්තියෙන් පුපුරමින් හැරිලා එන්න සිද්ද උණු වාර ගණන අනන්තයි. නමුත් කාලයක් යනකොට ගොඩක් ආයතනත් එක්ක ගනුදෙනු කරලා සහ ආයතන වල රැකියා කරද්දී   තේරුම් ගත්තා ඇත්තටම  මේ කියන්නේ මොකක්ද කියලා. ඔන්න එහෙනම් සුදීකගේ පොස්ට් එකට දාපු    කොමෙන්ට් එකම ටිකක්  upgrade  කරලා මෙතැන  දානවා.  

ඔතන වචන දෙකේ පැහැදිලි වෙනසක් තියනවා. සුදික ඒ ගැන පැහදිලිව සටහන කරලා තියනවා ඒක වෙබ් අඩවියකින් කරපු නිර්වචනයක් සමහර විට ලෝකයම පිළිගන්න ක්‍රමය එක වෙන්න පුළුවන්. නමුත් ලංකාව කියන්නේ ඔය ලෝකයාට වඩා වෙනස් මිනිස්සු ඉන්න තැනක්නේ. ("ලෝකේ අනිත් මිනිස්සුන්ට වඩා අපේ මිනිස්සු වෙනස් "). අපේ රටේදී ඕක මෙන්න මෙහම තමයි නිර්වචනය වෙන්නේ.

     ජංගම දුරකථන , පරිගණක සහ නොයෙකුත් ඉලෙක්ට්‍රොනික් බඩුත් එක්ක අවුරුදු 15 විතරම හැප්පුණු මටත් ඔය දෙක පැහැදිලිව අඳුරගන්න අමාරු වෙලා තිබුනේ. නමුත් ආයතන කීපයක වැඩ කරන්න ගත්තට පස්සේ මම ඔය වචන දෙක යොදා ගන්න විදිහ ගැන පැහැදිලි අවබෝදයක් ලබා ගත්තා.

ගැරන්ටි කියන්නේ ඇත්තටම සහතික කිරීමක් කියලා කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට යම් භාන්ඩයක් මිලදී ගන්නා අවස්ථාවේ එය නිෂ්පාදකයාගේම නිෂ්පාදනයක් බවත් එය නිෂ්පාදකයා ලබා දී ඇති සියලු පහසුකම් ලබා ගැනීමට භාවිතා කල හැකි බවත් නිෂ්පාදකයා කියන කාලය එය භාවිතා කල හැකි බවත් සහතික කිරීමක්. යම් අවස්ථාවකදී පාරිබෝගිකයාට ඔප්පු කරන්න පුළුවන් නම් එම භාණ්ඩය නිෂ්පාදකයා සහතික කරන පහසුකම් ලබා ගැනීමට අපොහොසත් කියලා එවිට එම භාණ්ඩය වෙනුවට වෙනත් භාණ්ඩයක් ලබා දෙන්න කටයුතු කල යුතුයි. නමුත් මෙහිදී නිෂ්පාදකයා එම භාණ්ඩය බාවිතා කරන ආකාරය ගැන දක්වා ඇති කොන්දේසි උල්ලංගනය නොකර එය බාවිතා කල යුතුයි. මේ ගැරන්ටිය අනිවාර්යෙන් හොඳ නිෂ්පාදනයක් සඳහා ලැබෙනවා. නමුත් එහිදී නිත්‍යානුකුල බවක් නැ. අවශ්‍යනම් එම භාර ගැනීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ සඳහා නීතියට අනුව කිසිවක් කරන්න බැ. නීතිය අනුව කටයුතු කරන්න පුළුවන් වෙන්නේ අර කලින් කියපු නිෂ්පාදකයා  සහතික කරන පහසු කම ලබා ගන්න බෑ  කියන පදනම මත පමණයි. 

