මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Thursday, October 27, 2011

සිරිසේනට යකා වැහීම (පන්චේන්ද්රියන්ට අසු නොවන ගුප්ත සිදුවීම් )

මේක සත්‍ය සිදුවීමක් 
ඔන්න මේ පොස්ට් එක දාන්න හිතුනේ ගුනේ අයියගේ මිනිබිරීට ආච්චි වැහුනා පොස්ට් එක බැලුවට පස්සේ.
          මේ බ්ලොග් අවකාසේ ඇවිදිනකොට අනිත් අයගේ සිදුවීම් එක්ක අපේ මතකයත් අතීතෙට ගමන් කරනවා. මතක් වෙන හැමදේම ලියන්න ගියොත් මහා පතරංග ජාතකේ වගේ පොතක් ලියන්න වෙයි. නමුත් ඔන්න තදින්ම මතකයේ තියන දේවල් ලියලා දානවා හැමෝටම දැනගන්න.

ඔය සමහර අමනුස්සයෝ මිනිස්සුන්ගේ සරීර වලට ආවේශ වෙනවා කියන එකනම් මම එතරම්  පිළිගන්න කැමති දෙයක් නෙවේ. සමහරුන්ට ඔය දේව ආත්ම පවා ආවේශ වෙලා කියල කීවට මම නම් හිතන්නේ කිසිම වෙලාවක මිනිස්  ශරීරයකට කිසිම බලවත් ආත්මයක් නම් ආදේශ වෙන්නේනැ  කියලයි . "අසුචී මුට්ටියක් වගේ" කියලා උපමා කරපු අපේ කුණු සරීරයට අපට වඩා බලවත් අමනුස්සයෝ මොකට ඇලුම් කරනවාද? මම හිතන විදිහට පහත්ම ගනයේ ආත්ම තමා මේ ආවේශ වෙනවනම් මේ විදිහට අවේශ වෙන්නේ. 
               ඒවගේම මම දැකලා තියන දෙයක් තමා බොහෝ අවස්ථා වල සමාජයේ පහලම පන්තියේ අයට තමා මේ විදිහට මේ ආවේශ ඇතිවෙන්නේ. නුගත්, දිළිඳු සමාජය අතර බහුලවම මේ තත්වය දකින්න පුළුවන්. මද්ධ්‍යම පන්තිකයන් අතරත් පහල මද්ධ්‍යම පන්තිකයන් අතරත්  තමා මේ තත්වය බහුලව දකින්න පුළුවන් නුගත් ධනවතුන්  අතරත් මේ තත්වය කලාතුරකින්  දකින්න තියෙනවා. නමුත් උගත් සාමාජයේ මේ තත්වය බොහොම විරලයි. කලාතුරකින් දැක්කත් මේ තත්වය ඔවුන් සුව කර ගන්නේ බෙහෙත් හා මනෝ විද්‍යා උපදේශකයකු මගින්. තොවිල් පවිල් කරනවා දැකලා තියෙන්නේ බොහොම කලාතුරකින්. 

                         මොකද කුඩු කාරයාගේ ඉඳලා මහාචාර්ය මට්ටමට එනකන් විවිද පුද්ගලයෝ මම ආශ්‍රය කරන නිසා මේ ගැන හොඳ අවබෝදයක් මට තියනව කියලා මම හිතනවා. මම කවදාවත් දැකලා නෑ දෙවියකු හෝ යකෙකු වැහුන දොස්තර කෙනෙක්  , ලෝයර් කෙනෙක්, මහාචාර්ය වරයෙක්  හෝ දෙසපාලකයෙක් වගේ කෙනෙක්ව. කොහොම උනත් නුගත් හෝ බලවත් චිත්තාවෙගයන්ට ඔරොත්තු නොදෙන සිතක් ඇති අයට මේවගේ දේවල් මගින් සිත රවට්ට ගන්න පුළුවන් වීම තමයි මම හිතන විදිහට මේ තත්වය. මට නම් තවම යකෙක් බුතයෙක් දෙවියෙක් දකින්න අවස්තාවක් ලැබිල නැ. මගේ බලාපොරොත්තුව කවදා හරි මේ වගේ දෙයක් දකින එක තමයි. හැබැයි මම කවදාවත් මේ තත්වයන් ගැන පහත් විදිහට කතා කරන්නේ නැ. අර විමලරත්න කුමාරගම ගේ අයියනායක කවි පන්තියේ කියනවා වගේ "මම නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම " තමයි මගේ ප්‍රතිපත්තිය. මොකද ඔය අපේ පන්චේන්ද්‍රයන්ට ගෝචර නොවෙන ගොඩක් දේවල් ලෝකයේ සිද්ද වෙනවා. 

    මම පාසල් ගිහින් ඉවර උන අලුතම වගේ මට හාමුදුරු නමක් ආශ්‍රය කරන්න හම්ඹුනා. උන්වහන්සේ පිළිගත් ජෝතිෂ වේදියෙක්. මම උන්වහන්සේත් එක්ක තර්ක කරලා කීව මම ඔය ග්‍රහ බලපෑම් පිළිගන්නෙත් නැ ඕවා බොරු කියලා. මට කරුණු කොච්චර කීවත් පිළිගත්තේ නැ.ඒ දවස්වල අපි ටිකක් නහයට අහන්නේ නෑ නොවැ. මේ හාමුදුරුවෝ මට  කීවා අපි පොඩ්ඩක් එලියට ගිහින් කතා කරමු කියලා මමත් උන්වහන්සේත් එක්කම එලියට ගියා. දැන් අපි දෙන්නම එළියේ ඉඳගෙන කතාව වෙලාව දවල් 11 විතර ඇති. ටික වෙලාවකින් අපි දෙන්නටම හොඳටම දාඩිය දාල මුනත් කලුවෙලා ගිහින්. දැන් හාමුදුරුවො අහනවා

