මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Tuesday, October 25, 2011

රජ කාලේ කතා - රජතුමා, අවජාතකයා සහ හොරා





මේ ලියන්න යන්නෙත් ඔන්න ඉස්සර කලේ උන කතාවක්. මම ඔය පුරාතන දේවල් වලට කැමති නිසා ඕවා ටිකක් මතක  හිටිනවා. මම විතරක් නෙවේ මේ බ්ලොග් අවකාශයේ ඉන්න ගොඩක් අය කැමති පුරාතන දේවල් වලට කියල කතන්දර ලියල තියෙන මේ බ්ලොග් එකෙන් සහ කොමෙන්ට් වලින් පේන්නැද්ද බලන්න. මේක මේ අපේ රජ කෙනෙකුට උන වැඩක්. ඔන්න එහෙනම් එදා ඔය රාජ සබාවේ මම ඉන්නකොට ඇහෙන් දැකපු, කනෙන් අහපු  විදිහටම ඔන්න ලියනවා සිද්දිය. 

රජ පුරුෂයා :- අවසර පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස.
රජ :- එහෙමයි. ! මොකාද යකෝ උඹ මේ කුදලලා අරන් ඇවිත් තියෙන්නේ.
ර.පු :- දේවයන් වහන්ස මේකා තමයි මේ ගම නියම්ගම්  පාලු කරමින් සොරකම්කරපු සොර දෙටුවා. මු මහා දවාලේනේව හොරකම් හැම එකක්ම සිද්ද කරලා තිබුනේ. සමහර දේවල් වලට හොරකම්ම කියන්නත් අමාරුයි දේවයන් වහන්ස. මු වැඩි හරියක් මිනිසුන් මුලා කරලා තමයි මේ සොරකම් සිද්ද කරලා තියෙන්නේ. වැඩේ කියන්නේ දේවයන් වහන්ස මු අතට  අහු උනත් මුගේ කපටිකමින්   අල්ල ගත්ත මිනිහගේත් ඉන ඉහ අතගාගෙන මරුවෙනාවනොව. 
හොරා :- ම්හු ...ම්මු ....ම්හු .......
ර :- මොකෝ බෝල මුගේ කටේ මේ රෙදි ගුලියක් හිර කරලා. මු හොරෙක් උනාට සරපයෙක් වගේ දස්ට කොරනවාය. ගලවපිය ඔය කටේ ඔබලා තියන රෙදි ගුලිය. 
ර.පු :- පස්වාන්දහසකට බුදුවන්න දේවයන් වහන්ස එකනම් කරන්න එපා ඔං.
ර :- ඒ මොකෑ බන් ඒ. 
ර.පු :- අවසර ..! ඕකගේ කට තමයි දේවයන්වහන්ස ඕකට තියන ලොකුම ආයුදේ. ඕක කට ඇරියත් ඕනෑම මිනිහෙක් ඕකගේ වචන වලට රැවටිලා ඕකා දෙන ලනු ගිලිනවා. ඒ හින්දම මම අල්ල ගත්තු ගමං වචනයක් වත් කතා කරන්න කලින් තමයි ඔය රෙදි ගුලිය කටේ එබුවේ. බැරිවෙලාවත් ඕක එබුවේ නැත්නම් ඕකා අනිවාරේයෙන් මාව ගොනාට අන්දලා මගේ ආයුද වලටත් ඇරලා තමයි මාරු වෙන්නේ. ගලවන්නනම් එපා දේවයන් වහන්ස. ගලෙවූවොත් ඕකා ඔබ වහන්සේගේ කනින් රිංගලා රාජ සබහවම ගොනාට අන්දලා මාරු වෙයි.
ර :- රජ පුරුෂය...! මොකක්ද තා කීවේ. මාව ගොනාට අන්දන්න. හිතුවා මදි තෝ  දන්නවාද   මගේ නුවන ගැන මුළු ලංකාද්වීපයේම ඇති ප්‍රසිද්දිය. වහාම ඔකාගේ   අත, පය  ලිහා ඔය මුකයේ ඔබා ඇති රෙදි ගුලිය ඉවත් කරනු. 
 ර.පු :-එහෙමයි දේවයන් වහන්ස ...එහෙමයි.
ර :- එම්බා සොර දෙටුව තා මේ කර ඇති අපරාද වලට තා නිවැරදි කරුද වැරදි කරුද.... ? 
හො :- පස්වාන්දහසකට  බුදුවන්න දේවයන් වහන්ස    නිවැරදි කරු වෙමි.
ර :- එම්බල රාජ පුරුෂය තෝ මෙම සොරාට විරුද්දව සාක්ෂි රැගෙන අවේද .? 
ර.පු :- එහෙමයි දේවයන් වහන්ස බොහොම අමාරුවෙන් පිරිසක් කැදවාගෙන අවා. බොහෝ දෙනෙක් තමාට උන සිදුවීම් කියන්නත් ලජ්ජාවෙන් ඉදිරිපත් වෙන්නේ නැ දේවයන් වහන්ස. ඔය ඉන්නේ ඒ කැදවාගෙන අපු පිරිසයි දේවයන්වහන්ස. 
ර. :- එම්බල නරයිනි මේ රජ පුරුෂයා කියන්නේ සැබෑවක්ද ?
පිරිස. :- ප. බු. දේ . එහෙමයි මු අපේ බොහෝ සම්පත් අපි බලාගෙන ඉංදීම කොල්ල කෑවා අපිව ගොනාට අන්දලා.
ර . :- එම්බල සොර දෙටුව තා මේ කර ඇති අපරාද සැකයක් නොමැතිව ඔප්පු වන හෙයින් තොපට මරණීය දණ්ඩනය නියම කරමි. නිදහසට කාරනා ඇතොත් වහාම ඉදිරිපත් කරනු.
හො. :- පෙනුමෙන්නම් එහෙම නැ එත් ඉතින් කාටද කියන්න පුළුවන්.
ර. :- කුමක්ද සොර දෙටුව තා මුනු මුනු ගාන්නේ. කියන දෙයක් සියලු දෙනාට ඇසෙන ලෙස කියව. කිමද තා මරණ බයින් තැති ගත්තේද ?
හො. :- අවසර රජතුමනි මේ පිරිස ඉදිරියේ කීවාට කමක් නැතිද. 
ර. :- මේ රාජ සබහවේ කිසිදු රහසක් නැති වහා කියපිය තෝ මුනු මනු ගමින් කිවූ දෙය.
හො. :- අවසර රජතුමනි මම පැවසුවේ       පෙනුමෙන්නම් එහෙම නැ එත් ඉතින් කාටද කියන්න පුළුවන්. කියලා දේවයන් වහන්ස .
ර. :-  මොකක්ද යකෝ එකේ තේරුම. කියන දෙයක් තේරුම් ඇතුව කියපිය. 
හො. :- එහෙමයි දේවයන් වහන්ස එහෙමයි. මම ඉපදුනු විගස මගේ  මෑණියන් නැකත් කරුවෙකු ලවා මගේ කේන්ද්‍රය සාදා ඇත. ඔහු කේන්ද්‍රය සදා දී පලාපල ද මෑණියන්ට පවසා ඇත. එම පලාපල වලින් කියැවුණු සෑම දෙයක්ම මේ වනවිට සත්‍ය වී ඇත. නමුත් ඔහුගේ අන්තිම පලාපල ය . ගැන මට අවිශ්වාස නිසා එලෙස ප්‍රකාශ කෙරුවෙමි.
ර. :- කුමක්ද ඔහුගේ අන්තිම පලා පලය. වහා කියපිය. 
හො. :- ඔහු මා සොර දෙටුවකු වනබවත් කවදා හො මිය යන්නේ අවජාතකයකු අතින් බවත් අවසානයේ කියා ඇත. මා සොරකු වූ බවනම් සත්‍ය වී ඇත. නමුත්  අව්ජාතකයකු  අතින් මැරෙන බව කීම නිසයි    පෙනුමෙන්නම් එහෙම නැ එත් ඉතින් කාටද කියන්න පුළුවන්. යයි කියා සිටියේ දේවයන් වහන්ස.