වොරන්ටිය කියන්නේ එම නිෂ්පාදනය පිලිබඳ වගකීමක් ලබාගැනීමක්. උදාහරනයක් ලෙස ඉහත පරිදි ගැරන්ට් කරන ලද උපකරණයක්. නිෂ්පාදකයා නිර්දේශ කරනා ආකාරයට භාවිතා කරමින් සිටියදී යම් හානියක් සිදුවුවහොත්. එය සඳහා නැවත වෙනත් උපකරණයක් ලබා දීම හෝ මුදල් ආපසු ලබා දීම හෝ විය හැකියි. එහිදී යම් කාල සීමාවකට යටත්ව, කොන්දේසි සහිත නීතියට යටත් ලේඛනයක් ලබා දෙනවා. එම නිසාම එම වගකීම පැහර හැරියොත් ඒ සඳහා නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්න පුළුවන්. නමුත් ඒ සඳහා ඔබට සාක්ෂි අවශ්‍ය වෙනවා එම නිසා අනිවාර්යෙන් බිල්පතක් සහ වගකීමේ සහතිකයක් ඔබ සතු විය යුතුයි. 


සරලවම කීවොත් අපි නිතර ගනුදෙනු කරන ආයතනයකින් බඩුවක් ගන්නකොට මුදලාලි අපිට කියනවා "මේක ඔර්ජිනල් එකක් බය නැතිව ගන්න කියලා" ඒ කියන්නේ ගැරන්ටිය. හැබයි භාණ්ඩයට මොනවා හරි උනොත් මුදලාලිගේ හොඳ හිතත් භාණ්ඩයේ නිෂ්පාදකයාගේ හොඳ හිතත් මත තමයි අපිට සාධාරනයක් වෙන්න අවස්තාව තියෙන්නේ. නමුත් වොරන්ටියක් දුන්නනම් එකේ තේරුම මුදලාලි නරක උනත් හොඳ උනත් මිනිහට ඒ වගකීම් සහතිකේ තියන විදිහට වැඩ කරන්න වෙනවා කියන එක. එහෙම නොකලොත් ඔබට නීතිය හමුවට යන්න පුළුවන්. 
හැබයි ඔබ මේ  කියන වගකීම ලබා ගන්න නම් කලින්ම නිෂ්පාදකයා ලබා දී ඇති භාවිතා කිරීමේ හා නඩත්තු කිරීමේ උපදෙස් පත්‍රිකා හොඳින් අධ්‍යනය කරලා ඉන්න ඕන. මොකද නිෂ්පාදකයාගේ උපදෙස් වලට පිටින් යමක් කරන්න ගිහින් යම් හානියක් සිදු උනොත් ඔය කිසිම වගකීමක් ලබා ගන්න බැරුව යනවා.

ඒ වගේම තමයි හැමෝම බලන තවත් දෙයක් වෙන්නේ මේ ආෆ්ටර් සේර්විස් කියන දෙය. ඇත්තෙන්ම විකුණු භාණ්ඩයක් පරිබෝගිකයා භාවිතා කරන්න ගත්තට පස්සේ යම් යම් නඩත්තු කටයුතු තියනවා කරන්න. සමහර භාණ්ඩ වලට අනිවාර්යෙන් කල යුතු නඩත්තු කටයුතු තියනව. ඒවා නිශ්චිත කාල සීමාවක් තුල නිවැරදිව පුහුණු කාර්මිකයකු සිදු කල යුතුම දේවල්. මෙවැනි සේවා ගැන බොහෝ විට එම භාණ්ඩය මිලදී ගන්නකොටම  දැනුවත් කරනවා. සමහර විට ඒ පිලිබඳ වගකීම් සහතිකයේම සටහන් කරලා තියනවා. සමහර විට නිකන්ම කටවචනයෙන් කියනවා. මේ සේවා නොමිලේ හෝ  මුදල් ගෙවා ලබා ගන්න සිදු වෙන්නත් පුළුවන්. ඒ පිලිබඳ හොඳින් විමසා දැන ගන්න ඕන මොකද සමහර විට මේ නඩත්තුව නොකලා කියන්නේ සමහර විට මුළු යන්ත්‍රයටම තියන වගකීම අහෝසි වෙනවා කියන එක වෙන්න පුළුවන්.  උදා (photocopy machine, printers ).  ඒ වගේම මේ සේවා කිරීම හිතු මතේට කරන්න බැ ඒ සඳහා බලයලත් නියෝජිතයෙක් හෝ භාණ්ඩය මිලට ගත් ආයතනය වෙත හෝ යන්න වෙනවා. එහෙම නොවුනොත් භාණ්ඩයේ වගකීම අහෝසි වෙලා යන්න පුළුවන්. 