මොකද නිකන් මුනත් කලුවෙලා අමාරුවෙන් වගේ  

මම කීව ඇයි අප්පේ මෙතනට හොඳටම අවුව නොවැ 

එතකොට හාමුදුරුවෝ කියපි 
                         මහත්තයෝ ඉර කියන්නෙත් ජොතිශය අනුව එක ග්‍රහයෙක් ඉතින් මහත්තයාට ඇස්දෙකටම දැන් පේනවා නේද ග්‍රහයන්ගෙන් අපට බලපෑම් තියනවා කියලා. ඔය වගේ තමයි අනිත් ග්‍රහයෝත් උන්ගේ බලපෑම් අපිට පෙන්නේ නැ.ඒ උනාට නෑ කියලා අයින් කරන්න බෑ.   කතාව ඇත්ත  මට ඉතින් කට උත්තරත් නැ 

ඔන්න ඔයවගේ තමයි සමහර දේවල්. කොහොම උනත් මෙන්න මගේ කතාව. මේක මේ සත්‍ය සිද්දියක්. මේ කතාවට  සම්බන්ද අය සැහෙන පිරිසක් තවමත් අපේ ගමේ ඉන්නවා. 

      මම එතකොට උසස්පෙළ කරලා ගෙදර ඉන්න දවස් . ඒ දවස් වල තමයි ඔය කොම්පීතර සාස්තරේ ඉගනගන්න එහෙම ගියේ. දවසක් මම පන්ති ගිහින් ගෙදර ඇවිදින් පුරුදු විදිහටම බත් එහෙම කාල මගේ යාලුවෙකුත් එක්ක පුරුදු පරිදි බන්දුලගේ කඩේට යනවා හොරෙන් බට යක් ගහන්න. මෙන්න බොලේ එදා බටයක් ගහන්න යනකොට බන්දුලයා කඩේ නැ ඒ වෙනුවට හිටියේ උගේ අම්මා. 

මම ඇහුව "කෝ නැන්දා බන්දුල"  
"ඇයි පුතේ සිරිසේනට යකෙක් වැහිලනේ  ඔන්න එක බලන්න ගියා" කියලා නැන්දා කියපි . 
අම්මට සිරි මටත් මදිද   ඔය ටික  මමත් කෙළගෙන ගියේ ඔය කියපු තැනට . යනකොට එතන ගිනි විජ්ජුම්බරයයි සෙනග සූ ගාල පිරිලා. සිරිසේනව කාමරේක දමලා බොහොම අමාරුවෙන් අල්ලාගෙන ඉන්නවා. මිනිස්සු තුන් හතර  දෙනෙක් ඇඟ උඩ නැගලා අල්ලාගෙන ඉද්දිත් මේ යකා උන්ව පෙරලගෙන කාමරෙන් පැනලා යන්නයි ට්‍රයි එක.මේ අල්ලාගෙන ඉන්න අයත් එසේ මෙසේ කට්ටිය නෙවේ පොල් කඩන , ලී ඉරන කුලී වැඩ කරන අත පය යකඩ වගේ වෙච්චි මිනිස්සු   ටිකක් තමයි අල්ලාගෙන ඉන්නේ. ඇඳක දාලා සිරිසේනව යට කරගෙන අල්ලාගෙන ඉන්නවා  එක පාරට යටි ගිරියෙන් කෑ ගහල උන් ටික පෙරලගෙන යන්න ලැස්ති  මේ යකා. මමත් ඉතින් කාමරේ එලියට වෙලා ජනෙලෙකින්  බලාගෙන සිද්දිය. මට ඉතින් හරි විනෝදයි වැඩේ. ඔන්න ටික වෙලාවකින් අල්ලාගෙන හිටපු එක අයිය කෙනෙක් අවා එලියට . 

අම්මට හුඩු යකෝ මෙන්න මේ පොරගේ තොල පැලිලා , මුණ ඉදිමිලා මම ඇහුව මොකද අයිය ඔය කියල. පොර කියපි යකා වැහුණු සිරිසේනගේ ෂොට් තමයි ඔය කියලා.  මට පුදුමත් හිතුනා සිරිසේන කියන්නේ මේ හොඳටම වයසක මනුස්සයෙක් බොහොම පොඩි මිනිහෙක්. ඒ වගේ මිනිහෙක්ට කොහෙන්ද මෙහෙම හයියක්. මම ඇහුවා කොහොමද ඕක උනේ කියලා. ඔන්න එතකොට තමයි  මෙන්න මේ සිද්දිය දැන ගත්තේ.