ර. :- එම්බා රාජ පුරුෂය වහාම මේ බල්ලා මේ නුවරින් පිටුවහල් කරව. තොපි ගෙනාවොත් ගේන්නේ මේ වගේ දහාපදුරාවක් තමයි.

කතාව නිමි 

ප. ලි 
මෙම වෙබ් අඩවියේ කොමෙන්ට් වැටීම 1,110 :  10 අනුපාතයට සිටින ලෙස සකසා ඇති බැවින් කරුණාකර එම අනුපාතය කැඩීමෙන් වලකින්න.    

6 comments:

  1. හිහ් හිහ් ,,,, සිරා කතාව ,,,, එල එල.
    මගේ එකෙත් කොමෙන්ට් අනුපාතයට ඕකම තමා දේවයන් වහන්ස, කුමක් කොරන්නද අපි බ්ලොග් වැසියෝනෙ, රජවරු නෙමේනෙ දේවයන් වහන්ස ,,,,

    ReplyDelete
  2. එළ කථාව ...අදටත් ගැලපෙනවා !!!!

    ReplyDelete
  3. එම්බා නර පනුව තොපද රජෙක් වන කල අතලඟය...ඔහොම ලියාගෙන යව...හි..හි....කතාව පට්ට...

    ReplyDelete
  4. ම්ම් නියමයි මචො

    ReplyDelete
  5. නියම කතාව!

    ReplyDelete