මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Wednesday, September 25, 2013

ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කරුණු (2)

පලමු ලිපියට මෙතනින් 
ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කරුණු (1)


හරි එහෙනම් වොරන්ටි, ගැරන්ටි කියන්නේ මොකක්ද වගේම වොරන්ටි නැති වෙන්න පුළුවන් කාරනා කීපයකුත් අපි කලින් කතා කළා. ආෆ්ටර් සේර්විස් කියන්නේ මොකක්ද කියලත් තරමක්  කතා කලා. අද එහෙනම් කියන්න යන්නේ වොරන්ටිය නැති වෙන්න පුළුවන් තවත් හේතු කීපයක් සහ තවත් ලට්ට ලොට්ට ගොඩක් මේ සම්භන්දව.

ගොඩක් වර්ග වල  භාණ්ඩ මිලදී ගත්තට පස්සේ  කල යුතු අනිවාර්ය සේවා කිරීම් තියනවා වගේම සමහර භාණ්ඩ තියනවා ඔය මොන මඟුලක්වත්  නොකර දිගටම පාවිචි කිරීම විතරක් කරන්න පුළුවන් (උදා : ශීතකරණ, ඔරලෝසු, ජංගම දුරකථන).  එවැනි භාණ්ඩ අනවශ්‍ය විදිහට් සේවා(service) කරන්න ගිල්ලත් වොරන්ට්යිය නැති කරන්
 
ඉල්ලගෙන කන්න සිද්ද වෙන්න පුළුවන්. මම දැකලා තියන ගොඩක් පාරිභෝගිකයෝ ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. (මේක සම්මත බෙදීමක් නෙවේ මගේ මතය අනුව කල වර්ග කිරීමක් විතරයි.)

1. මිලදීගත් භාණ්ඩය ගැන කිසිම සැලකිල්ලක් නැතිව තමන්ගේ අවශ්‍යතාව  සපුරා ගන්න පමණක් කටයුතු කරන පාරිභෝගිකයින්.

2. භාණ්ඩය පිලිබඳ හොඳ දැනුමකින් භාණ්ඩයේ නඩත්තු නිසි පරිදි කරමින් භාණ්ඩය භාවිතා කරන පාරිභෝගිකයින්.

3. භාණ්ඩය පිලිබඳ ඕනවට වඩා සොයා බලමින් අනවශ්‍ය පරිදි සේවා(service) කරමින් භාණ්ඩය භාවිතා කරන පාරිභෝගිකයින්.          

ඔතනින් මං වැටෙන්නේ එකෙන්ම ඔය අංක 1 කියන ගොඩට. හෙහ් ..දැන් ඉතින් හැමෝම දන්නවනේ මේ කියන්නේ වැදී  බන තමයි කියලා. මේ කණ්ඩායමේ පාරිභෝගිකයින් බලන්නේ නැ  භාණ්ඩය හදලා තියෙන්නේ මොකටද ?. මොනවද එකෙන් කරගන්න පුළුවන් වගේ දේවල්. තමන්ට ඕන කරන ඕනෑම දෙකට මේ ගොල්ලෝ මේ භාණ්ඩය පාවිච්චි කරනවා. තමන්ගේ අවශ්‍යතාවය ඉටු වෙනවනම් ඒ ඇති. අහන්න දෙයක් නැ මේ වගේ පාවිච්චි කරන භාණ්ඩයකට වොරන්ටි හම්බෙයිද කියලා. හැබයි මේ අයත් වොරන්ටි කාලය ඇතුලත භාණ්ඩයේ දෝෂයක් ඇති උනොත් උස්සගෙන යනවා භාණ්ඩය මිලදී ගත ආයතනයට. එතන ඉන්නේ ඔය වගේ පාරිභෝගිකයින් ඉහේ කෙස් ගානට දැකපු මුදලාලිලා සහ නඩත්තු ශිල්පීන්. ගිහින් පුක්  මුනකුත් දාගෙන, සද්දෙකුත් දාල තමයි භාණ්ඩය දෙන්නේ. එතකොට අනේ කොහොම හරි මේ ගොල්ලෝ මේ භාණ්ඩයේ වගකීම් සහතිකයේ ඇති කොන්දේසියක් කැඩිලා කියලා පෙන්නලා දීලා. භාණ්ඩයේ වගකීම අවසන් කියල කියනවා. එතකොට ඉතින් සද්දේ දාල ආපහු හැරිලා එනවට වඩා දෙයක් කරගන්න බැරි වෙනවා. හැබයි මම දැකලා තියන විදිහට මේ අය වැඩි දුර පන්නන්නේ නැ භාණ්ඩයට වගකීම ගන්න මොකද මේ අය දන්නවා තමන් භාණ්ඩය භාවිතා කල විදිහ. ගොඩක් වෙලාවට ඉක්මනින් හිත හදාගෙන  වෙන භාණ්ඩයක් මිලදී ගන්නවා.    