     සිරිසේන  කියන්නේ අපේ ගමේ හිටපු එක යකදුරෙක් මිනිහා මේ ගෙදර ඊට කලින් දවසේ පොඩි සාන්ති කරුමයක් කරලා තියනවා ගෙදර කෙනෙකුට යක්ස බැල්මක් තියනවා කියලා. ඊට පහුවදා මේ ගෙදරින් යන්න කලින් ඇඟ පතේ අමාරුවට  පොඩි "නැටුම් තෙල් " ටිකක් එහෙම අරගෙන තමයි ගිහින් තියෙන්නේ. ඒ අතරේ තෙල් දාපු කරවල කැලී දෙක තුනක් කාල. මිනිහ ගෙදර යන්න කලින් හරකා බඳින්න කියලා ඇල ඉවුර දිගේ තනියම ගිහින් තියනවා. එතන තමා කලින් දවසේ සාන්ති කරුමය කරලා පිදේනි තටුව ගෙනත් දාලා තියෙන්නේ. ඔන්න ඔතනදි කලින් දවසේ පන්නපු යකා ගැහුවා ගුරාටම. මිනිහා හූ තියාගෙන පිදේනි තටුව කන්න දුවගෙන එනකොටම තමයි මේ ගෙදර අය දැකලා අල්ලාගෙන තියෙන්නේ . කියන විදිහට නම් බැරි වෙලාවත් පිදේනි තටුවේ දේවල් කෑවනම් සොරිම තමා ජීවිතේ උනත් විස්වාස නැතිලු එතකොට. 

අනේ මන් දන්නේ නැ මෙහෙමත් කෙලි. 

කොහොම හරි ඔන්න පොරව ගෙනත් දැන් කාමරේ . පොරගේ ට්‍රයි එක කොහොම හරි පිදේනි තටුව තියෙන තැනට යන්න. හිටි ගමන් හොඳට කතා කරනවා. අනුකම්පා හිතෙන විදිහට ඉල්ලනවා එලියට යන්න. එක එක හේතු කියනවා. දෙන්නේ නැති වෙනකොට කෑ ගහල ඉන්න එවුන් පෙරලගෙන දුවන්න හදනවා. 
ශේහ් බලන්න ලස්සනයි එතන තිබ්බ සෙල්ලම. කොහොම හරි ඔන්න විනාඩි දහයක් විතර මේ පොර දැන් සද්දයක් නැ. ඉන්න අයත් එක්ක හොඳින් කතා කරනවා. ඔහොම ඉඳලා කියපි මට චු බරයි කියලා. දැන් ඉතින් යන්න නොදී පුළුවන ඔන්න දෙතුන් දෙනෙක් මිනිහගෙන් අල්ලාගෙන එක්ක ගියා ගෙදර පිලිකන්නට. දැන් ඉතින් මිනිහ කියනවා අතාරපියවූ මට චූ කරන්න කියල. 
අනේ අත්හැරිය විතරයි මෙන්න බොලේ මු කඩාගෙන බිඳගෙන දුවනවා අර පිදේනි තටුව ලඟට. කොහොම හරි අපි පැනලා අල්ලගත්ත. අල්ලාගෙන ගෙනත් කාමරේට දාල දොරක් නැති නිසා තුන් හතර  දෙනෙක් දැන් මුර. ආයෙත් අර කලින් සෙල්ලමම තමයි. 
මමත් දැන් දොරකඩටම ගියා ගිහින් ඇතුලේ ඉන්න අයට කීව මම මෙයාව බලාගන්නම් ඔයාල එලියට එන්න කියලා. 
කට්ටිය අවා එලියට. 
මම දැන් උළුවස්සට හේත්තු  වෙලා. 
සිරිසේන ඇඳේ. 
දැන් මිනිහ මම දිහා බලනවා ජනේලෙන් එලිය බලනව. මට තේරුණා අයෙත් මොකක් හරි සෙල්ලමක් දාන්න තමා යන්නේ කියලා. මම කීව ඔන්න නොකීවයි කියන්න එපා සිරිසේන මේකෙන් එලියට යන්න ඕන නැති සෙල්ලන් දාන්න අවොත් නම් තමුසෙයි යකයි දෙන්නම මගෙන් හොඳටම කනවා . 
හදිස්සියකටවත් විටක් එහෙම හපන්න ඔය ඉතිරි වෙලා තියන දත් ටික ඕන නම් කරබාගෙන ඇතුලට වෙලා ඉන්නවා. මොනවා හරි ඕන නම් කියනවා ගෙනත් දෙන්නම් හැබයි සෙල්ලම් නම් දාන්න ලැස්ති වේලා  පස්සේ ඔං මමත් එක්ක තරහ වෙන්න එපා කියලා.  
යකා වැහිලා හිටියත් සිරිසේනගේ මොලේ නම් එච්චර අවුල් වෙලා නැ වගේ . නැත්නම් මාව හොඳට දන්න යකෙක් තමයි වැහිලා හිටියේ. මිනිහ පුස් පැටිය වගේ කීකරු උනා. මොකද ඒ වෙනකොට ඔය ගුටි කෙලි සම්බන්දව කුප්‍රකට නමක් තමයි මට තිබ්බේ. ළඟ පාත වලියක් නම් මම නැති වෙන්නෙම නැ. 
ඉස්කෝලේ ගිහින් ඉවර උනා විතරනේ තවම උන ගතිය බහින්න කාලයක් නැ නොවැ.  
කොහොම හරි දැන් ඉතින් මිනිහා මගෙත් එක්ක හොඳට කතාව මොන යකෙක්වත් නැති ගානට තමා  ඉන්නේ. 
මිනිහගේ පුතා ඒ දවස් වල සෙකියුරිටි කොම්පැනියක තමා වැඩ කලේ ගමට ආවොත් මගෙත් එක්ක සෙට් වෙලාම තමා යන්නේ. මිනිහා ඒවත් දන්නවා ඉතින් මිනිහා එයාගේ පුතා ගැනයි අනං මනං අහනවා. ඒ ගමන් හෙම්හිට මාව ශේප් කරගෙන එලියට පනින්නත් ටෝක් කරනවා. මම පොඩ්ඩක් සද්දේ දාපුවම අයෙත් වෙන මොනවා හරි කතා කරනවා. හැබැයි වැහිලා හිටියෙනම් රට කාපු හොඳ ගොරක යකෙක්. 