(කෙටියෙන් විස්තරේ ලියන්නම් කියලා හිතුවට  වැඩේ හරි යන්නේ නැති පාටයි. ගොඩක් දිග උනොත් කියවන්නත් කම්මැලි හින්දා "මතු සම්බන්දයි" ඇ... )          

14 comments:

  1. ඔය දෙකම හොඳයි නමුත් අපේ අයියල දෙන්නෙ නැතිඑකයි අවුල. විකුණනකල් හොඳයි ඊට පස්සෙයි අවුල.

    ReplyDelete
    Replies
    1. එකට මුදලාලිට බැනලාම වැඩක් නැ. අපි අතිනුත් කරන්න වැඩ වගයක් තියනවා දිගටම කියවහන්කෝ.

      Delete
  2. ඔය ආප්ටර් සේල් සර්විස් එක ඒ ගොල්ලො දෙන්නෙත් වගකීම් කාලය සඳහා පමණයි බොහෝ විට. ඊට පස්සෙ ඒ ආයතනෙන්ම මුදල් ගෙවල සේවය ලබාගන්න වෙනව. නමුත් අපි පිටිං කරගත්තත් අදාල සමාගමට මොකුත් කරන්න බෑ. මොකද ‍ඒ වෙනකොට ඒ උපකරණෙට වගකියන්න ඒගොල්ල බැඳිල නැති හින්ද.

    ReplyDelete
    Replies
    1. එක හරි නමුත් වොරන්ටි තියන කාලේදී උන් කියන විදිහකට කර ගන්න එක තමා හොඳ.

      Delete
  3. මම නම් දන්න විදියට හොඳ ඩීලර් කෙනෙක් සමහරවිට වොරන්ටි, ගැරන්ටි දෙකටම පිටින් ගිහිල්ලත් පාරිභෝගිකයට උදව් කරන වෙලාවල් තියෙනවා.

    මම දන්න මෝටර් සයිකල් අමතර කොටස් වෙළෙන්දෙක්ගෙන් මම ගෙනාවා NGK spark plugs ජෝඩුවක්. එකක් ගන්නකොටම අප්සෙට්. මම එක සිලින්ඩරෙන් බයික් එක ස්ටාට් කරගෙන අමාරුවෙන් කඳු ඇඳගෙන ගිහින් කිව්වා මේක මාරු කරලා දෙන්න කියලා. "අනේ මහත්තයෝ, ඉස්පාක් ප්ලග් වලට ගැරන්ටියක් නෑනේ. කොහොමත් ඉලෙට්ටිබ්බඩු වලට ගැරන්ටි නෑනේ." ඔන්න උත්තරේ.

    මටම ගහගන්න ඕනෙ ඌ ගාවට යවට.

    ඒ එක්කම මම දන්න හාඩ්වෙයාර් එකක් තියෙනවා. තාත්තයි පුතයි ඉන්නේ. තාත්තා අයියා, පුතා මල්ලි. (කොහොමද නෑදෑකම!) CFL බල්බ්, Orange, Clipsal ඕනෙ බඩුවක්, Watertek බඩු ඕනෙ එකක්, අවුරුද්දක් වොරන්ටි කිව්වොත් ඒ අවුරුද්ද ඇතුලත අප්සෙට් එකක් ගියොත් එවෙලෙම මාරු කරලා දෙනවා. ආයෙ ඤං ඤුං ගෑමක් නෑ. වචනයක් දුන්නොත් ඉර හඳ වගේ තමයි.