දෙවැනි කණ්ඩායමේ පාරිභෝගිකයින් තමා නිවැරදිම කට්ටිය. මේ අය භාණ්ඩය නිවැරදිව භාවිතා කරනවා පමණක් නෙවේ ඒ අය එහි වගකීම ආදී සැම දෙයක් ගැනම ගොඩක් විට දැනුවත්. මේ අයත් වගකීම් කාලය ඇතලත භාණ්ඩ රැගෙන යනවා. අවංක ආයතනයක් නම් අනිවාර්යෙන් මේ අයට වගකීම් සහතිකයේ කොන්දේසි වලට අනුව වගකීම ලබා දෙනවා. සමහර විට පාරිභෝගිකයා නොදැනුවත්ව වගකීමේ කොන්දේසියක් උල්ලන්ගනය වෙලා තියෙන්න පුළුවන් (උදා : ජංගම දුරකතනයක් තුලට පාරිභෝගිකයා නොදැනුවත්ව ජලය යාම-කුඩා දරුවෙකු අතින්, නාන කාමරයේදී )  නමුත් එහිදී ඔබ හොඳ මහත්මයකු ලෙස හැසිරුනොත් බොහෝ විට මෙම ආයතනයෙන් ඔබට සහනයක් ලබා දෙනවාමයි. ඒ වගේම මේ අය රැගෙන එන භාණ්ඩය සමහර විත ඉතා සුළු අලුත් වැඩියාවකින් නැවත මුල් තත්වයට ගන්න පුළුවන්.           



තුන් වැනි කණ්ඩායම් තමයි හොඳටම ඉල්ලගෙන කන කට්ටිය. මේ අය භාණ්ඩය ගැන අනවශ්‍ය තරම් සැලකිල්ලක් දක්වනවා. ඒක භාණ්ඩයකට සැලකිල්ලක් නොදක්වා ඉන්නවටත් වැඩිය අනා ගන්න වැඩක් වෙනවා. අදික සැලකිල්ල නිසා බොහෝ විට නැති දෝෂ පවා පෙනෙන්න ගන්නවා. අලුත් ගොඩක් උපකරණ මෘදුකාංග මගින් ක්‍රියාත්මක වන දේවල් හින්දා ගොඩක් වෙලාවල් වලට තාවකාලික දෝෂ ඇති වෙන්න පුළුවන්. සමහර අවස්ථා වල නැවත පන ගැන්වීමක්(restart) හෝ ප්‍රාථමික ප්‍රතිපිහිටුමක් (factory reset) මගින් දෝෂය ඉවත් කර ගන්න පුළුවන්. නමුත් මේ අය දෝෂය තහවුරු කර ගන්න නැවත නැවත දෝෂය ක්‍රියාත්මක කර බැලීම තුලින් විශාල දෝෂයක් නිර්මාණය කර ගන්නවා. ඒ විතරක් නෙවේ භාණ්ඩය හොඳින් පවත්වාගෙන යාමට සිතා නුසුදුසු සැලකිලි දක්වනවා(උදා: TV,කැසට් වැනි දේවල් මත රෙදි වැනි ආවරණයක් යෙදීම, ජංගම දුරකථන සුවඳ විලවුන්, සර්ජිකල් ඉස්පිරිතු, ෂැම්පු වගේ දේවල් වලින් පිස දැමීම- එවිට මතු පිට ඇති ආරක්ෂක තීන්ත ආවරණය බිඳ වැටේ, නිතර නිතර බ්‍රෂ් කිරීම, පරිගණක වැනි දැ වඩා හොඳ සිසිල් කිරීමක් යයි සිතා  පියන ඇර තැබීම, යාන්ත්‍රික කොටස් වල ඇති ඇන නිතර නිතර බුරුල් වී ඇතැයි සිතා තද කිරීම). මේ අයගෙන් තමයි වෙළඳ ආයතන වලට බේරෙන්නම බැරි. මේ අයගේ කන්දොස්කිරියාව හින්දම මේ අයට වගකීම ලබා ගන්න බැරි වෙන වෙලාවල් බොහොමයි. අනිත් එක මේ අය සුළු සුළු දෝෂ කියමින් වට පිටේ ඉන්න මක බාස්ලා  වෙත පෙන්වීමෙන් හෝ තමන් විසින් බොහෝ විට වගකීමේ මුද්‍රා කඩා ගන්නවා. දන්නවනේ ඉතින් ඔය මුද්‍රාව කඩා ගත්තොත්  ආය නෝ වොරන්ටි. මොකෙක්වත් ගන්න  කැමති නැ ගත්තත් ඉතින් කොන්ඩම් කරලා දෙකේ කොලේට තමා ඉල්ලන්නේ. ඇත්තටම මේ අයගේ භාණ්ඩ ගොඩක් වෙලාවට ස්භාවිකව ලෙඩ වෙච්චි ඒවා නෙවේ මේවා හදා ගත්ත ලෙඩ. එතැනින්ම වගකීම අහෝසි වෙනවා. ඒ වගේම මේ අය සැහෙන්න බොරුත් කියනවා භාණ්ඩය සඳහා වගකීම ගන්න. හැබයි ඉතින් ඔය භාණ්ඩය විකුනපු මුදලාලි මේ වගේ කට්ටිය කඩේ දොරෙන් ඇතුලට එද්දිම අඳුනා ගන්නවා.