මිනිහගෙන් මොනවද ඕන කියල අහපු ගමන් ඉල්ලනේ බීඩි මම හිතන්නේ ඔය ටික වෙලාවට මිනිහා බීඩි මිටි 2 විතර බොන්න ඇති. පිස්සෝ බීඩි බොනවා වගේ තමයි මේ යකත් බීඩි බීවේ.  කාමරේ නිකන් රබර් රොටී වේලන දුම් කාමරයක් වගේ වෙලා තිබුනේ බීඩි දුමටම. 

කොහොම හරි ඔන්න පැයකින් දෙකකින් විතර මිනිහගේ ගුරුන්නාන්සේ අවා එතනට. එයත් අපේ ගේ ඉස්සරහ ඉන්න හොඳටම වයසක කෙනෙක් මනුස්සයනම් වයස උනාට හොඳ උස මහත මනුස්සය. හැබැයි ඇවිදින්න එහෙම ටිකක් අමාරුයි. 
අපු ගමන් කලේ ගොක් කොලයක්, කෝටු කැල්ලක්  හොයාගෙන එකෙන් පොඩි ත්‍රිශුලයක් වගේ එකක් හදපු එකයි. පස්සේ එක අරන් ගියා කලින් දවසේ හදලා තිබුන මල් පහන් පල  ලඟට. ගිහින්  එකට මොනවදෝ මතුරලා ගේනවා. ගෙනත් කාමරේ උළුවස්ස වටේට එක අරන් ගියා. පස්සේ එක මගේ අතට දීල කීවා දැන් ඔය යකාට  මේ දොරෙන් එලියට යන්න බැ ඒ නිසා ඔයා එලියට එන්න. මොනවා හරි කරන්න හැදුවොත් ඔය කොටුවෙන් ගහන්න කියලා.  මමත් ඉතින් එලියට ආව කෝකටත් මේ පොර ෂුවර්  නැති නිසා රේඩි පිට හිටියේ. 
මෙන්න බොලේ මම කාමරෙන් එලියට ආව විතරයි මු දැන් එනවා හෙමීට දොර ලඟට හැබැයි දොර ලඟට ආවට මු දොරෙන් එලියට එන්න බයයි. දොර ලඟට එනවා ආය ඇතුලට යනවා. ඔහොම සැහෙන වාර ගණනක් කරා. මිනිහට මේ උළුවස්ස පනින්න බැ. මම නිකන් ටෙස්ට් කරන්නත් එක්ක මට දුන්න කෝට්ට අරන් ලඟට ගියා විතරයි මෙන්න මේ යකා රිංගුවා ඇඳ ඇතුලට. මට ඉතින් පුල් ආතල් මේ වැඩ ටිකට.  
කොහොම හරි අපු ගුරුන්නාන්සේ අත්තා යකා එලවන්න තොවිලේට ඕන බඩු ටික ලියල දීල ගෙදර ගියා නාලා එහම රෑ වෙලා එන්නම් කියල. මමත් කෝටුව ගෙදර හිටපු කෙනෙකුට දීල ගෙදර ඇවිත් නාල එහෙම ටක් ගාල අපහු ගියා තොවිල් ගෙදර. ගිහින් තියන වැඩ ටික එහෙම ලැස්ති කරලා දැන් ඉන්නවා ගුරුන්නාන්සේ එනකන්. ඔන්න 6.30 -7 විතර වෙද්දී එනවා ගුරුන්නාන්සේ. දැන් ඉතින් තොවිලේ පටන් ගන්නයි යන්නේ. දැන් අයෙත් අර කෝටුවට  මතුරලා  මට කීවා ඕකෙන් එකක් යකාට  ගහල එක්ක එන්න කියලා. මමත් ගිහින් මේකෙන් පොඩි තට්ටුවක් දැම්ම. මෙන්න යකෝ මු දැන් කෝටුව පස්සෙන් එනවා එක්ක ඇවිත් ඉන්දුවා පහන් පල ළඟ පැදුරක ඒ කරලා දැන් ඉතින් තොවිලේ පටන් ගත්ත. යකා වැහුන සිරිසේනත් දැන් බීඩි බිබී බලාගෙන ඉන්නවා. මමත් මිනිහ කිට්ටුවට වෙලා ඉන්නවා අයෙත් මේ යකා දුවයිද  කියලා. කොහොම හරි ඔන්න දැන් රැ 11 ට විතර ඇති. 
අපේ ගුරුන්නාන්සේ අත්තා පාරේ ඇවිදින්න බැරිව ඉන්නේ නමුත් මෙන්න බොලේ සුදු සරම ඇඳලා උඩින් රතු පාට පච්චවඩම් රෙදි කෑල්ල ඇඳලා එක සීරුවට කොල්ලෙක් වගේ නටනවා. 
දැන් ඉතින් බෙරවල බීට් එක ටික ටික වැඩි වේගෙන එන්නේ. මතුරන සද්දෙත් ටික ටික වැඩ්යි. 
යකා වැහුන සිරිසේනත් දැන් ටිකක් නලියනවා. 
මෙන්න දැන් අර කෝටුව පහන් පලේ තිබිල අරගෙන අවා සිරිසේන ලඟට. මේ යකා දැන් කෝටුව පස්සේ යනවා. නිකන් නෙවී නට නටා. 
දැන් ඉතින් තොවිලේ උද්වෙගකරම හරිය. 
ගුරුන්නාන්සේ අත්තයි සිරිසෙනයි එක සීරුවට නටනවා. මේ යකා ඔලුව කරකවන විදිහට මට හිතුනේනම් ඔලුව ගැලවිලා විසිවෙයි කියලා. ඔය අස්සෙ තවත් ඔය වගේ බෙර සද්ද වලට ආවේශ වෙන අය ගම්වල ඉන්නවනේ උනුත් මෙතනට ඇවිත් නටනවා. තනිකර Musical  Show  එකක් වගේ. 
ඔන්න දැන් ගුරුන්නාන්සේ අත්ත සිරිසේනගේ ඇඟේ ඉන්න යකාගෙන් අහනවා මේ නරයා අතහැරලා යනවද කියල. යකා කියන්නේ නැ කියලමයි. දැන් ඉතින් තනිකර බිස්නස් එකක වගේ තමයි දෙන්න හෙට්ටු කරනවා. 
අරව දෙන්නම් , මේවා දෙන්නම් කියල මොනවා හරි පොඩි ජරාවක් දීල යකා එලව ගන්න ට්‍රයි එක. 
මොන පිස්සුද යකත් රට කපටියෙක් උ ඉල්ලනෙම  බිල්ලක් විදිහට පරානයක්. 
අත්තත් මොනවත්  නොදී එලව ගන්නම තමයි ට්‍රයි  එක. දැන් ඔං හොඳින් කියල බැරි තැන තර්ජනය කරනවා. යකත් මොන මොනවා හරි කියලා ශෙප් වෙනවා. වැඩේ හරියන්නෙම නැ. 
පස්සේ යකාට ගහන්න ලෑස්ති. මොකකින්ද දන්නවද ගහන්නේ පුවක් මලකින්. 
දැන් ඔන්න පුවක් මල දුන්න සිරිසේන අතට ගත්ත ගමන් මේ යකා එකෙන් තමන්ගේ මුනට ගහගෙන ගහගෙන යනවා.වගේ වගක් නැ.