    මම ඔහොම මුදලාලි කෙනෙක් ගැන පෝස්ට් එකකුත් ලිව්වා වතාවක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඩුඩ් ඕකෙන් මුදලාලිට වෙන පාඩුවක් නැ. ගොඩක් ආයතන තමන්ගේ නියමිත තත්වයෙන් නැති දෝෂ සහිත බඩු නැවත භාර ගන්නවා. කලින් කීව ;මුදලාලි ලෝකල් බඩු හරි වෙනත් අඩුවට දෙන SUPPLIER කෙනෙක් ගෙන් හරි ගන්නවා ඇත්තේ. එතකොට වැඩි ලාබයක් තියා ගන්න පුළුවන් නිසා. හැබැයි ඒ වෙලාවට මුදලාලිටත් ඒ බඩු ආයතනයට ආපහු භාර දෙන්න බැ. ඒ හින්දා පාරිභෝගිකයාටත් ඒ වාසිය ලබා ගන්න බැ.

      Delete
  4. ඇයි මේ ජංගම දුරකතන වගේ ඒවාට ෂොප් වොරන්ටි එකයි,කම්පැණි වොරන්ටි යයි කියලා දෙකක් දෙන්නේ.?

    ReplyDelete
    Replies
    1. කොම්පැනි වොරන්ටියක් දෙන්න නම් එම භාණ්ඩ පිළිගත් නිෂ්පාදකයකුගේ භාණ්ඩ වෙන්න ඕන. විකුණන ආයතනය හෝ වෙනත් නියෝජිතයකු එම නිෂ්පාදකයා සමග සම්බන්ද වෙන්න ඕන.

      නමුත් ෂොප් වොරන්ටියක් කියන්නේ විකුණුම් කරුවා දෙන වගකීමක්. මේ වෙලාවේදී ඇත්තටම වෙන්නේ ඉතා ලාබ භාණ්ඩයක් එම භාණ්ඩයේ වටිනාකම් වගේ දෙගුණයක විතර මුදලකට විකුණා ගැනීම සඳහා උපක්‍රමයක්. විකිනෙන සියලු භාණ්ඩ නැවත නොපැමිණෙන නිසා එයින් විශාල පාඩුවක් විකුණුම්කරුට නැ. ආවත් එය අලුත් වැඩියා කර දීම මගින් බොහෝ විට බේරෙන්න පුළුවන්. එහෙම නොවුනත් පාඩු නැ. එම භාණ්ඩය බාර ගෙන අලුත් එකක් ඒ වෙනුවට ලබා දී අර භාණ්ඩය අලුත් වැඩියා කර අඩු මිලකට විකිණීම හෝ අමතර කොටස් ලෙස බාවිතා කල හැකියි.

      ජංගම දුරකතන වෙළඳාමේදී නම් දුරකතනයක් ගෙඩිය පිටින් විකුනනවට වැඩිය විශාල ලාබයක් කොටස් ගලවා විකිණීමෙන් ලබන්න පුළුවන්. එකම අවාසිය එකවර මුළු මුදලම ලබන්න බැරි කම. පිට කොටුවේ බොහොමයක් ආයතන් මේ වැඩේ කරනවා. අම්තර් කොටස් වෙළඳ පලට එන්න පෙර හොඳ phone මස් කරනවා අමතර කොටස් සඳහා. ලාභය 1:3ක් හෝ 4ක්.

      Delete
  5. හොද තොරතුරක් නිශාන්ත.

    ReplyDelete
    Replies
    1. හොඳ හරිය තව ඉස්සරහට නලීන් දිගටම කියවන්න.

      Delete
  6. අපි සාමාන්‍යෙයන් කරන්නෙ කඩේ එකට බනින එක. ඒත් අපිත් වැරදිද මන්දා කියලත් හිතෙනවා මේක බැලුවම..

    ජය !

    ReplyDelete
    Replies
    1. මතකනේ උඹේ phone එකේ ටච් එක ගිය වෙලාවේ මම කීවේ warranty තියනවනම් සුකුරුත්තන් නොකර ගත්ත තැනට අරන් පලයන් කියලා.

      Delete
  7. දෙවෙනි එකත් එනකම් බලන්න ඉන්නවා..මෙහෙම හරි දැනුවත් කරන එක වටිනවා නිසහ්න්ත...

    ReplyDelete
    Replies
    1. ඉතිරි ටිකත් ලියන්නං කම්මැලි කම තමා ලෙඩේ .. :)

      Delete