                    හරි මේ කතා කලේ භාණ්ඩ භාවිතා කරන පාරිභෝගිකයින් ගැන. යකෝ මාතෘකාවේ  තියෙන්නේ  "ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කරුණු" කියලා එහෙනම් මොන මඟුලක්ද මේ ගන්න එවුන් ගැන ලියන්නේ කියලා හිතයි. නැ  මේ ගැනත් ඔබ දැන ගන්න ඕන මොකද  භාණ්ඩය මිලදී ගන්න ඔබ ගැනත් විකුණුම් කරුවෝ දන්නවා කියලා හිතාගෙන ඉන්න එක හොඳයි නොවැ.      

                         අනිත් දේ තමයි භාණ්ඩයේ මිල. ගොඩක් වෙලාවට  බොහොමයක් පාරිභෝගිකයෝ කැමති තමන්ට වඩා වැඩි ලාබයක් ලැබෙන මිල අඩුම තැනින් භාණ්ඩ මිලදී ගන්න. නමුත් මේ වෙලාවේදී ඔබ පොඩ්ඩක් කල්පනා කාරී වෙන්න ඕන. භාණ්ඩයක් වෙළඳ පොලේ විකුනන්න පුළුවන් අවම මිලක් පවතිනවා සමහර භාණ්ඩ වල එය සටහන් කර තිබුනත් ගොඩක් භාණ්ඩ වලට තියෙන්නේ වෙළඳ පොලෙන් තීරනය උන මිලක් ඒ මිලටත් වඩා  අනවශ්‍ය පමනට මිල අඩු කරන භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන. මොකද භාණ්ඩය එම මිලට විකිණිය හැකි වෙන්නේ සමහර විට එහි පවතින දෝෂයක් නිසා විය හැකියි. නැත්නම් නීතිමය  ප්‍රශ්නයක් විය හැකියි.(උදා : මැරුණු පික්සල් ඇති TV , LCD, කැමරා. නිසි වේගයක් නැති පරිගණක,දුරකථන,සුළු අලුත් වැඩියාවකින් පසු  විකිණීමට  ඒවා ඇති භාණ්ඩ, බදු හෝ ලියාපදිංචියෙන් තොර හොරෙන් ගෙන්වූ භාණ්ඩ, නියමිත ප්‍රමිතිය සම්පුර්ණ කිරීමට අපොහොසත් වූ භාණ්ඩ )  දන්නවනේ කියමනක් තියනවා "ලාභ බඩුවේ හිලක් ඇත " කියලා. 