          හැමෝම දන්නවනේ මේ හීනි කෙඳි වලින් ගහපුවාම වයිර පලු මතු වෙනවා කියල. මේ යකා පුවක්මල කැඩිලා කැලි විසිවෙනකන් ගහ ගත්ත මොන වයිර පළුවක් වත් නැ. අන්තිමට පුවක් මල වීසි උනා. මේක ගෙදර වහලෙටත් උඩින් ගිහින් මීටර් 100 විතර ඈත වැටුනේ. 
ඔන්න ගුටි කෑවට පස්සේ යකා ටිකාක් මෙල්ල වෙලා. දැන් මු කියනවා කුර තියන සතෙක් දුන්නොත් යනවලු. කොහොම හරි දැන් ගුරුන්නාන්සේ අත්තයි යකයි  හෙනට වාද කරනවා අපිට තේරෙන්නේ නැ මොකද කතාව දෙමල හරි මලයාලම් හරි තමයි. 

ඔය දෙවියන්ගේ බාසාවත් දෙමල කියනවනේ. (දිව්‍ය ලෝකේ  කොහොම ඇද්ද) . 

අන්තිමට දෙන්න හෙට්ටු කරලා කරලා එකඟ තත්වයකට ඇවිත්. මොකක්ද එකඟ තාවය කුකුලෙක් දුන්නොත් යකා යනවා. දැන් ඉතින් ඔන්න කලින් ගෙනත් තිබුන කුකුළා අරගෙන ආව. 
අනේ මේ අහිංසක සතා මෙලෝ දෙයක් දන්නවය. උගේ කකුල්  දෙක බැඳලා නිසා ඔහේ දාපු තැන වැටිලා ඉන්නවා. මට ඉතින් මේ වැඩේට හරි තරහයි.එත් ඉතින් කරන්න දෙයක් නෑනේ. හැබැයි මට හිතුනා  ඔයිට වැඩිය ලේසියෙන් මට ඔය යකාව එලවන්න පුළුවන් කියලා. කරන්න දෙයක් නැති නිසා කට වහගෙන බලාගෙන හිටියා. 
ඔන්න කුකුලා දැක්ක විතරයි සිරිසේන (යකා) කෙල හලනවා කුකුලට. ගුරුන්නාන්සේ අත්ත කුකුළා කකුල් දෙකෙන් එල්ලගෙන නටනවා යකත් පෙරේත කමට ඒ පස්සෙන් නට නටා යනවා. දැන් ඉතින් යකා යන්න එකඟයි. ඔන්න ගුරුන්නාන්සේ අත්තා කියපි එහෙම එක පාරටම යන්න බැ යන්න කලින් වැඩක් තියනවා කරලා දීල යන්න කියලා. 
යකත් දැන් හොඳටම මෙල්ල වෙලා නිසා එකඟ උනා වැඩේට. මොකක්ද  වැඩේ යන්න කලින් මේ තොවිලේ බලන්න ඇවිත් ඉන්න යට සාස්තර කියලා යන්න. ඔන්න දැන් තොවිලේ බලන්න ඇවිත් හිටපු එක එක්කෙනා ඇවිත් සාස්තර අහනවා යකත් උත්තර දෙනවා. වැඩියෙන්ම ආවේ ගැනු කට්ටිය තමා. 
ඔන්න ඒ වැඩේ ඉවර කරලා දෙන්න අයෙත් දෙමලෙන් මොන මොනවද කතා කරලා වැඩේ ඉවර කරන්න ලෑස්ත්යි.  ඔන්න සිරිසේන අතට දුන්න කුකුළා ගත්ත ගමන් ඔලුව වටේ රවුමක් කරකලා ගෙනාව බෙල්ල කට ලඟට කුකුලට කැ ගහන්නවත් වෙලාවක් නැ ටික වෙලාවකින් කුකුළා  විසි කරලා දාල සිරිසේන සිහිනැතුව වැටුනා. පස්සේ මිනිහ උස්සල පැදුරක තියලා වතුර ටිකක් එහෙම ඉහලා සිහිය ගත්ත.

 මෙන්න බොලේ සිහි අපු ගමන් පොර අහනවා ඇයි මොකද උනේ. මොකද මෙච්චර සෙනග කියලා. අනේ මන්ද පොර ඇත්තටම දන්නේ නැද්ද උනේ මොකද කියලා නැත්නම් බොරුවක්ද මට තවම හිතාගන්න බැ. 
කොහොම උනත් මේ කුකුලයි මල් බුලත් තට්ටුවයි වතුර පාරක් ලඟට ගිහින් දාන්න ඕන නිසා අපි එව්ව අරගෙන ගියා ඇල ලඟට මම තමයි කුකුළා අරගෙන ගියේ. මම හොඳට ලයිට් එකක් තියෙන තැනකට අරන් ගිහින් කුකුලව චෙක් කරා බෙල්ලේ පොඩි සිදුරු දෙකක් තිබුනා එච්චරයි කුකුලා ඇත්තටම මැරිලා. කුකුළා ඇල ලඟට අරන් යද්දී එතන හිටපු අයිය කෙනෙක් කීව ඕකගේ ඇඟේ එක ලේ බින්දුවක් නැ ඔක්කොම යකා බීල කියල. 
මමත් ඉතින් කියන දෙයක් ලේසියෙන් පිළිගන්නේ නැති පොරක් හින්දා   ඇල ලඟට අරන් ගියා කුකුළා එතැනදී  ඒ අයගේ ඉනේ තිබුන කිතුල් මල කපන පිහියෙන් කපලා බැලුව කතාව හරි උ ගම් කුකුලෙක් උනාට තනිකර සුදුමැලි වෙලා හිටියේ හරියට broiler කුකුලෙක් වගේ. 


ඉතින් ඔන්න ඕකයි සිද්දිය. ඔතන උන සමහර දේවල් අපේ පන්චේන්ද්රියන්ට ගෝචර නැ. එහෙම කියල බොරු කියන්නත් බැ ඇත්ත කියන්නත් බැ. 
කොහොම නමුත් මේක සංවාදයට විවෘතයි.  
අන්තිමට උනේ සිරිසේනව කාමරේ හිර කරගෙන හිටිය හින්ද ගමේ එවුන් ඔක්කොම මට වෙසමුනියා කියල කාඩ් එකක් ගැහුවා. පෙනුමත් ඒ වගේ නිසා මමත් ඉතින් කරබාගෙන හිටියා. 

ඔන්න මේක ලියල ඉවර උනෙත් යක්කු ගස් යන වෙලාවක. 
                                                                                              එහෙනම් හැමෝටම සුබ උදෑසනක් මම නිදා ගන්නවා ඔං .                       
                                                                  
       

21 comments:

  1. මගෙත් යාළුවෙක්ට "ගොපල්ලා" කියල යකෙක් ගැහුවා !!!!!ඔය වගේ තොයිලයක් කරල ගොඩ ගත්තේ .....

    ReplyDelete
  2. ඔවැ ඇත්තක් නැත්තේම නෑ..වෙසමුනි..මචො...
    නියෙමෙට ලියලා තියෙනව...

    ReplyDelete
  3. මම නම් ඔය හොල්මන් යක්කු වැහෙනවා කියන ඒවා සතේකට විශ්වාස කරන කෙනෙක් නම් නෙමේ..ඒත් මම ඔය වගේ කතා වලට පට්ට බයයි...හික්ස්

    මම ඉන්නෙත් තට්ට තනියම බෝඩිං කූඩුවක...හැමදාම එක එක ඒවා බැඳලා කනවා...රෑ 1-2 වෙනකම් ඇහැරලා...තවන ඔය හොල්මන් දැකලා නම් නෑ...( හොල්මන් දිල් ගාවට කිට්ටු කරන්න බය ඇති ).....ඇත්තටම යක්කු මිනිස්සු ට වැහෙනවද ? ඇස් දෙකින් දකිනකම් මට නම් විශ්වාස කරන්න බෑ...

    ReplyDelete
  4. එතකොට අර යක්ෂ, පෙරේත දෝෂ වලට ලක් නොවන විදියට හඳුනාගෙන තියෙන කොට්ඨාශවලට ඒ වරප්‍රසාදය ලැබිල තියෙන්නෙ ඒ ශරීර වලට ඇතුළ් වෙන්න ඊටත් පහත් ආත්ම නැති නිසා වෙන්න ඇති නේද? නැත්නම් ඒ ශරීර වලටත් එන්න එපැයි යක්කු.
    ඕව ඉතින් විශ්වාස නොකරනව කියන ගොඩක් අය හිතෙන් බයයි යක්කුන්ට පෙරේතයන්ට. නොදන්නා දේවල් නෑ කියන්න අපිට බෑ.
    කොහොම වුණත් තවම ගම් පැත්තෙ වෙසමුණිය කියල වෙන්ට ඔබතුමාව හඳුන්වන්නෙ. :)

    ReplyDelete
  5. මගෙත් කතාවක් තියනවා මාත් ඒක දාන්නම්....
    අද හරි හෙට හරි...