       ඒ වගේම ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගැනීමේදී බලන්න ඕන වැදගත්ම දෙයක් තමයි මෙය නිෂ්පාදනය කර තිබෙන්නේ කුමන කලාපයක භාවිතා කිරීමටද කියන එක. ගොඩක් අය මේ   ගැන ඇත්තෙන්ම දන්නෙත් නැ. නමුත් මේක ඉතාම වැදගත් දෙයක්. නිෂ්පාදන ආයතන සමහර භාණ්ඩ නිපදවන්නේ සමහර රටවල් වල හෝ යම් කලාපයක්  විකිණීම සඳහා  විශේෂීකරණයක් සහිතව(උදා : යුරෝපා රටවල පමණක් විකිණිය හැකි භාණ්ඩ, ඇමරිකාවේ පමණක් විකිණිය හැකි භාණ්ඩ). එකට හේතු වෙලා තියෙන්නේ එක එක රටවල භාවිතා කරන විදුලි සැපයුම, ඩිජිටල් හෝ ඇනලොග් තරංග, සේවා සපයන්නන් ලබා දෙන විවිද පහසුකම්, දේශගුණික තත්වය වැනි දෑ එකිනෙකට වෙනස් වීමත් එවැනි දේ මත යන්ත්‍රයේ ක්‍රියා කාරිත්වය වෙනස් වීමත් යන කරුණු නිසයි. හැමෝම දන්නා ප්‍රසිද්දම උදාහරණය  වන්නේ විදුලිබල සැපයුමේ වෙනසයි. ජපානය වැනි රට වල 110v  භාවිත කරන අතර   ලංකාවේ අපි 230V විදුලි සැපයුමක් භාවිතා ක‍රනවා. ජපානයේ  භාවිතය සඳහා  වෙන් කෙරුණු විදුලි උපකරනයක් අපගේ විදුලියට සම්බන්ද කලොත් අනිවාර්යෙන් එහි පරිපත කොටස් දැවී යනවා.  ඒ වගේම ජංගම් දුරකතන  වැනි  තරංග භාවිතා කරන උපකරණ වල තරංග  පරාසයන්  රටින් රට වෙනස් වෙන්න පුළුවන් උදාහරණයක් ලෙස කොරියාව,ජපානය, ඇමරිකාව,ඔස්ට්‍රේලියාව වැනි රටවල් බහුලව ජංගම් දුරකථන වැනි උප කරන සඳහා CDMA,WCDMA තරංග භාවිතා කරන නමුත් ලංකාව තුල භාවිතා වෙන්නේ GSM තරංගයි. ඒ වගේම සේවා සපයන්නා විසින් ලබා දෙන සමහර විශේෂ සේවා ලබා ගැනීම  සඳහා  සකස් කල software සහ hardware කොටස්  තියෙන්න පුළුවන්. මෙවැනි උපකරණ මිලදී ගත විට එයින් ලබා ගත හැකි උපරිම භාවිතය ලබා ගන්න බැ(උදා : කොරියන් version දුරක්තන වල SMS එකක දිග අපේ දුරකතනයක SMS 4ක පමණ දිගට සමාන වීම, රේඩියෝ පහසුකම භාවිත කල නොහැකි වීම, අලුත් වැඩියාවක් කිරීමට උවහොත් අමතර කොටස් සොයා ගැනීමේ දුෂ්කරතාව. BlackBerry/Nokia  වර්ගයේ විශේෂිත network එකකට lock කරන ලද දුරකථනයක් Unlock කල පසුව 3G signal නොලැබීම, BlackBerry සේවා ලබා ගත නොහැකි වීම, Android දුරකථන මගින් Apps Download කිරීමට   යාමේදී එම කලාපයේ Apps පමණක් Download කිරීමට අවසර ලබා දීම)  


තවත් මම ප්‍රයෝගිකව දැක   තියන දෙයක් තමා සමහර රටවල් හෝ කලාප සඳහා නිෂ්පාදනය කරන භාණ්ඩ වල Hardware කොටස් වල තියන වෙනස් කම්. මේවා සැලසුම් කර තියෙන්නේ ඒ ඒ දේශගුණ තත්වයන්ට ගැලපෙන ලෙස. ඔබ මිලදී ගන්නා භාණ්ඩය සමහර විට සීත රටක භාවිතා කිරීමට සැලසුම් කර ඇත්නම් එහි සිසිලන පද්දතිය එයට ගැලපෙන ලෙස සකස් කර ඇති නිසා අපේ රටේදී භාවිතා කරන විට අදිකව රත් වීම නිසා විවිද දෝෂ පැන නැගිය හැක(උදා : ප්‍රසිද්ද ලෙඩක් වන HP Pavilion වර්ගයේ Laptop පරිගණක වල Graphic IC පෑස්සීමට භාවිතා කරන ඊයම් වියලීම නිසා ඇති වන Display නොලැබීමේ දෝෂය,).        