    ගුනේ අය්යා...
    http://pachagune.blogspot.com

    ReplyDelete
  6. බොහොම ස්තුතියි ඇවිල්ල ගිය හැමෝටම.
    දැන් ඉතින් බටහිර පැත්තේ අයත්. ඔය දේවල් ටික ටික පිළිගන්න අරගෙන තියෙන්නේ. හැබැයි ඒ අයගේ ට්‍රයි එක මේවා ඔය යන්ත්‍ර සුත්‍ර වලට අහු කර ගන්න. පුළුවන් උනොත් නම් හොඳයි. මම අර ෂට් ශාස්තෘ වරුන්ගෙන් එකෙක් වගේ "ඇතැයිද නොකියමි" "නැතැයිද නොකියමි" කියල තමයි කියන්නේ. හැබැයි ලෝකේ තියන ශක්තිමත්ම දේ සිත කියලයි මම හිතන්නේ.

    "මනෝ පුබ්බං ගමා ධම්මා- මනෝ සෙට්ඨා මනෝමයා"

    ReplyDelete
  7. පුලු‍ටු සුවඳට ආකර්ෂණය උන ප්‍රේතයෙක් හිත දුර්වල වෙලා හිටපු පොරගෙ ඇඟට වැහුනා වෙන්න පුළුවන්.

    ඔහොම කුකුල් බිල්ලක් දෙනවට වඩා හොඳයි හාමුදුරු නමක් වඩම්මලා පිරිත් කියලා දුප්පත් කෙනෙක්ට දානයක් දීලා වගේ පින් අතේ වැඩක් කරලා ඒ පින් ප්‍රේතයාට අනුමෝදන් කරලා පිටත් කරන එක.

    එතකොට උගේ හිතේ තරහකුත් නෑ. ආයෙ වෙන කාටවත් වැහෙන්නෙත් නෑ.

    ReplyDelete
  8. මමත් එක පාරක් තොවිලයක් බලා තියෙනවා. රත්නපුර පැත්තෙ . අහම්බෙන් සෙට් වුණේ. ඒ තොවිලෙත් ඔය වගේම තමා. ගෑණු කෙනෙක්. ගෙවල යකාලු වැහිලා හිටියෙ. තොවිලෙ මැදදි හිටපු ගමන් එක මනුස්සයෙකුට ගැහුවා. ගහපු පාරට ඒ මිනිහගෙ පපුව හරියෙ තුවාල වුණා. කොළොප්පම් කළා කියලලු ගැහුවෙ. ඒ ගුටි කාපු කෙනාගෙන් ඇහුව මොකක්ද කළේ කියල. එයා කීව ලඟ හිටපු කෙනෙකුට කණට කරල රහසින් කීවලු "ඔය ගෑණි ඔය බොරුව කරන්නෙ" කියා. එච්චරලු වෙන මොකුටත් කළේ නෑලු.

    ඒකෙත් කුකුල් බිල්ලක් දුන්නා. කුකුලගෙ බෙල්ල වෙන් වෙන්නම හපලා ඔලුව එල්ලි එල්ලි කටේ තියාගෙන රවුම් ගාණක් නැටුවා.
    =====

    මේකත් කියවා බලන්න

    http://hisahasa.blogspot.com/2011/10/blog-post.html

    ReplyDelete
  9. මමත් ඔය වගේ කේස් ගැන පොඩ්ඩක් විශ්වාස කරනවා... තාම ඈහින් දැකලා නැති වුනාට, අපිට නොපෙනෙන තරංග පාරසයක ජීවත් වෙන අය ඉන්නවා.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මමත් ඕවා විශ්වාස කරන්නේ නෑ...
    මම ඔය දේවල් ඇත්තට දැකලත් නෑ. හැබැයි කාගේ හරි විශ්වාසයකට උපහාසාත්මකව හිනා වෙන්නත් මට උවමනාවක් නෑ...

    "ම කවදාවත් දැකලා නෑ දෙවියකු හෝ යකෙකු වැහුන දොස්තර කෙනෙක් , ලෝයර් කෙනෙක්, මහාචාර්ය වරයෙක් හෝ දෙසපාලකයෙක් වගේ කෙනෙක්ව"
    ඔන්න ඕක මටත් ප්‍රශ්නයක්! යක්කු වැහෙනවනම් වැහෙන්න ඕනේ දේශපාකයන්ටනේ :D ඇරත් මමත් ඔය පාටි වලට ගිහින් තෙල් කාලා කාලා රෑ 1ට 2කට තනියම ගෙදර ඇවිත් තියවා ඕන තරම්. (බස් එකෙන් බැහැලා මීටර් 600ක් විතර පයින් යන්න තියෙනවා) හැබැයි මට නම් තාම යකෙක් සෙට් වෙලා නෑ :D

    ReplyDelete
  12. මමත් විශ්වාස කරන්නෙ නම් නෑ.මම් ඔයවගේ දේවල් දැකල නෑ.පොත් පත් වල නම් කියවලා තියනව,අහල තියනව.අර කීවත් වගෙ හැබෑට ඇයි දොස්තරලට වගේ අයට යක්කු වැහෙන්නෙ නැත්තෙ?අනික කී දෙනෙක් නම් මැරෙනව ඇද්ද ඉස්පිරිතාල වල එහෙම.කොයි හොල්මන් එහෙම වාර්ථාවෙලා නෑනේ. ඒ තැන් වල.ඔක්කොටම මුල හිත තමා.

    ReplyDelete
  13. මේක මානසික රෝගයක්ද නැත්නම් ඇත්තටම යකෙක්ද කියන එක වෙනස්වෙන්නේ බලන විදිය අනුව. සිරිසේනටත්, ගුරාටත් මේක 'යකෙක්' වැහිමක් - යකැදුරන් මේක "ඒ" විදියට ප්‍රතිකාර කරනවා. නමුත් බටහිර මනෝ වෛද්‍ය වරයෙකුට මේක මානසික රෝගයක්- ඒ අනුව ප්‍රතිකාර කර සනීප කරන්නත් පුළුවන්.

    ReplyDelete
  14. පන්චෙද්‍රියට ගොචර නොවුනු ගොඩක් දෑවල් තියන්වා කියලා මමනම් හිතන්නේ,ඇත්තටම අපි දකින්නේ බොහොම සීමිත සක්යාත පරාසයක තියන දසුන් විතරයිනේ,ඒවගේම ඇහෙන ශබ්දත් එහෙමයි,ඊටත් වඩා පුලුල්ව හිතුවොත් ආපි නොදකින මාන කොතරම් තියෙන්නෙ පුලුවන්ද,මම මේ කියන්නේ මෝඩ විදියට එක එක මතවල එල්බගේන සිටීම නෙමෙයි නමුත් තර්කානුකූලව අපි යම්දෑයක් ගෑන සිතනවා නම් එක වටිනවා,අනික යම් දෑයක් අපිට පේන්නේ නෑ කියල ඒක බොර්යි කියන්වා නමේක මෝඩ කමක්

    ReplyDelete
  15. මමත් හොඳටම දන්නවා අපට නොපෙනෙන ජාතියේ බලවේග අපේ අවට සැරිසරන බව ..ඒත් ඉතින් ඕවා තියන බව හිතේ නිතරම එහා මෙහා ගමන් කෙරුවොතින් අපිට හිතේ ඇඳුනු මායාවල් විදිහට ඔව්වා පේන්න පුලුවනි .. ඒක නිසා ඕනෑවට වඩා විස්වාස නොකර ඉන්න එක හොඳයි .

    නියමයි කතාව ..

    මමත් ඔය හොමන් යක්‍ෂ අවතාර බූත , කෙලි ගනනාවක් අහලා දැකලා තියනවා ..ඒක නිසා මම නම් හොඳට දන්නවා ඇත්ත මොකක්ද කියලා .ඇත්ත තමා අපිට නොපෙනෙන වෙනත් කාන්ඩයක් ඉන්නවා

    ReplyDelete
  16. චානක මගේ කතාවකට දාපු කමෙන්ට් එකක් හරහා ගොඩ වැදුනේ... අර හාමුදුරුවො කියපු කතාව නම් කට උත්තර නැති වෙන කතාවක්...

    දැනෙන්න ලියල තියෙනවා...

    ReplyDelete
  17. අපේ තාත්තටත් ඔහොම් සීන් එකක් උනා මම පොඩි කාලේ... හිතා ගන්න බැරි විදියේ දේවල් උනා.. ඒ කියන්නේ අමුතු ශක්තියකින් හැසිරෙන ගතිය නම් මමත් දැක්කා... ඇත්ත වෙන්න පුළුවන් කියන එක තමා මගේ නම් අදහස කොහොම උනත් කතාව ආසාවෙන් කියෙව්වා..

    ReplyDelete
  18. මමත් මේ දේවල් විස්වාස කරනවා නිශාන්ත. ( බොරු කරන අයට රැවටුණු අය තමයි සාස්තරේට බනින්නේ ) ඒ උනාට සියලු දේම පූජාවක් තියලා බලාපොරොත්තු වෙන්න බැහැ..

    " අනේ මාව ඇමෙරිකාවේ ජනාධිපති කරන්න දෙවියනේ " කියලා බාර උනාට වැඩක් නැහැ.. ඒ වගේ මෝඩ වැඩ කරන අය ගැන ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ මිනිස්සු තමයි අන්තිමට වැඩ වැරදුන දාට බනින්නේ..

    ReplyDelete
  19. සියලු දෙනාම සමාවවන්න ඕන මේ පොස්ට් වලට උත්තර දාපු නැති එකට. (හුහ්..යකෝ අවුරුදු දෙකක් ගිහින්ද මු සමාව ඉල්ලනේ). ඔය පොස්ට් එක දාන දවස් වල මට නිතර ජාලයට පුළුවන් කාලයක් නෙවේ. ඒ නිසයි ඒ දවස් වල පොස්ට් වලට උත්තර කොමෙන්ට් නොවටුනේ. අද ඔන්න මෙත්නට් එන්න උනෙත් සහන්ගේ කොමෙන්ට් එක නිසයි.

    ReplyDelete
  20. .හොඳ ලිපියක්.හැබැයි භූතාත්ම තිබෙනවා.අපට ගෝචර නොවන තලයන් තිබෙනවා.අපේ පංචේන්ද්‍රියන්ට ගෝචර වන්නේ සීමිත පරාසයක් පමණයි.හැබැයි සිත ශක්තිමත් නම් ඔය මොනම බලයකටවත් කිට්ටු වෙන්න බෑ.සිත දියුණු කලාම ඕව දකින එක සිම්පල් .

    ReplyDelete
  21. රාත්‍රි 11.56 පී එම් කියෙව්ව වෙලාව ඈ:O

    ReplyDelete