(හරි යන්නේ නැ වැඩේ තවත් එකක් ලියන්න වෙයි වගේ. එහෙනම් මතු සම්බන්දයි ඇ ..) 


Sunday, September 22, 2013

ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කරුණු (1)

හැමදාම අනම් මනම් ලියන එකේ එලෝ මෙලෝ යහපත තකා ඔන්න අද ලියන්න යන්නේ හැමෝටම වටියි කියලා හිතෙන ලිපියක්. මේක ලියන්න හේතු උනේ සුධිකගේ ගැරන්ටිද ? වොරන්ටිද ? (Guaranty or Warranty ) ...... කියන පොස්ට් එක. මේකට මම කොමෙන්ට් එකක් දැම්මත් එක දාන කොට පෙරහැර ගොඩක් ගිහින් ඉවරයි. ඒ හින්දා තව තව කාරනා එකතු කොරලා මේකෙම ලියල දානවා ඔං. 


 මේ වෙනකොට ඉලෙක්ට්‍රොනික් උපකරණයක් භාවිතා නොකරන කෙනෙක් හොයා ගන්න එක කළුනික (නැ ..නැ  තමාලිගේ කළුනික නෙවේ) හොයනවටත්  වඩා අමාරුයි. ඒ තරමටම ඉලෙක්ට්‍රොනික් බඩු  භාණ්ඩ සුලබ වෙලා තියෙන්නේ. ඉතින් මේ ඉලෙක්ට්‍රොනික් දේවල් මිලදී ගන්න කොට අපිට අහන්න ලැබෙන  වොරන්ටි,  ගැරන්ටි, ආෆ්ටර් සේර්විස්, සේර්විස්  වොරන්ටි, හාර්ඩ්වෙයාර් වොරන්ටි, සොෆ්ට්වෙයාර් වොරන්ටි ගැන තමයි  දන්නා විදිහට මගේ අත්දැකීම් අනුව ලියන්න යන්නේ. දැන් ඉතින් කවුරු හරි අහන්න බැරි නැතෝ "කොහොමෙයි ඕවා ගැන ලියන්නේ තෝ කොහොමෙයි ඔය ගැන දන්නේ" කියලා. එකට නම් ඉතින් කියන්න තියෙන්නේ දැන් අවුරුදු 15 කට වඩා ඕවත් එක්කම හැප්පිච්චි එක තමා ලොකුම සුදුසු කම කියලා. කොටින්ම තාත්තා ගෙට අල්ලලා අලුත් කාමරයක්ම හැදුවා මම කඩන බිඳින බඩු  භාණ්ඩ   දාන්නම ඔන්න.ආය  තවත් මොන සුදුසුකම්ද. කොහොම කොහොම හරි එක එක ජාතියේ රස්සා ගොඩක් කරා උනත් කවදාවත් මේ ඉලෙක්ට්‍රොනික් බඩුත් එක්ක ගනු දෙනු කරනවා තරම් ඒවා ආතල් නැති හින්දා අන්තිමේට කොහෙන් හරි කැරකිලා එන්නේ මෙතෙන්ටම තමයි. 


ඉලෙක්ට්‍රොනික් බඩුවක් ගන්න යනකොට ගොඩක් දෙනෙක් හොයන දෙයක් තමයි මේ වොරන්ටි සහ ගැරන්ටි කියන එක. හැබැයි ගොඩක් දෙනෙක් පටලවාගෙන ඉන්නෙත් මේ දෙකම තමයි. ඇත්තෙන්ම මමත් කාලයක් යනකන් ඔය වචන දෙකේ පැහදිලි තේරුමක් තේරුම් ගන්න බැරිව අනාත වෙලා තමයි හිටියේ. ඒ හින්දම ගොඩක් වෙලාවට කපටි වෙළඳුන් ඉස්සරහා  කේන්තියෙන් පුපුරමින් හැරිලා එන්න සිද්ද උණු වාර ගණන අනන්තයි. නමුත් කාලයක් යනකොට ගොඩක් ආයතනත් එක්ක ගනුදෙනු කරලා සහ ආයතන වල රැකියා කරද්දී   තේරුම් ගත්තා ඇත්තටම  මේ කියන්නේ මොකක්ද කියලා. ඔන්න එහෙනම් සුදීකගේ පොස්ට් එකට දාපු    කොමෙන්ට් එකම ටිකක්  upgrade  කරලා මෙතැන  දානවා.  

ඔතන වචන දෙකේ පැහැදිලි වෙනසක් තියනවා. සුදික ඒ ගැන පැහදිලිව සටහන කරලා තියනවා ඒක වෙබ් අඩවියකින් කරපු නිර්වචනයක් සමහර විට ලෝකයම පිළිගන්න ක්‍රමය එක වෙන්න පුළුවන්. නමුත් ලංකාව කියන්නේ ඔය ලෝකයාට වඩා වෙනස් මිනිස්සු ඉන්න තැනක්නේ. ("ලෝකේ අනිත් මිනිස්සුන්ට වඩා අපේ මිනිස්සු වෙනස් "). අපේ රටේදී ඕක මෙන්න මෙහම තමයි නිර්වචනය වෙන්නේ.

     ජංගම දුරකථන , පරිගණක සහ නොයෙකුත් ඉලෙක්ට්‍රොනික් බඩුත් එක්ක අවුරුදු 15 විතරම හැප්පුණු මටත් ඔය දෙක පැහැදිලිව අඳුරගන්න අමාරු වෙලා තිබුනේ. නමුත් ආයතන කීපයක වැඩ කරන්න ගත්තට පස්සේ මම ඔය වචන දෙක යොදා ගන්න විදිහ ගැන පැහැදිලි අවබෝදයක් ලබා ගත්තා.

ගැරන්ටි කියන්නේ ඇත්තටම සහතික කිරීමක් කියලා කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට යම් භාන්ඩයක් මිලදී ගන්නා අවස්ථාවේ එය නිෂ්පාදකයාගේම නිෂ්පාදනයක් බවත් එය නිෂ්පාදකයා ලබා දී ඇති සියලු පහසුකම් ලබා ගැනීමට භාවිතා කල හැකි බවත් නිෂ්පාදකයා කියන කාලය එය භාවිතා කල හැකි බවත් සහතික කිරීමක්. යම් අවස්ථාවකදී පාරිබෝගිකයාට ඔප්පු කරන්න පුළුවන් නම් එම භාණ්ඩය නිෂ්පාදකයා සහතික කරන පහසුකම් ලබා ගැනීමට අපොහොසත් කියලා එවිට එම භාණ්ඩය වෙනුවට වෙනත් භාණ්ඩයක් ලබා දෙන්න කටයුතු කල යුතුයි. නමුත් මෙහිදී නිෂ්පාදකයා එම භාණ්ඩය බාවිතා කරන ආකාරය ගැන දක්වා ඇති කොන්දේසි උල්ලංගනය නොකර එය බාවිතා කල යුතුයි. මේ ගැරන්ටිය අනිවාර්යෙන් හොඳ නිෂ්පාදනයක් සඳහා ලැබෙනවා. නමුත් එහිදී නිත්‍යානුකුල බවක් නැ. අවශ්‍යනම් එම භාර ගැනීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ සඳහා නීතියට අනුව කිසිවක් කරන්න බැ. නීතිය අනුව කටයුතු කරන්න පුළුවන් වෙන්නේ අර කලින් කියපු නිෂ්පාදකයා  සහතික කරන පහසු කම ලබා ගන්න බෑ  කියන පදනම මත පමණයි. 

වොරන්ටිය කියන්නේ එම නිෂ්පාදනය පිලිබඳ වගකීමක් ලබාගැනීමක්. උදාහරනයක් ලෙස ඉහත පරිදි ගැරන්ට් කරන ලද උපකරණයක්. නිෂ්පාදකයා නිර්දේශ කරනා ආකාරයට භාවිතා කරමින් සිටියදී යම් හානියක් සිදුවුවහොත්. එය සඳහා නැවත වෙනත් උපකරණයක් ලබා දීම හෝ මුදල් ආපසු ලබා දීම හෝ විය හැකියි. එහිදී යම් කාල සීමාවකට යටත්ව, කොන්දේසි සහිත නීතියට යටත් ලේඛනයක් ලබා දෙනවා. එම නිසාම එම වගකීම පැහර හැරියොත් ඒ සඳහා නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්න පුළුවන්. නමුත් ඒ සඳහා ඔබට සාක්ෂි අවශ්‍ය වෙනවා එම නිසා අනිවාර්යෙන් බිල්පතක් සහ වගකීමේ සහතිකයක් ඔබ සතු විය යුතුයි. 


සරලවම කීවොත් අපි නිතර ගනුදෙනු කරන ආයතනයකින් බඩුවක් ගන්නකොට මුදලාලි අපිට කියනවා "මේක ඔර්ජිනල් එකක් බය නැතිව ගන්න කියලා" ඒ කියන්නේ ගැරන්ටිය. හැබයි භාණ්ඩයට මොනවා හරි උනොත් මුදලාලිගේ හොඳ හිතත් භාණ්ඩයේ නිෂ්පාදකයාගේ හොඳ හිතත් මත තමයි අපිට සාධාරනයක් වෙන්න අවස්තාව තියෙන්නේ. නමුත් වොරන්ටියක් දුන්නනම් එකේ තේරුම මුදලාලි නරක උනත් හොඳ උනත් මිනිහට ඒ වගකීම් සහතිකේ තියන විදිහට වැඩ කරන්න වෙනවා කියන එක. එහෙම නොකලොත් ඔබට නීතිය හමුවට යන්න පුළුවන්. 
හැබයි ඔබ මේ  කියන වගකීම ලබා ගන්න නම් කලින්ම නිෂ්පාදකයා ලබා දී ඇති භාවිතා කිරීමේ හා නඩත්තු කිරීමේ උපදෙස් පත්‍රිකා හොඳින් අධ්‍යනය කරලා ඉන්න ඕන. මොකද නිෂ්පාදකයාගේ උපදෙස් වලට පිටින් යමක් කරන්න ගිහින් යම් හානියක් සිදු උනොත් ඔය කිසිම වගකීමක් ලබා ගන්න බැරුව යනවා.

ඒ වගේම තමයි හැමෝම බලන තවත් දෙයක් වෙන්නේ මේ ආෆ්ටර් සේර්විස් කියන දෙය. ඇත්තෙන්ම විකුණු භාණ්ඩයක් පරිබෝගිකයා භාවිතා කරන්න ගත්තට පස්සේ යම් යම් නඩත්තු කටයුතු තියනවා කරන්න. සමහර භාණ්ඩ වලට අනිවාර්යෙන් කල යුතු නඩත්තු කටයුතු තියනව. ඒවා නිශ්චිත කාල සීමාවක් තුල නිවැරදිව පුහුණු කාර්මිකයකු සිදු කල යුතුම දේවල්. මෙවැනි සේවා ගැන බොහෝ විට එම භාණ්ඩය මිලදී ගන්නකොටම  දැනුවත් කරනවා. සමහර විට ඒ පිලිබඳ වගකීම් සහතිකයේම සටහන් කරලා තියනවා. සමහර විට නිකන්ම කටවචනයෙන් කියනවා. මේ සේවා නොමිලේ හෝ  මුදල් ගෙවා ලබා ගන්න සිදු වෙන්නත් පුළුවන්. ඒ පිලිබඳ හොඳින් විමසා දැන ගන්න ඕන මොකද සමහර විට මේ නඩත්තුව නොකලා කියන්නේ සමහර විට මුළු යන්ත්‍රයටම තියන වගකීම අහෝසි වෙනවා කියන එක වෙන්න පුළුවන්.  උදා (photocopy machine, printers ).  ඒ වගේම මේ සේවා කිරීම හිතු මතේට කරන්න බැ ඒ සඳහා බලයලත් නියෝජිතයෙක් හෝ භාණ්ඩය මිලට ගත් ආයතනය වෙත හෝ යන්න වෙනවා. එහෙම නොවුනොත් භාණ්ඩයේ වගකීම අහෝසි වෙලා යන්න පුළුවන්. 

(කෙටියෙන් විස්තරේ ලියන්නම් කියලා හිතුවට  වැඩේ හරි යන්නේ නැති පාටයි. ගොඩක් දිග උනොත් කියවන්නත් කම්මැලි හින්දා "මතු සම්බන්දයි" ඇ... )